ට්‍රොං මි ලෑන්: ඩොලර් බිලියන 44ක වංචාවකට මරණීය දණ්ඩනය ලැබූ වියට්නාම් බිලියනපතිනිය කවුද?

Truong My Lan (C), chairwoman of Van Thinh Phat Holdings, sits between two women in uniform

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රොං මි ලෑන් පසුගිය වසර 11ක කාලයක් තුළ වියට්නාමයේ සිදුවූ විශාලතම බැංකු වංචාව සම්බන්ධයෙන් වරදකරු වී ඇත
    • Author, බීබීසී වියට්නාම
    • Role, බැංකොක් සිට

හෝ චි මිං නගරයේ යටත් විජිත යුගයේ අධිකරණ සංකීර්ණයේ ශ්‍රේෂ්ඨත්වය මධ්‍යයේ, ශාලා හරහා දෝංකාර දෙන නමක් වටා කේන්ද්‍රගත වූ අධිකරණ ශාලාවේ එක් දසුනක් දිග හැරිණි: දෝංකාර දුන් ඒ නම වූයේ, ට්‍රොං මි ලෑන් ය.

වියට්නාමයේ වඩාත් ම සංවේදී නඩු විභාගයක් ලෙස සැලකුණු මෙම නඩු විභාගය හරහා, ලොව විශාලතම බැංකු වංචාවලින් එකක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඉකුත් අඟහරුවාදා මරණීය දණ්ඩනයට නියම වූ 67 හැවිරිදි වියට්නාම දේපළ සංවර්ධකයාගේ සූරාකෑම් ගැන අනාවරණය විය.

එවැනි සිද්ධියක් වෙනුවෙන් මරණීය දණ්ඩනය ලබා දීම අසාමාන්‍ය ලෙස දරුණු දඬුවමකි. ට්‍රොං මි ලෑන් යනු වියට්නාමයේ මූල්‍ය අපරාධයක් වෙනුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ කාන්තාවන් ඉතා සුළු පිරිසෙන් එක් අයෙකි. ඇයට තවමත් තීන්දුවට එරෙහිව අභියාචනා කළ හැකි ය.

ට්‍රොං මි ලෑන් වසර 11ක කාලයක් තුළ සෙයිජන් වාණිජ බැංකුවෙන් (SCB) ඇමෙරිකානු ඩොලර් බිලියන 44ක් (ස්ටර්ලිං පවුම් බිලියන 35ක්) ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු විය. නීතීඥයින් පැවසුවේ, ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 27ක් කිසි සේත් අය කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, එය 2023 වසරේදී රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%කට සමාන අගයක් බවත් ය.

සාමාන්‍යයෙන් සැබෑ තතු හෙළි කිරීමට මැළිකමක් දක්වන කොමියුනිස්ට් බලධාරීන්, මෙම නඩුව විවෘතව සාකච්ඡා කිරීම හරහා, මාධ්‍යයට සංකීර්ණ තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් පුදුමයට පත්වූහ.

මෙම නඩු විභාගයේදී සාක්ෂිකරුවන් ලෙස 2700 දෙනෙකු කැඳවා තිබූ අතර, රජයේ නීතිඥයින් 10 දෙනෙකු සහ තවත් නීතීඥයින් 200 දෙනෙකු පමණ ඊට සම්බන්ධ වූ බව ඔවුහු පැවසූහ.

ටොන් 6ක් බර පෙට්ටි 104ක සාක්ෂි තබා තිබිණි. ට්‍රොං මි ලෑන් සමග චෝදනා ප්‍රතික්ෂේප කළ විත්තිකරුවන් 85 දෙනෙකුට එරෙහිව නඩු විභාග කරන ලදී.

විත්තිකරුවන් සියලු දෙනා වැරදිකරුවෝ වූහ. සිව් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය. ඉතිරි පිරිසට වසර 20 සිට වසර 3 දක්වා අත්හිටවූ සිරදඬුවම් නියම විය. ට්‍රොං මි ලෑන්ගේ ස්වාමි පුරුෂයාට සහ ලේලියට පිළිවෙළින් අවුරුදු නවයක සහ 17ක සිරදඬුවම් නියම විය.

වියට්නාමයේ දීර්ඝ අත්දැකීම් ඇති විශ්‍රාමික ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු වන ඩේවිඩ් බ්‍රවුන් පවසන්නේ, "කොමියුනිස්ට් යුගයේ මෙවැනි ප්‍රදර්ශනාත්මක නඩු විභාගයක් කිසි දිනෙක සිදුවී නැහැ," වියට්නාමයේ දීර්ඝ කාලීන අත්දැකීම් සහිත විශ්‍රාමික ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු වන ඩේවිඩ් බ්‍රවුන් පවසයි. "නිසැකව ම මේ වගේ ප්‍රමාණයකින් කිසි ම නඩු විභාගයක් සිද්ධ වුණේ නෑ."

