පන්දු යැවීමේ අමුතු ඉරියව්ව නිසා කතාබහට ලක්වූ උස්මාන් තාරික්: 'මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න පෙළඹුණේ දෝනි නිසා'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී උර්දු සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 4
සිය පන්දු යැවීමේ අමුතු ඉරියව්ව නිසා ප්‍රසිද්ධියට පත් අඩි 6යි අඟල් 1ක උසකින් යුතු පකිස්ථාන දඟ පන්දු යවන්නෙකු වන උස්මාන් තාරික් පවසන්නේ, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්. දෝනි නිසා තමන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ බව ය.
"මම එම්.එස්. දෝනි චිත්‍රපටය නැරඹුවාට පස්සේ ආපහු ක්‍රිකට් ක්‍රීඩා කරන්න ආවේ" යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් උස්මාන් පැවසුවේ ය.
පසුගිය ඉරිදා (පෙබරවාරි 15) පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගයේදී ඉන්දියාව ලකුණු 61කින් පකිස්ථානය පරාජයට පත් කළේ ය.
නමුත් උස්මාන් තාරික් හොඳින් පන්දු යැවූ අතර ඔහු යැවු පන්දු වාර 4 තුළදී ලකුණු 24ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගත්තේ ය. ඉන්දීය පිතිකරුවන්ගේ ආක්‍රමණශීලී පිති ප්‍රහාර මැඩපවත්වා ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ගේ කඩුල්ල දවා ගැනීමට තාරික් සමත් විය.
"දෝනි ගැන චිත්‍රපටිය බැලුවට පස්සේ, අපි දෙන්නගේ ම කතාව එක වගේ කියලා මට හිතුණා. මම වැඩ කළා, එයාත් වැඩ කළා. ඒ නිසා මට දැනුණා මෙතන ඉතිහාසයක් නිර්මාණය කළ කෙනෙක් ඉන්නවා කියලා," තාරික් අඟහරුවාදා (පෙබරවාරි 17) කොළඹදී පැවසුවේ ය.
"මමත් සාමාන්‍ය කෙනෙක්. සමහර විට මටත් ඒ පාරෙ ම යන්න පුළුවන් වෙයි, නමුත් ඒකට මට අනිත් අය වගේ ගොඩක් මහන්සි වෙන්න වෙයි. මම ක්‍රිකට්වලට ආපහු ආවේ එම්.එස්. දෝනි නිසා."
තාරික්ගේ පන්දු යැවීමේ ඉරියව්ව දැඩි කතාබහකට ලක්ව ඇත. ඒ, ඔහු පන්දු යැවීමට පෙර තත්පර කිහිපයක් නතර වී සිටීමෙන් අනතුරුව පන්දුව යොමු කිරීම හේතුවෙනි.
මෑතකදී පැවති ඔස්ට්‍රේලියා - පකිස්ථාන තරගාවලියේදීත් තාරික්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් කතාබහක් ඇති විය.
ඉන්දියාවට එරෙහි තරගයට පෙර එම විවාදය තීව්‍ර විය. රසිකයන්, මාධ්‍ය සහ හිටපු ක්‍රීඩකයින් සියලු දෙනා ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව, පන්දුව මුදා හැරීමට පෙර නතර වී සිටීම සහ පන්දු සංකලනය පිළිබඳ ඔවුන්ගේ අදහස් දක්වා තිබිණි.
ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති තරගයට පෙර සූර්යකුමාර් යාදව් ද තාරික්ගේ පන්දු යැවීමේ ඉරියව්ව අනුකරණය කරන අයුරු දක්නට ලැබිණි.
නමුත් තාරික් පැවසුවේ, එය ඔහුට වැදගත් නොවන බව ය.
"ප්‍රතිවාදී කණ්ඩායම් උස්මාන් තාරික් සමග ක්‍රීඩා කරන්නේ කොහොම ද කියලා අනෙක් කණ්ඩායම සූදානම් වීම ම මට හොඳ ලකුණක්. මම වෙනුවෙන් ම විශේෂයෙන් ඔවුන් සූදානම් වෙනවා කියලා පෙනෙනකොට මට ඒකෙන් විශ්වාසය වැඩි වෙනවා. මම හැම මොහොතක් ම භුක්ති විඳිනවා," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උස්මාන් තාරික් යනු කවුද?
ESPN Cricinfo වෙබ් අඩවියට අනුව, උස්මාන් තාරික් 2023 නොවැම්බර් මාසයේදී විස්සයි 20 කුසලාන තරගාවලියට සහභාගි විය.
ඔහු 2024 දී පකිස්ථාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ ද එතරම් බලපෑමක් ඇති කිරීමට සමත් නොවීය.
නමුත් 2024-25 අතර කාලය තුළ ඔහු දේශීය ක්‍රිකට් තරගවලදී නැවත විශිෂ්ට නැගිටීමක් පෙන්නුම් කරමින් තරග 15කදී කඩුලු 22ක් දවා ගත්තේ ය.
කෙසේ වෙතත්, මෙම කාලය තුළ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැමිණිලි දෙකක් ලැබී තිබිණි. පළමු පැමිණිල්ල 2024 පකිස්ථාන සුපර් ලීග් තරගාවලිය අතරතුර විය.
නමුත් ලාහෝර් ජාතික ක්‍රිකට් ඇකඩමියේ පවත්වන ලද පරීක්ෂණයෙන් ඔහු සමත් වූ අතර පසුව ඔහුට අඛණ්ඩව පන්දු යැවීමට අවස්ථාව උදාවිය.
නමුත් ඊට පසු වසරේදී පැවති පකිස්ථාන සුපර් ලීග් (PSL) තරගාවලියේදී ඔහුට එරෙහිව නැවත පැමිණිල්ලක් ගොනු කරන ලද නමුත් පසුව පැවති විමර්ශනයෙන් ද තාරික් සමත් විය.
තාරික් විස්සයි 20 ජාත්‍යන්තර තරග 5කදී කඩුලු 12ක් දවාගෙන ඇති අතර, ඔහුගේ ලකුණු ලබා දීමේ සාමාන්‍යය එක් පන්දු වාරයකට ලකුණු 5.94ක් වන අතර, විස්සයි 20 තරගවලදී එය ඉතා හොඳ මට්ටමක් ලෙස සැලකේ.
































