T20 ලෝක කුසලානය: සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට කණ්ඩායම් වලට හැකියාව ලැබෙන්නේ මෙහෙමයි

T 20 Trophy

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 6

විස්සයි 20 ලෝක කුසලානයේ කණ්ඩායම් තරගවල අවසන් සතියට එළඹී ඇති අතර, සුපිරි 8 දෙනාගේ කාණ්ඩයේ ස්ථාන තුනක් තවමත් හිස්ව තිබේ.

සුපිරි 08 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වූ අතර, පකිස්ථානයට එරෙහිව ඉරිදා (පෙබරවාරි 15) පැවැති තරගය ජයග්‍රහණය කරමින් ඉන්දියාව ද, මීට අමතරව දකුණු අප්‍රිකානු කණ්ඩායම ද මීලඟ අදියර සඳහා සුදුසුකම් ලබා සිටියි.

සුපිරි 8: ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? කණ්ඩායම් වලට සුදුසුකම් ලබාගත හැක්කේ කොහොම ද?

A සිට D දක්වා වන සෑම කාණ්ඩයකම ඉහළන්ම සිටින කණ්ඩායම් දෙක සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙන අතර, එය කාණ්ඩ දෙකකින් සමන්විත වේ.

පළමු අදියරේ තරග හතරෙන් පසුව කණ්ඩායම්වල ලකුණු සම තත්ත්වයේ තිබෙන්නේ නම්, ඔවුන් ලද ජයග්‍රහණ ගණන සහ පසුව ශුද්ධ ලකුණු ලබා ගැනීමේ අනුපාතය අනුව ශ්‍රේණිගත කිරීම් කරනු ලැබේ.

ශ්‍රේණිගත කණ්ඩායම් අනුව උපකල්පිත සුපිරි 8 කාණ්ඩය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කල් තබා තීරණය කර ඇත:

X කාණ්ඩය: ඉන්දියාව (X1), ඕස්ට්‍රේලියාව (X2), බටහිර ඉන්දීය කොදෙව් (X3), දකුණු අප්‍රිකාව (X4)

Y කාණ්ඩය: එංගලන්තය (Y1), නවසීලන්තය (Y2), පකිස්ථානය (Y3), ශ්‍රී ලංකාව (Y4)

එම කණ්ඩායම්වලින් එක් කණ්ඩායමක් හෝ සුපිරි 8 කාණ්ඩය සඳහා සුදුසුකම් ලැබීමට අපොහොසත් වුවහොත්, ඒ වෙනුවට ඉදිරියට පැමිණෙන කණ්ඩායම් අදාළ ස්ථානය හිමිකර ගනු ඇත.

සුපිරි 8 දෙනාගේ වටයේදී සෑම කණ්ඩායමක් ම තවත් තරග 03 ක් ක්‍රීඩා කරන අතර, ඔවුන්ගේ කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමඟ එක් වරක් තරග කිරීමට නියමිතයි.

එම තරගවලින් පසුව, එක් එක් කාණ්ඩයේ ඉහළින් සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත. සෑම සුපිරි 8 දෙනාගේ කාණ්ඩයකම පෙරමුණේ සිටින කණ්ඩායම අනෙක් කාණ්ඩයේ දෙවන ස්ථානයේ පසුවන කණ්ඩායම සමඟ තරග වදිනු ඇත.

A කාණ්ඩය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉතිරි තරගය: පකිස්ථානය සහ නැමීබියාව (පෙබරවාරි 18) සහ ඉන්දියාව සහ නෙදර්ලන්තය (පෙබරවාරි 18) අතර පැවැත්වේ.

වත්මන් විස්සයි 20 ලෝක කුසලාන ශූරයන් වන ඉන්දියාව ප්‍රතිවාදී පකිස්ථානයට එරෙහිව ලකුණු 61 ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් සුපිරි 8 දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කර ගෙන සිටියි.

එම පරාජයත් සමඟ පකිස්ථානය A කාණ්ඩයේ තුන්වන ස්ථානයට පත් වූ අතර, ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයට දැඩි බලපෑමක් එල්ල විය.

කෙසේ වෙතත්, බදාදා පැවැත්වීමට නියමිත නැමීබියාවට එරෙහි අවසන් තරගය ජයග්‍රහණය කළහොත්, පකිස්ථානයට ඉදිරියට පැමිණීමට හැකිවනු ඇත.