කෙසේ වෙතත්, මෙම අධිකරණ නාටකයේ කේන්ද්‍රීය චරිතය ගැන අප දන්නේ කුමක්ද?

Truong My Lan, chairwoman of Van Thinh Phat Holdings, center, arrives at the Ho Chi Minh City People's Court in Ho Chi Minh City flanked by other women in uniform

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හෝ චි මිං නගරයේ චීන-වියට්නාම් පවුලක පහළ පසුබිමක සිට මූල්‍ය චෝදනාවක කේන්ද්‍රීය විත්තිකරු දක්වා වූ ට්‍රොං මි ලෑන්ගේ ගමන අභිලාෂකාමී ඉහළට නැගීමකි

හිනි පෙත්තටම නැඟීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

හෝ චි මිං නගරයේ චීන-වියට්නාම් පවුලක පහළ පසුබිමක සිට මූල්‍ය චෝදනාවක කේන්ද්‍රීය විත්තිකරු දක්වා වූ ට්‍රොං මි ලෑන්ගේ ගමන අභිලාෂකාමී ඉහළට නැගීමකි.

තම මව සමග වෙළෙඳපොළේ වෙළෙන්දියක ලෙස සුළු ආරම්භයක සිට, ඇය ඩොයි මෝයි ලෙස හැඳින්වෙන වියට්නාමයේ ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයේදී දේපළ හිමිකාරියක බවට පත්වූවා ය. 1990 දශකය වන විට, ඇය සැලකිය යුතු හෝටල් සහ ආපන ශාලා තොගයක් අත්පත් කරගෙන සිටි අතර, එය ඇයගේ තීක්ෂණ ව්‍යාපාරික ඥානයට සාක්ෂියකි.

කෙසේ වෙතත්, ඇය ගැන වැඩි අවධානයක් යොමු වූයේ, සයිගන් වාණිජ බැංකුව සමග පැවති සම්බන්ධය හේතුවෙනි.

පැමිණිලිකරුවන් චෝදනා කළේ, මූලික වත්කම් පෙන්වන නාමික සමාගම් සහ ඒවායේ නියෝජිත සමාගම් එක්ව නිර්මාණය කළ ව්‍යාකූල තත්ත්වයක් හරහා, ට්‍රොං මි ලෑන් එම බැංකුවේ 90%කට වඩා පාලනය කළ බවත්, පුද්ගල හිමිකාරිත්වය 5%ක උපරිමයකට සීමා කර තිබූ රෙගුලාසි උල්ලංඝණය කර ඇති බවත් ය.

මෙම බැංකු අධිරාජ්‍යය තුළ මූල්‍ය වංචාවක් සිදු වූයේ, ට්‍රොං මි ලෑන් පෞද්ගලික වාසි තකා අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමත් සමග ය.

බැංකුව ලබා දුන් සියලු ම ණයවලින් 93%ක් වූයේ, ඇයගේ ණය යි.

පැමිණිල්ලේ නීතිඥයින් පවසන පරිදි, 2019 පෙබරවාරියේ සිට වසර තුනක කාලයක් තුළ, ඇය තම රියැදුරුට වියට්නාම් ඩොං ට්‍රිලියන 108ක්, එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 (පවුම් බිලියන 2.3) කට වඩා වැඩි මුදලක් බැංකුවෙන් ලබාගෙන එය ඇගේ භූගත මාලයේ ගබඩා කරන ලෙස නියෝග කර ඇති බවය.

වියට්නාමයේ වටිනාකමින් වැඩි ම මුදල් නෝට්ටුවලින් ගණනය කළ ද, එම විශාල මුදල් ප්‍රමාණය බොහෝ වියට්නාම ජාතිකයින් මවිතයට පත් කරවිය හැකි පරිදි ටොන් දෙකක බරින් යුක්ත වේ. එවැනි මුදලකින් කොටසකට ප්‍රවේශ වීමට පවා සාමාන්‍යයෙන් සංකීර්ණ ක්‍රියාවලියකට මුහුණ දිය යුතු අතර ඇපයක් පවා ඉදිරිපත් කළ යුතු ය.

