ශ්‍රී ලංකාව ලෝකයේ නිවාඩු වැඩි රටක් ද? නිවාඩු කප්පාදු යෝජනාවට කුමක් වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ නිවාඩු දින ගණන වැඩි බවට කාලයක් තිස්සේ යම් මතයක් ගොඩ නැගෙමින් තිබේ.
වත්මන් රාජ්‍ය සේවක වරප්‍රසාද අනුව ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය සේවකයින්ට වසරකට හිමි වන වැටුප් සහිත නිවාඩු සංඛ්‍යාව 42කි.
එම නිවාඩු 42 ම අසනීප නිවාඩු ලෙස භාවිත කළ හැකි අතර අනියම් නිවාඩු ලෙස දින 21ක් ලැබේ.
ඊට අමතරව, පොහොය දින, වෙනත් විශේෂ දින සහ ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු ආදී වශයෙන් ද නිවාඩු කිහිපයක් හිමි වෙයි.
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අනියම් සහ විවේක නිවාඩු 45ක් ලැබෙන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් පවසයි.
ඒ අනුව, රජයේ නිලධාරීන්ට දැනට වාර්ෂිකව හිමි වන දින හතළිස් පහක අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාව දින විසි පහ දක්වා අඩු කිරීම සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර තිබේ.
ඔහු යෝජනා කර ඇත්තේ, අනියම් නිවාඩු දින 10ක් සහ විවේක නිවාඩු දින 15ක් ලෙස නිවාඩු දින ගණන 25 දක්වා අඩු කළ යුතු බවට ය.
වෘත්තීය සමිතිවල දැඩි විරෝධය
රැකියාවේ පීඩනය අඩු කිරීම, මානසික සහ ශාරීරික විවේකයක් ලබා දීම, පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමට ඉඩ සැලසීම මෙන් ම රැකියාව සහ ජීවිතය සමබරව පවත්වාගෙන යාමට සහය වීම එම හේතු අතර වේ.කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් වෘත්තීය සමිති රැසක් විරෝධය පළ කර තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර පවසන්නේ, රාජ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීම පසෙක ලා, සේවකයින්ට හිමි නිවාඩු දින ගණන වසරකට දින 25ක් දක්වා කප්පාදු කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කර ඇති යෝජනාවට තම සංගමය දැඩි විරෝධය පළ කරන බව ය.
පවතින ගැටලු විසඳා ගැනීමට සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමෙන් තොරව රාජ්‍ය සේවකයන් පීඩාවට පත් කරන මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීම නිෂ්ඵල බව ද ඔහු පවසයි.
මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් බීබීසී සිංහල සේවයට පැවසුවේ, සේවකයින්ට හිමි නිවාඩු සංඛ්‍යාව ඔවුන්ගේ අයිතියක් වන බව ය.
එම අයිතිය කප්පාදු කිරීමට කිසිවෙකුට නොහැකි බව ද, ඊට ඉඩ නොතබන බව ද ඔහු අවධාරණය කළේ ය.
"අපි දකින විදිහට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් යෝජනාවක් නෙවෙයි. රජය හදන්නේ වෙනත් ප්‍රශ්න ගෙනල්ලා රාජ්‍ය සේවකයින්ගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් දීමෙන් වැළකෙන එක යි. නිවාඩු කියන්නේ සේවකයින්ගේ මානසික ශුභ සිද්ධිය වෙනුවෙන් ඔවුන්ට විවේකයක් ලබා ගැනීමට ලැබෙන අයිතියක්. ඒ වගේ ම මේවා කාලයක් තිස්සේ සටන් කරලා දිනා ගත්ත අයිතිවාසිකම්. ඒවා වෙනස් කරන්න ආවොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි," ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසීය.
මේ අතර, දුම්රිය ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු වෘත්තීය සමිතියේ සභාපති සුමේධ ජයරත්න ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
ඔහු පැවසුවේ, සමස්තයක් වශයෙන් රාජ්‍ය සේවකයින්ගේ නිවාඩු කප්පාදු කිරීමේ යෝජනාවට එරෙහි වන බව ය.
