තුරඟ තරග පිටියේ ඛේදවාචකය:'දුක විකුණන මාධ්‍යවලින්' සමාජයට ලැබෙන ශුභසිද්ධිය කුමක්ද?

A girl reading news through phone

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පසුගිය දා කොළඹ තුරඟ තරග පිටියේදී සිදුවූ අවාසනාවන්ත සිද්ධිය පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වූ මාතෘකාවක් විය.

එම සිද්ධිය පමණක් නොව ඊට බලපෑ හේතු පිළිබදව කරුණු ගෙන හැර පෑමට ද සමාජ මාධ්‍යවල පමණක් නොව ප්‍රධාන ධාරාවේ රූපවාහිනී, පුවත්පත් ආදී මාධ්‍යවල ද වැඩි ඉඩකඩක් වෙන්වී තිබූ බවක් දක්නට ලැබිණි.

අදාළ ඝාතනය සිදුකිරීමට බලපෑ හේතු පොලිසියට ලබා දුන් ඇතැමුන්ගේ ප්‍රකාශ හරහා ජනතාව අතරට ගෙන යාමට විවිධ මාධ්‍ය ආයතන යුහුසුළු විය.

අද මේ ලිපිය පළ කිරීමේ අරමුණ වන්නේ, අදාළ සිද්ධියේ තවත් තොරතුරු ඉදිරිපත් කිරීම නොව සමාජයට කම්පනයට පත් කරන පුවතක් නිවැරදිව සමාජගත කිරීමේදී මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට සහ සමාජයක් ලෙස අපට ඇති වගකීම පිළිබදව පැහැදිලි කිරීමය.

කම්පන සංවේදී මාධ්‍යකරණය (Trauma Sensitive Journalism)

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

'ට්‍රෝමා' හෙවත් කම්පනය යනු යම් අනපේක්ෂිත සිද්ධියක් හරහා සමාජයක් කම්පනයට පත් වීම බව එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා විශ්වකෝෂය අර්ථ දක්වා තිබේ.

එනම් එම සිද්ධිය වින්දිතයාට පමණක් නොව සමස්ත සමාජනයට ම කම්පනයක් ඇති කරන්නක් බව කම්පන සංවේදී මාධ්‍යකරණය පිළිබද විශේෂඥයින්ගේ අදහසයි.

මේ පිළිබදව ඕස්ට්‍රේලියාවේ පිහිටි 'ආසියා පැසිෆික් ඩාර්ට් සෙන්ටර් ෆෝ ජර්නලිසම් ඇන්ඩ් ට්‍රෝමා' ආයතනයේ ව්‍යාපෘති ප්‍රධානී සහ සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක අමන්ත පෙරේරා සිය අත්දැකීම් බීබීසී සිංහල සේවය සමග බෙදා ගත්තේය.

"ඒ සිද්ධිය වුණ වෙලාවේ වීඩියෝ එකක් රිලීස් කරලා තිබුණා ඒ ළමයාගේ විශ්වවිද්‍යාලයේ එයා එක්ක ඉගෙන ගන්න තවත් ළමයි කට්ටියක් ඒ වැට ගාවට ඇවිල්ලා අහනවා මොකක් ද මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට තමයි ඒ ළමයින්ට කියන්නේ, මේ නැති වෙලා තියෙන ළමයාගේ නම. එතකොට ඒ එක ළමයෙක් එතනදි ඉතා ම දරුණු විදිහට අඬාගෙන වැටෙනවා. ඒකත් පෙන්නනවා. එතකොට මොකක් ද මේ ජනමාධ්‍යකරණය? දුක විකුණන මේ ජනමාධ්‍යකරණය අපි කරන්නේ සමාජ ශුභසිද්ධිය උදෙසා ද? නැත්නම් ක්ලික්ස් ලබා ගැනීම සදහා ද?"

"එක පාර්ශවයක් පොලිසියට දුන්න ප්‍රකාශයක් එහෙම පිටින් ම පත්තරවල දාලා තියෙනවා මම දැක්කා. එතනදි පත්තරවල කියන්නෙ නෑ මේක පුද්ගලයෙක් කරපු ප්‍රකාශයක් කියලා. එහෙම නම් ඒක පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් කියලා පැහැදිලිව පෙන්නුම් කරන්න ඕන. නැත්නම් ඒක ඒකපාර්ශවික වෙනවා.," අමන්ත පෙරේරා පැවසීය.

Crime Scene

ඡායාරූප මූලාශ්‍රය, AFP

වින්දිතයින්ගේ සහ අනෙක් පාර්ශවයේ පෞද්ගලික තොරතුරු වාර්තා කිරීම

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන කම්පන සංවේදී පුවත් වාර්තාකරණයේදී වින්දිතයන්ගේ මෙන් ම අනෙක් පාර්ශවයේ අතිශය පෞද්ගලික තොරතුරු ඉදිරිපත් කිරීමට උත්සහ කරන බව අමන්ත පෙරේරා පෙන්වා දෙයි.