ඇයගේ ණය කිසි විටෙකත් පරීක්ෂාවට ලක් නොවන බව සහතික කිරීම සඳහා නොමසුරුව අල්ලස් දුන් බවට ද ඇයට චෝදනා එල්ල විය. ඇය සමග නඩු විභාගයට මුහුණ දුන් අයගෙන් එක් අයෙකු මහ බැංකුවේ ප්‍රධාන පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක අල්ලසක් ලබා ගත් බවට ඔහුට චෝදනා එල්ල විය. ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

'මගේ ලෝකය කඩා වැටුණා'

People relax on the bank of Saigon River in Ho Chi Minh City, Vietnam, on Sunday, February 25, 2024.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම නඩු විභාගය සයිගොන් වාණිජ බැංකුව පිහිටි හෝ චි මිං නගරයේ දීම පැවැත්විණි

ට්‍රොං මි ලෑන් මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරදකරු වී ඇති අතර, බැඳුම්කර වංචා ඇතුළු අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් අවම වශයෙන් අමතර නඩු දෙකක් සඳහා තවමත් නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටී.

සෙයිගන් බැංකු විසින් අලෙවි කරන ලද වංචනික බැඳුම්කර මිලදී ගත් වයස අවුරුදු 27 සිට 60 දක්වා වූ සහ විවිධ පසුබිම්වලින් පැමිණි පුද්ගලයන් 42,000කට අධික පිරිසක් මෙම යෝජනා ක්‍රමවලට ගොදුරු වූහ.

48 හැවිරිදි ඩැං ටෘං ලොං ඉන් එක් අයෙකි.

ඔහු වියට්නාමයේ කාර්යබහුල හෝ චි මිං නගරයේ දේපළ විකිණීම සඳහා අවසානයක් නොමැතිව පැය ගණනක් කැප කළේ, එක් ස්ථිර ඉලක්කයක් මනසේ තබාගෙන ය. ඒ, විදේශ අධ්‍යාපනය තුළින් තම දියණියගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ඉලක්කය යි.

දශක දෙකක් තිස්සේ වෙහෙස නොබලා වැඩ කිරීමෙන්, ඔහු වියට්නාම ඩොං බිලියන 1.7ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් 70,000) ඉතිරි කර ගැනීමට සමත් විය. සාමාන්‍ය මාසික ආදායම යන්තම් ඇමෙරිකානු ඩොලර් 330 ඉක්මවන රටක එවැනි මුදලක් ඉතිරි කර ගැනීම කැපී පෙනෙන ජයග්‍රහණයකි.

"මගේ එක ම දුවට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න මම හැම සතයක් ම ඉතිරි කළා. ඒත් මේ වංචාව නිසා මට ආපහු මුල ඉඳන් පටන් ගන්න සිද්ධ වුණා," ඔහු බීබීසී වෙත පැවසීය.

"මගේ ලෝකය කඩා වැටුණා. මගේ දුවගේ හීනත් බිඳිලා ගියා."

"හැම දේ ම ආයෙත් ගොඩ නගන්න තරම් මම සෞඛ්‍ය සම්පන්නයි කියලා මට විශ්වාසයක් නෑ."

පිළිතුරු නැති ප්‍රශ්න

Nguyen Phu Trong

ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්වරයා විසින් දූෂණ විරෝධී ව්‍යාපාරය මෙහෙයවනු ලබයි

ට්‍රොං මි ලෑන්ගේ නඩු විභාගය පළමු වරට දිග හැරෙන විට, එවැනි යෝජනා ක්‍රමයක් හඳුනා ගැනීමකින් තොරව දශකයකට වැඩි කාලයක් පවත්වාගෙන යා හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු විය.

සිංගප්පූරුවේ ISEAS - Yusof Ishak ආයතනයේ වියට්නාම් අධ්‍යයන වැඩසටහන පවත්වාගෙන යන ලී හොං හීප් පවසන්නේ "මේක ප්‍රහේළිකාවක්," යනුවෙනි.

"මොකද එය රහසක් වුණේ නෑ. ට්‍රොං මි ලෑන් සහ ඇයගේ Van Thinh Phat ව්‍යාපාරික සමූහය සෙයිගන් බැංකුව ඔවුන්ගේ මුදල් එකතු කරන මුදල් කැටයක් ලෙස භාවිත කරමින් වඩාත් ප්‍රමුඛ ස්ථානවල නිශ්චල දේපළ විශාල වශයෙන් අත්පත් කර ගන්න අරමුදල් සම්පාදනය කරන බව වෙළඳපොළේ ප්‍රසිද්ධ කරුණක් වුණා.

