දිවුරුම් දුන් දිනයේ ම ඉස්ලාමාබාද්හි මරාගෙන මැරෙන ප්‍රහාරයේ ගොදුරක් වූ නීතිඥවරයා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ෂාසාඩ් මලික්
- Role, බීබීසී උර්දු
"මගේ මිත්‍රයා, මම කැමතියි පකිස්ථානයේ සියලු ම අධිකරණවලට පූර්වාදර්ශයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වැදගත් නඩුවක් වෙනුවෙන් සටන් කරන්න..."
නීතිඥ සුබයිර් අස්ලම් ගුමාන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසුව අඟහරුවාදා තම මිතුරන් සමග රසකැවිලි බෙදා ගනිමින් මේ බව පැවසීය. මෙය ඔහුගේ ජීවිතයේ අවසාන වචන බවට පත් විය.
අඟහරුවාදා ඉස්ලාමාබාද්හි G-11 අධිකරණ පරිශ්‍රයෙන් පිටත සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් 12 දෙනාගෙන් සුබයිර් අස්ලම් ගුමාන් ද එක් අයෙකි.
සුබයිර් අස්ලම් ගුමාන්ගේ මිතුරා වන නීතිඥ වහීඩ් බීබීසී උර්දු වෙත පැවසුවේ, සුබයිර් පසුගිය අඟහරුවාදා පෙ.ව. 11ට පමණ ඔහුට කතා කර දවසේ වැඩ රාජකාරී ගැන විමසූ බව ය.
සුබයිර් අස්ලම් ගුමාන් එහිදී ඔහුට පවසා ඇත්තේ, තමාට සියලු දෙනා හමුවීමට අවශ්‍ය බවත් අනෙක් සියලු මිතුරන් ද එක්රැස් කරන ලෙසත් ය.
"එයා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු විදිහට දැන් දිවුරුම් දුන්නා, මිතුරන් එක්ක රසකැවිලි බෙදා ගෙන ඒක සමරන්න අවශ්‍යයි කියලා සුබයිර් මට කිව්වා."
"මම විහිළුවට කිව්වා, 'හොඳ කඩේකින් අලුත් ම රසකැවිලි ගේන්න' කියලා, නැත්නම් එයාට උසාවි සංකීර්ණයට ඇතුළු වෙන්න දෙන්නෙ නෑ කියලා," නීතිඥ වහීඩ් පැවසීය.
එය අසා සිටි සුබයිර්, "ඔයාගේ ජීවිත කාලෙට ම මතක හිටින රසකැවිලි මං ඔයාට දෙන්නම්කෝ," යනුවෙන් සිනාසෙමින් පැවසූ බව වහීඩ් සඳහන් කළේ ය.
සුබයිර් ගුමාන් විශාල රසකැවිලි පෙට්ටියක් රැගෙන එහි පැමිණි බව ඔහු පැවසීය. "අපි අධිකරණ සංකීර්ණයේ ප්‍රධාන දොරටුව ළඟ තියෙන ආපන ශාලාවේ වාඩි වෙලා අපේ මිතුරන්ටයි එතන හිටපු අනිත් නීතිඥයින්ටයි රසකැවිලි දුන්නා."
වහීඩ් අහමඩ් පැවසුවේ, ඔවුන් පැයකට වැඩි කාලයක් ආපන ශාලාවේ වාඩි වී සිටි බවත්, පසුව නඩු විභාග කිරීම සඳහා විවිධ දිස්ත්‍රික් අධිකරණවල පෙනී සිටීමට ඇති බැවින් තමන් ඔවුන්ගෙන් අවසර ඉල්ලා එතනින් පිට වී ගිය බවත් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ආපන ශාලාවෙන් පිටව යන විට, නීතිඥ සුබයිර් අස්ලම් ගුමාන් තම මිතුරන්ට පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු වීමෙන් පසු, "පකිස්ථානයේ සියලුම අධිකරණවලය පූර්වාදර්ශයක් විය හැකි වැදගත්කමින් වැඩි නඩුවක් භාර ගැනීමට තමාට අවශ්‍ය" බව ය.
ව්‍යවස්ථාපිත අධිකරණයක් පිහිටුවීමට යන බැවින් කාලය කෙටි බවත්, තරගකාරිත්වය ඉහළ බැවින් ඔහුට මුලින් ම ඉහළ පෙළේ නඩුවක් සොයාගෙන ඒ සඳහා සූදානම් විය යුතු බවට විහිළුවට මෙන් පැවසූ බවත් වහීඩ් අහමඩ් පැවසීය.
මෙය ඇසූ විට සුබයිර් සිනාසුණු බවත්, පසුව අධිකරණ සංකීර්ණයෙන් පිටවීම සඳහා ප්‍රධාන ගේට්ටුව දෙසට ඇවිද ගිය බව වහීඩ් සඳහන් කළේ ය.
නඩුව විභාග කිරීම සඳහා සිවිල් විනිසුරු අධිකරණයට තමා ඇතුළු වූ අතර ඒත් සමග ම විශාල පිපිරීමක් ඇසුණු බවත් එය අධිකරණයේ වීදුරු බිඳී යාමට හේතු වූ බවත් වහීඩ් අහමඩ් පැවසුවේ ය.