"අපට නම් නිවාඩු කීයක් තිබුණත් වැඩක් නෑ. අපට නිවාඩු ගන්න විදිහක් නෑ. කවුරු හරි රියැදුරෙක් නිවාඩු ගත්තොත් දුම්රිය ගමන් වාරයක් අවලංගු කරන්න වෙනවා. ඒ නිසා අපි නිවාඩු පාවිච්චි කරන්නෙ ම නැති තරම්. අපට නිවාඩු ගන්න බැරි වුණත් සේවකයින්ට විවේකයක් අවශ්‍ය යි කියන මතයේ අපි ඉන්නවා. ඒ නිසා දැනට තියෙන නිවාඩු අඩු කරන එකට අපි එකඟ වෙන්නෙ නෑ."
නිවාඩු දෙන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවාඩු ලබා දෙන්නේ, හේතු කිහිපයක් මුල් කර ගනිමිනි.
රැකියාවේ පීඩනය අඩු කිරීම, මානසික සහ ශාරීරික විවේකයක් ලබා දීම, පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමට ඉඩ සැලසීම මෙන් ම රැකියාව සහ ජීවිතය සමබරව පවත්වාගෙන යාමට සහය වීම එම හේතු අතර වේ.
ශ්‍රී ලංකාවේ නිවාඩු වැඩි ද?
ශ්‍රී ලංකාව යනු නිවාඩු වැඩියෙන් ම ඇති රටවල් අතරින් එකක් බව කම්කරු නීතිය පිළිබඳ විශේෂඥයෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය ඒ. සර්වේස්වරන් පවසයි.
බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු ආගමික නිවාඩු, පොහොය වැනි සෑම ආගමක ම සේවකයින්ට ලැබෙන නිවාඩු ආදිය සැලකීමේදී ශ්‍රී ලංකාවේ සේවකයින්ට හිමි වී ඇති නිවාඩු සංඛ්‍යාව රටේ සංවර්ධනයට ප්‍රශ්නයක් වී ඇති බව ඔහුගේ අදහස යි.
ලෝකයේ වැඩි ම නිවාඩු සහිත රටවල් 5 අතර ශ්‍රී ලංකාව?
ලෝකයේ සමාගම් රැසක වැටුප් ගෙවීම් සම්බන්ධ මානව සම්පත් කළමනාකරණ නියෝජිත ආයතනයක් වන Mauve Group ආයතනය ලෝකය පුරා රටවල නිවාඩු දින සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර තිබේ.
එම විශ්ලේෂණය අනුව ලොව නිවාඩු වැඩි ම රටවල් 5 අතර ශ්‍රී ලංකාව ද සිටීම විශේෂත්වයකි.
සේවකයින්ට අසනීප, අනියම් ආදී නිවාඩුවලට අමතරව, සෑම මසක ම පොහොය දින, අලුත් අවුරුදු නිවාඩු, වෙනත් ආගමික නිවාඩු මෙන් ම බැංකු නිවාඩු ද ඇතුළුව නිවාඩු රැසක් ශ්‍රී ලංකාවේ සේවකයින් භුක්ති විඳින බව එම සමාගම පවසයි.
ශ්‍රී ලංකාවට අමතරව නිවාඩු වැඩි ම සෙසු රටවල් ලෙස Mauve Group ආයතනය නම් කර ඇත්තේ, කාම්බෝජය, ඉරානය, ඔස්ට්‍රියාව සහ ජපානය යි.
රටවල් කිහිපයක නිවාඩු දින ගණන් සැසඳීමක්
එක්සත් රාජධානියේ සතියට දින 5ක් සේවය කරන සේවකයින් වෙනුවෙන් වාර්ෂිකව හිමි වන නිවාඩු දින ගණන 28කි.
ඉන්දියාවේ නිවාඩු දින 42ක් පමණ ඇති අතර, ආගමික උත්සව අනුව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට එම ගණන් වෙනස් විය හැකි ය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ, දින 8ක් පමණි.
ලෝකයේ අඩු ම නිවාඩු දින ගණනක් ඇති රට ලෙස බොහෝ දෙනෙකු සලකන ස්විට්සර්ලන්තයේ ප්‍රසිද්ධ නිවාඩු දින ගණන 7කි.