"ඇයට කොහෙන් හෝ මුදල් ලබා ගැනීමට සිදු වූ බව පැහැදිලි යි. ඒත් පස්සේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. මේ ආකාරයට භාවිත කරන එක ම බැංකුව සෙයිගන් බැංකුව විතරක් නෙවෙයි. සමහර විට රජයට ඒක නොපෙනුණේ ඒ වගේ සිද්ධි ගොඩක් තිබෙන නිසා වෙන්න පුළුවන්."

ඩේවිඩ් බ්‍රවුන් අනුමාන කරන්නේ, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හා දේශපාලනයේ ප්‍රබල පුද්ගලයින් රටේ බැංකු ක්ෂේත්‍රය අර්බුදයට ලක් කරමින්, ආවේණික දූෂණවලින් අයුතු ප්‍රයෝජන ගනිමින් ට්‍රොං මි ලෑන් පිළිබද විමර්ශනවලින් ඇයව ආරක්ෂා කර ඇති බව ය.

කෙසේ වෙතත්, චෝදනා සහ අපවාද මධ්‍යයේ, පුළුල් කතාන්දරයක් මතු විය.

මෙම නඩු විභාගය හුදෙක් ට්‍රොං මි ලෑන් කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් පමණක් නොව වියට්නාමයේ දේශපාලන භූ දර්ශනය තුළ පාලනය සහ අධිකාරිය සඳහා වන විශාල අරගලයක් පෙන්නුම් කළේ ය.

කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ගුයෙන් ෆු ට්‍රොං, දූෂණ විරෝධී ව්‍යාපාරයකට නායකත්වය දෙමින්, දක්ෂිණාංශික සීමාරහිත ව්‍යාපාරික සංස්කෘතිය මත පක්ෂයේ ආධිපත්‍යය තහවුරු කරමින්, හෝ චි මිං නගරයේ බලගතු පුද්ගලයින්ගේ පාලනයකට යටත් නොවූ බලය පාලනය කිරීමට උත්සාහ කළේ ය.

මෙම ක්‍රියාවලිය හරහා ජනාධිපතිවරුන් දෙදෙනෙකුට සහ නියෝජ්‍ය අගමැතිවරුන් දෙදෙනෙකුට ඉල්ලා අස්වීමට බලකෙරුණු අතර, සිය ගණනක් නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ගවලට ලක්කිරීම හෝ සිරගත වීමට සිදුවිය.

ට්‍රොං මි ලෑන්ගේ නඩු විභාගය මෙම බල අරගලයේ යුද්ධ පිටියක් බවට පත් විය. එය පක්ෂයේ ගතානුගතික පරමාදර්ශ සහ වියට්නාමයේ ආර්ථික අභිලාෂයන්හි යථාර්ථයන් අතර ආතතියේ සංකේතයකි.

රට තාක්‍ෂණය සහ දැනුම පදනම් කර ගත් ආර්ථිකයකට සංක්‍රමණය වීමට උත්සහ කරන විට, ආර්ථික වර්ධනයක් පවත්වා ගනිමින් දූෂණයට එරෙහිව සටන් කිරීමේ ක්‍රියාවලිය වියට්නාමයේ නැගීමට තුඩු දුන් යාන්ත්‍රණය කඩාකප්පල් වීමට තර්ජනයක් වනු ඇත.

"ඒක තමයි විරුද්ධාභාසය (පැරඩොක්ස් එක)," ලී හොං හීප් පවසයි. "ඔවුන්ගේ වර්ධන ආකෘතිය මෙතරම් කාලයක් දූෂිත ක්‍රියාවන් මත රඳා පැවතුණා. යන්ත්‍රෝපකරණ ක්‍රියා කරවන්න පහසු කරපු ග්‍රීස් තමයි, දූෂණය. ඔවුන් දූෂණය කියන ග්‍රීස් නතර කළොත් යන්ත්‍රෝපකරණ තවදුරටත් ක්‍රියාත්මක වෙන එකක් නැහැ."

ට්‍රොං මි ලෑන්ගේ නඩු විභාගය ශීඝ්‍රයෙන් වෙනස් වන වියට්නාමය තුළ බලය, අභිලාෂය සහ වගවීම අතර සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයේ සංකේතයකි.

නඩු විභාගය අවසන් වන විට, ඇගේ කතාවේ දෝංකාරය අධිකරණයේ තාප්පයෙන් ඔබ්බට දෝංකාර දුන්නේ, ඔවුන්ගේ අතීතය සමග පොරබදමින් සිටින ජාතියක් සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඉතිරි කරමිනි.