ඔහු පැවසුවේ පිපිරීම් හඬ ඇසුණු විට, තමා අනෙකුත් නීතිඥවරුන් සමග අධිකරණ ශාලාවෙන් පිටව ගිය බව සහ අධිකරණයේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත මාර්ගයේ තුවාල ලැබූ සහ මිය ගිය බොහෝ දෙනෙකු දුටු බව ය.
සුබයිර් අස්ලම් ගුමාන් ද ඒ අතර සිටියේ ය.
වහීඩ් අහමඩ්ට අනුව, "නීතිඥයින් සහ ගලවා ගැනීමේ සේවකයින් තුවාලකරුවන් PIMS රෝහලට ගෙන ගිය නමුත් සුබයිර් අතරමගදී මිය ගියේ ය."

ඡායාරූප මූලාශ්‍රය, Riasat Azad
'සුබයිර් අස්ලම් උද්යෝගීමත් හා කරුණාවන්ත කෙනෙක්'
සුබයිර් අස්ලම් ගුමාන්ගේ මිතුරන්ට ඔහු ඉතා උද්යෝගීමත් හා මිත්‍රශීලී පුද්ගලයෙකු විය.
ඉස්ලාමාබාද් මහාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපති රියාත් අලි අසාද් බීබීසී උර්දු සේවය වෙත පැවසුවේ "නීතිඥ මිතුරෙකු ඔහුට නරකක් කිව්වත් සුබයිර්ට එය ප්‍රශ්නයක් වුණේ නැහැ," යනුවෙනි.
සුබයිර් අස්ලම් ගුමාන් නිලවරණවලට සහභාගී වීමට ඉතා උනන්දු වූ බවත්, සෑම වසරක ම නීතිඥ නිලවරණවලට සහභාගී වීම සඳහා සියලු ම තනතුරු සඳහා ඔහුගේ නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කළ බවත් රියාත් අලි අසාද් පැවසුවේ ය. කෙසේ වෙතත්, මිතුරන්ගේ ඉල්ලීම පරිදි, ඔහු තම නාමයෝජනා පත්‍ර ඉල්ලා අස්කර ගන්නා බව ද ඔහු පැවසීය.
සුබයිර් අස්ලම් ගුමාන්ගේ පියා වන අස්ලම් ගුමාන් ද ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු වූ නමුත් ඔහු විශ්‍රාමගෙන ඇත.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව, එරට විශාලතම නීතිඥ සංවිධානය වන පකිස්ථාන නීතිඥ කවුන්සිලය, රට පුරා වැඩ වර්ජනයක් කැඳවා ඇති අතර, ඉස්ලාමාබාද් නීතිඥ කවුන්සිලය දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
මෙය ඉස්ලාමාබාද්හි දිස්ත්‍රික් අධිකරණවලින් පිටත සිදු වූ දෙවන ප්‍රධාන මරාගෙන මැරෙන ප්‍රහාරයයි. මීට පෙර, හිටපු හමුදා ජනාධිපති පර්වේස් මුෂාරෆ්ගේ පාලන සමයේදී එවකට අගවිනිසුරු ඉෆ්තිකාර් මුහම්මද් චෞද්‍රි බලයෙන් පහ කිරීමෙන් පසු දිස්ත්‍රික් අධිකරණය ඉදිරිපිට පැවති උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ අතර, එහිදී පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ.
දිස්ත්‍රික් අධිකරණ මීට පෙර ඉස්ලාමාබාද්හි F-8 අංශයේ පිහිටා තිබූ නමුත් දැන් ඒවා G-11 අංශයට මාරු කර ඇත.
මෝටර් රථයක් සෝදමින් සිටි දරුවෙකුත් ජීවිතක්ෂයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Image
අඟහරුවාදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය දොළොස් දෙනා අතර, අධිකරණ වාහන නැවැත්වීමේ ස්ථානයේ නීතිඥයන්ගේ මෝටර් රථ පිරිසිදු කිරීමෙන් ජීවිකාව උපයා ගත් තන්වීර් නම් යෞවනයෙක් ද විය.
ප්‍රදේශයේ පොලිසිය පවසන්නේ, ඔහු ගොල්රා අසල මෙහරාබාදිහි පදිංචිකරුවෙකු බව ය.
පොලිසියට අනුව, ඔහු පසුගිය වසර පුරා අධිකරණයේ වාහන නැවැත්වීමේ ස්ථානයේ මෝටර් රථ සේදීමේ නිරත වී තිබේ.
පොලිස් නිලධාරියෙකු බීබීසී උර්දු සේවයට පැවසුවේ, "මෙම දරුවා තම දෙමාපියන් ඇතුළු අට දෙනෙකු වෙනුවෙන් මුදල් ඉපැයීමට කටයුතු කරමින් සිට ඇති බව ය.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ 32 දෙනාගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පැවසේ.
සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමක් පිහිටුවීමට ඉඩ තිබුණු බවට වාර්තා විය. මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස සහ ශරීරයේ සාම්පල පොලිසිය පන්ජාබ් අධිකරණ වෛද්‍ය රසායනාගාරයට යොමු කිරීමට පියවර ගෙන ඇත.