ඇමෙරිකාව ඔවුන්ගේ සියලුම තරගවලට මුහුණ දී අවසන් අතර දැනට A කාණ්ඩයේ දෙවන ස්ථානයේ පසුවේ. ඇමෙරිකාවට එම කාණ්ඩයේ පෙරමුණේ සිටීමට නම් නැමීබියාවට එරෙහි තරගය පකිස්ථානය පරාජයට පත්වීම හා ඉන්දියාව සමග පැවැත්වෙන තරගයෙන් නෙදර්ලන්තය පරාජයට පත්වීම හෝ ජයග්‍රහණය කළහොත් ඇමෙරිකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය නෙදර්ලන්තය පසුකර නොයා සිටිය යුතුය.

නෙදර්ලන්තය ඉන්දියාව පරාජය කළ යුතුයි. පකිස්ථානය පරාජය වේ යැයි බලාපොරොත්තු විය යුතුය. එමෙන්ම සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සඳහා ශුද්ධ ලකුණු ලබා ගැනීමේ අනුපාතය අනුව තීරණය කළ හැකිය.

නැමීබියාව තරගාවලියෙන් ඉවතට යනු ඇත.

B කාණ්ඩය

ඉතිරි තරග: ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව (පෙබරවාරි 16), අයර්ලන්තය සහ සිම්බාබ්වේ (පෙබරවාරි 17), ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ (පෙබරවාරි 19), ඕස්ට්‍රේලියාව සහ ඕමානය (පෙබරවාරි 20) අතර පැවැත්වේ.

අද (පෙබරවාරි 16) ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවට සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට හැක. නමුත් ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ තරගය ජය ගැනීමට සිදුවනු ඇත.

එසේ වුවහොත් සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාවේ සිය ශුද්ධ ලකුණු අනුපාතය සලකා බැලීමට සිදුවේ. කෙසේ වුවත් ශ්‍රී ලංකාව තමන් ක්‍රීඩා කරන තරග දෙක ජයග්‍රහණ කළහොත් කිසිදු බාධාවකින් තොරව සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට අවස්ථාව උදාවේ.

අද (පෙබරවාරි 16) ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය ඔස්ට්‍රේලියාව පරාජයට පත්වී, හෙට (පෙබරවාරි 17) සිම්බාබ්වේ කණ්ඩායම අයර්ලන්තය පරාජය කළහොත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇත. සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට ඔස්ට්‍රේලියාවට ඔවුන්ට ඉතිරිව ඇති තරග දෙකම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වන අතර, ශුද්ධ ලකුණු අනුපාතය ද වැදගත් වනු ඇත.

අනෙක් අතින් සිම්බාබ්වේ කණ්ඩායමට ඉතිරිව ඇති තරග දෙක ජයග්‍රහණ කළහොත් සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට අවස්ථාව හිමිවේ. යම් හෙයකින් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළහොත් ඔවුන්ට ඉදිරි වටයට සුදුසුකම් ලැබීම රඳා පවතින්නේ ශුද්ධ ලකුණු අනුපාතය මතය.

අයර්ලන්තය ඔවුන්ගේ අවසන් තරගය ජයග්‍රහණය කළ යුතු අතර අනෙකුත් තරගවල ප්‍රතිඵල ඔවුන්ගේ වාසියට ලැබිය යුතුය. මන්ද ඔවුන්ට සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබිය හැක්කේ ශුද්ධ ලකුණු අනුපාතය අනුව පමණි.

ඕමානය තරගාවලියෙන් ඉවතට යනු ඇත.

C කාණ්ඩය

ඉතිරි තරග : එංගලන්තය සහ ඉතාලිය (පෙබරවාරි 16), ස්කොට්ලන්තය සහ නේපාලය (පෙබරවාරි 17), බටහිර ඉන්දීය කොදෙව් සහ ඉතාලිය (පෙබරවාරි 19) අතර පැවැත්වේ.

ඉරිදා නේපාලයට එරෙහිව කඩුලු නවයක ජයක් ලබා ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුපිරි 08 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගෙන සිටියි.

එංගලන්තය ඉදිරියට යාමට නම් අද (පෙබරවාරි 16) ඉතාලිය පරාජය කළ යුතුය. අද තරගය එංගලන්තය පරාජය වුවහොත් ශුද්ධ ලකුණු අනුපාතය මත ඔවුන් තරගාවලියෙන් ඉවත් වීමට ඉඩ තිබේ.

ස්කොට්ලන්තය නේපාලය පරාජය කළ යුතු අතර ඉතාලිය එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කළ යුතු යැයි බලාපොරොත්තු විය යුතුය. නමුත් ඉතාලිය ස්කොට්ලන්තයේ ශුද්ධ ලකුණු අනුපාතය ඉක්මවා නොයා යුතුය.

