නව දූෂණ විරෝධී පනත:ඔබ දැනගත යුතු කරුණු මොනවාද?

Man hold money in hand. Receiving bribe, black money

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද සැප්තැම්බර් 15 සිට ක්‍රියාත්මකවීමට නියමිතය.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පසුගිය 09 වනදා නිකුත් කළේය.

දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙය අතීතයට බලපාන පරිදි ගෙන ආයුතු බවට සහ මෙටරටින් පිට කරන ලද සොරකම් කරන ලද ධනය යලි මෙරටට රැගෙන ඒමට හැකි පරිදි ගෙන ආයුතු බව විපක්ෂය මතුකරන ලද කාරණයකි.

දුෂණය පිටු දැකීම සඳහා ශ්‍රී ලංකාව තුළ දැනටත් අණ පනත් තිබියදී නව දුෂණ විරෝධී පනතක් ගෙන ඒමේ අරමුණ කුමක්ද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

නව පනත සමග අහෝසි වන පනත් තුන ගැන ඔබ දැනුවත් ද ?

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දුෂණ විරෝධී පනත් කෙටුම්පත පනතක් ලෙස සම්මත වූ විට මෙරට ක්‍රියාත්මක පනත් තුනක් අහෝසි වන බව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ උද්දේශන සහ පර්යේෂණ කළමනාකාර ජනිත්‍රිකා ජයසුන්දර පැවසුවාය.

" අල්ලස් පනත සහ දුෂණ විරෝධී පනත් කෙටුම්පතයි අතර තිබෙන විශේෂම වෙනස්කම තමයි ලංකාවේ අල්ලස සම්බන්ධයෙන් තියෙන නීති බැලුවම අල්ලස් පනත 1954 ආපු, ඊලඟට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත 1994 දී ආපු එක. ඒ වගේම 1975 දී ගෙනාපු වත්කම් සහ බැරකම් නීතියයී."

"එතකොට පාර්ලිමේන්තුවේදී දුෂණ විරෝධී පනත පාස් වුනොත් අර පරණ අල්ලස් පනත වගේම අල්ලස් කොමිෂන් සභා පනත යන පනත් දෙක සහ වත්කම් හා බැරකම් කියන නීතිය අහෝසි වෙනවා"

"ඒ කියන්නේ වෙන වෙනම තියෙන අර නීති තුන අහෝසි වෙලා ඒ ඔක්කොම එක නීතියක් වෙලා තමයි දුෂණ විරෝධී පනත කියලා එන්නේ." යැයි ඇය සඳහන් කළාය.

anti corruption
ඡායාරූප ශීර්ෂ වැකිය, දුෂණ විරෝධී පනත් කෙටුම්පත පනතක් ලෙස සම්මත වූ විට මෙරට ක්‍රියාත්මක පනත් තුනක් අහෝසි වනු ඇත

නව දුෂණ විරෝධී පනතක් කුමටද?

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගෙන එන බවට පසුගිය වසරේදී අධිකරණ අමාත්‍යාංශය අනාවරණය කළේය.

"ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් කියලා තියනවා දුෂණ විරෝධී පනතක් ගේන්න ඕන කියලා. ඒකෙ තියෙනවා ස්ට්‍රක්චරල් බෙන්ච් මාර්ක් කියලා දෙක තුනක්. මේ කාලය වෙනකොට මේ දේවල් කරන්න ඕන කියලා. "

"ඒකෙන් එකක් තමයි මේ අවුරුද්දේ ජුනි මාසය වෙන කොට ලංකාවේ දුෂණ විරෝධී පනත සම්මත වෙන්න ඕන කියලා. ඒකට හේතුව හැටියට කියලා ඒගොල්ලෝ කියන්නේ දුෂණ සිදුවන දුර්වලතා තියෙන තැන්වලට ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න පුළුවන් කියලයි ඒ පනත ගෙන්න හදන්නේ. ඒ නිසා තමයි මේ වෙද්දී මේ පනත හදිස්සියේම ගේන්නේ. "

"නමුත් හදිස්සියේ කියලා කියන්නත් බැහැ මොකද ගිය අවුරුද්දේ ඉදන්ම අපේ ආයතනය වගේම තවත් සිවිල් සංවිධාන කිහිපයක්ම එකතු වෙලා මේකට ඇතුළත් කළ යුතු කරුණු මොනවාද කියලා මහජනතාවගෙන් එහෙම අදහස් අරන් අමාත්‍යාංශයට දුන්නා."

"ඒ දුන්න නිර්දේශ, වට කිහිපයකදීම ඇතුලත් කරලා තිබෙන නිසා ගේන නව පනතේ සාධනීය මට්ටමක් තිබෙනවා."

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

දුෂණ විරෝධී පනතෙන් වැඩි දියුණු කර ඇති නීති මොනවාද ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නව දුෂණ විරෝධී පනත මගින් සෙසු පනත් තුනට සාපේක්ෂව සිදුකර ඇති නීති සම්බන්ධයෙන් ද අපි විමසා බැලුවෙමු.