ඔහු පැවසුවේ, වේල්ල වීදියෙන් හමුවූ කාන්තා මළ සිරුර සහ තුරග තරග පිටියේ ඝාතනය ආදී සංවේදී පුවත් වාර්තා කිරීමේදී පෞද්ගලිකව තබා තිබූ සටහන්, පෞද්ගලික ප්‍රකාශ ආදිය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම කනගාටුදායක සිද්ධියක් බවය.

"මාධ්‍යකරණයේ මූලික අරමුණ මහජන ශුභසිද්ධිය. ඉතින් අතිශය පෞද්ගලික කරුණු සමාජගත කිරීමෙන් සමාජයට සිදුවන යහපත මොකක් ද?" අමන්ත පෙරේරා ප්‍රශ්න කරයි.

"සමහර වෙලාවට අපි දකින දෙයක් තමයි පොඩ්ඩක් ඩීසන්සි එක තියාගන්න ඕන නිසා පින්තූරෙ ලාවට බොඳ කරල දානවා. නමුත් එතනදි අපට හොදට ම තේරෙනවා මේක ලේ විලක් මැද වැටිලා ඉන්න විශ්වවිද්‍යාල දරුවෙකුගේ පින්තූරයක් කියලා."

සමාජය කම්පනයට පත් නොවන පරිදි මාධ්‍යකරණයේ යෙදෙන්නේ කෙසේ ද?

සංවේදී සිද්ධියක් පිළිබදව වාර්තාකරණයේ යෙදීමේදී අනුගමනය කළ යුතු මූලික කරුණු 3ක් පිළිබදව ජාත්‍යන්තර මාධ්‍ය ආචාර ධර්ම අධ්‍යයනයේදී හමුවෙයි.

1. අවංකත්වයේ වැදගත්කම

සංවේදී තොරතුරු වාර්තාකරණයේදී මාධ්‍යවේදියා සහ වින්දිතයා අතර ඇති වන අවංකභාවය අතිශය වැදගත්ය. එවිට අදාළ වාර්තාකරණය හරහා වින්දිතයා කෙරෙහි පැවතිය යුතු ගෞරවණීයත්වය නොනැසී පවතී.

2. සංවේදීත්වය

වින්දිතයින්ට අතිශය සංවේදී ලෙස සැලකිය යුතුය. ඒ අනුව, වාර්තාකරණයේදී සැම විට ම වින්දිතයාගේ ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි ක්‍රියා කළ යුතුය.

3. නාට්‍යරූපීව ඉදිරිපත් නොකිරීම 

මහජන අවධානය වැඩි වශයෙන් යොමු කරවා ගැනීම සදහා නාට්‍යරූපීව අතිශයෝක්තියෙන් සහ සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් වාර්තාකරණයේ නොයෙදිය යුතුය.

සංවේදී සිද්ධියක් පිළිබදව වාර්තා කිරීමේදී ඕනෑ ම මාධ්‍යයක් සතු ඡායාරූප, වීඩියෝ දර්ශන, තොරතුරු යන දේවල් කෙලෙස භාවිත කළ යුතු ද? ඒවායින් භාවිත කරන්නේ මොනවා ද? යන්න පිළිබදව මාධ්‍ය ආයතන ආචාර ධර්මානුකූලව තීරණය කළ යුතු බව අමන්ත පෙරේරා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මාධ්‍ය සතු තාක්ෂණය යොදා ගනිමින් කම්පනය අවම වන ආකාරයට ඡායාරූප සහ වීඩියෝ දර්ශන ආදිය භාවිත කළ හැකි බවය.

1. සමීප නොවන රූප අපැහැදිලි කර පළ කිරීම.

2. වින්දිතයින්ගේ මුළු සිරුර නොපෙන්වා කම්පනයක් ඇති නොකරන සිරුරේ කොටසක් (ඇගිල්ලක් වැනි) පෙන්වීම.

3. අතිශය පෞද්ගලික තොරතුරු වාර්තා නොකිරීම.

ආදී පියවර කිහිපයක් අනුගමනය කරමින් ආචාර ධර්ම රකිමින් වාර්තාකරණයේ නියැළිය හැකි බව අමන්ත පෙරේරා පෙන්වා දුන්නේය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ වගකීම

සංවේදී පුවත් වාර්තාකරණයේදී ජනමාධ්‍යවේදීන්ට මෙන් ම සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට ද විශාල වගකීමක් ඇතැයි අමන්ත පෙරේරා පවසයි.

"දැන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලටත් වඩා ඇතැම් විට ජනතාව භාවිත කරන්නේ සමාජ මාධ්‍ය. ඒ නිසා සමාජ මාධ්‍ය හරහා සමාජය කම්පනයට පත් වීම අතිශය වේගවත්. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිත කරන්නන් මෙවැනි පුවත්වලට අදාළ තොරතුරු, වීඩියෝ සහ ඡායාරූප සංසරණය කරවීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. යමක් සංසරණය කරවීමට කලින් හොදට හිතා බැලිය යුතුයි මම ෂෙයාර් කරන දේ තුළින් සමාජයට වෙන දේ ගැන. තමන්ගේ ගිණුමට එන්ගේජ්මන්ට් වැඩි කර ගන්නා අරමුණින් මෙවැනි දේ කරන එක නතර කළ යුතුයි." ඔහු අවධාරණය කළේය.