ඉතාලිය එංගලන්තය පරාජය කළ යුතු නමුත් බටහිර ඉන්දීය කොදෙව්වන්ට පරාජය විය හැකි අතර එවිට ශුද්ධ ලකුණු අනුපාතය අනුව සුපිරි 08 දෙනාගේ වටයට පිවිසෙන්නේ කවුද යන්න තීරණය කරනු ඇත. තරග දෙකක් ජය ගතහොත් ඔවුන්ට පහසුවෙන්ම සුපිරි 8 දෙනාගේ වටයට පිවිසිය හැකි අතර එංගලන්තයට එරෙහි තරගය ජය ගැනීම සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමෙන් ද ඔවුන්ට ඉදිරි වටයට යෑමට අවස්ථාව උදාකරනු ඇත.

නේපාලය තරගාවලියෙන් ඉවතට යනු ඇත.

D කාණ්ඩය

ඉතිරි තරග: ඇෆ්ගනිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (පෙබරවාරි 16), නවසීලන්තය සහ කැනඩාව (පෙබරවාරි 17), දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (පෙබරවාරි 18), ඇෆ්ගනිස්ථානය සහ කැනඩාව (පෙබරවාරි 19) අතර පැවැත්වේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට සමත් විය. අද (පෙබරවාරි 16) පැවැත්වූ තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇෆ්ගනිස්ථානයට පරාජය වීමෙන් පසු දකුණු අප්‍රිකාවට සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව උදාවිය.

නවසීලන්තය අනිවාර්යෙන්ම කැනඩාවට එරෙහි තරගය ජයග්‍රහණය කළ යුතු අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ තරග දෙකම ජයග්‍රහණය නොකරනු ඇතැයි බලාපොරොත්තු විය යුතුය. එසේ සිදුවුවහොත්, සුපිරි 08 දෙනාගේ වටයට පිවිසෙන්නේ කවුරුන්ද යන ශුද්ධ ලකුණු අනුපාතය තීරණය කරනු ලැබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට ඔවුන්ට ඉතිරිව ඇති තරග දෙකම ජයග්‍රහණය කිරීමට සිදුවන අතර, එසේ වුවද, සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට ශුද්ධ ලකුණු අනුපාතය මත බලාපොරොත්තු තැබිය හැක.

ඇෆ්ගනිස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන තරගය ඇතුළුව ඔවුන්ට ක්‍රීඩා කිරීමට ඇති තරග දෙකම ජයග්‍රහණය කළ යුතු වේ. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෝ නවසීලන්තය ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිත තරග දෙක පරාජය වනු ඇති බවට අපේක්ෂා කළ යුතුය.

කැනඩාවට ඔවුන්ගේ ඉතිරි තරග දෙකම ජය ගත යුතු අතර ඔවුන්ට සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට අනෙක් කණ්ඩායම්වල ප්‍රථිපල වාසි සහගත විය යුතුය.

ශුද්ධ ලකුණු අනුපාතය ගණනය කරන්නේ කෙසේද?

ලකුණු අනුපාතය යනු කණ්ඩායමක් පන්දු වාරයකට ලබා ගත් ලකුණු වල සාමාන්‍යයි. උදාහරණයක් ලෙස, පන්දුවාර 20 කදී ලකුණු 140 ක් ලබා ගැනීම යනු පන්දු වාරයක සාමාන්‍යය ලකුණු 7කි.

ශුද්ධ ලකුණු අනුපාතය ගණනය කරනු ලබන්නේ ප්‍රතිවාදී කණ්ඩායමේ ලකුණු අනුපාතය අනෙක් කණ්ඩායමේ ලකුණු අනුපාතයෙන් අඩු කිරීමෙනි.

එහිදී ජයගන්නා කණ්ඩායමට ධනාත්මක ශුද්ධ ලකුණු අනුපාතයක් ඇති අතර, පරාජිත කණ්ඩායමට සෘණ ශුද්ධ ලකුණු අනුපාතයක් ඇත.

තරගාවලියකදී, ශුද්ධ ලකුණු අනුපාතය ගණනය කරනු ලබන්නේ, එම කණ්ඩායම එක් එක් තරගයේදී ලබා ගත් ලකුණු සාමාන්‍ය සහ එක් එක් තරගයේදී ඔවුන්ට එරෙහිව ලබා ගත් ලකුණු සාමාන්‍ය අඩු කිරීමෙනි.

කණ්ඩායමක් සිය පන්දුවාර 20ට පෙර දැවී ගියහොත්, ඔවුන්ගේ ලකුණු අනුපාතය ගණනය කරනු ලබන්නේ ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව පන්දුවාර 20 න් බෙදීමෙනි.