"නව පනත මගින් සිදුකර තිබෙන වෙනස්කම් කිහිපයක්ම තිබෙනවා. ඒ අතර ලිංගික අල්ලස් ගැනීම, පෞද්ගලික ආයතන තුල සිදුවන අල්ලස්, නව පනත යටතේ විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා."

"අල්ලසක් කියලා ඒකේ හඳුන්වන්නේ, නිර්වචනය කරන්නේ යම් කිසි තුටු පඬුරක් කියලයි. ඒ කියන්නේ තුටු පඬුරක් කියන එකට මුදලක් වෙන්න පුලුවන්, මොකක් හරි රස්සාවක් වෙන්න පුළුවන්, ඒ වගේම කොන්ත්‍රාත්තුවක් වෙන්න පුලුවන්."

"නමුත් මෙච්චර කල් ඒක ඇතුලේ ලිංගික අනුග්‍රහයක් කියන එක හඳුනාගෙන තිබ්බේ නැහැ ලංකාවේ තියන අල්ලස් නීතිය යටතේ."

"මේදේ ගොඩක් වෙනවා. උදාහරණයක් ලෙස ගත්තම මොකක් හරි රැකියාවක් දෙන්න ලිංගික අල්ලස් ඉල්ලන එක තියෙනවා හැබැයි ඒක ලංකාවේ අල්ලස් නීතිය යටතේ වරදක් ලෙස තිබ්බේ නැහැ."

"අලුත් නිතියෙන් ලිංගික අනුග්‍රහය කියන එක වැරැද්දක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒක වැරැද්දක් විදිහට. ඒක ගොඩක් හොඳ වෙනසක්."

ලංකාවේ අල්ලස් නීතියේ පෞද්ගලික අංශයේ අල්ලස කියන එක වරදක් ලෙස මෙතරම් කාලයක් ඇතුලත්ව තිබුනේ නැහැ.

"මෙපමණ කාලයක් රජයේ ආයතනයක සම්බන්ධව සිද්ධ වෙන සිදුවීම් විතරයි අල්ලස් නීතිය ඇතුලේ අඩංගු වෙලා තිබුනේ."

"නමුත් නව නීතියේ යෝජනා කරලා තිබෙනවා පෞද්ගලික අංශයේ කාර්යාල තුල සිදුවන අල්ලස් සිදුවීම් වරදක් ලෙස ඇතුලත් කරන්න."

"පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙක් හෝ ඕනෑම මට්ටමක නිලධාරියෙක් අල්ලසක් ගත්තත්, අල්ලසක් පිරිනැමුවත්, ඒ සියල්ලම වැරැද්දක් විදිහට හඳුනා ගෙන තියෙනවා."

ක්‍රීඩා ඉසව් සම්බන්ධ වන අල්ලස් මෙච්චර කාලයකට සහතික කර තිබුණේ නැහැ. ඒ වගේ දේවල් වුණාම මෙච්චර කල් සෘජුවම අල්ලසක් විදිහට ආවේ නැහැ. ඒකට වෙනම මහන්සිවෙන්න වුණා.

"නමුත් අලුත් පනතෙන් ක්‍රීඩාවේ සුපිලිපන්භාවයට හානිකර දෙයක් කලොත් ඒක මේ පනත යටතේ වරදක් වන බවට වෙනම කොටසක් සඳහන් කර තිබෙනවා."

"තරග පාවා දීම් වගේ කරුණු ඒක යටතේ සාකච්ජා කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා."

දැනට පවතින වත්කම් හා බැරකම් නීතියේ අඩංගු කරුණු මොනවාද ?

දැනට පවතින වත්කම් හා බැරකම් නීතිය අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නම්, මන්ත්‍රී ධුරය ලබා ගන්නා විට වත්කම් හා බැරකම් ප්‍රකාශයක් ලබා දිය යුතුය.

ඉන් පසුව සෑම වසරකම එම මන්ත්‍රීවරයා විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු වේ. මෙය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පවා කරනු ලබයි.

"ඒ වගේම මැතිවරණ කාල සීමාවේදී අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් වෙන කොට වත්කම් හා බැරකම් ප්‍රකාශනය ලබා දෙන්න ඕන කියලා තියෙනවා. හැබැයි දැනට තියෙන නීතිය අනුව නාම යෝජනා භාරදීලා මාස තුනක් ඇතුලත." ජනිත්‍රිකා ජයසුන්දර කියා සිටියාය.

"සමහර අපේක්ෂකයින් ඉන්නවා ජන්දයෙන් පරාජය වුනොත් වත්කම් හා බැරකම් ප්‍රකාශනය දෙන්නෙත් නැහැ. දැනට තියෙන නීතිය අනුව නාම යෝජනා සමග වත්කම් හා බැරකම් ප්‍රකාශනය නොදුන්නොත් කිසිම දඬුවමකුත් නැහැ."

"ඒ වගේම දැනට තිබෙන නීතිය අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට වත්කම් හා බැරකම්වලට ප්‍රවේශ වෙන්න තිබෙන ඉඩ අඩුයි."

"අපට වත්කම් හා බැරකම් ප්‍රකාශයක් අවශ්‍ය නම් අපි ඒක ඉල්ලන්න ඕන ඒ ප්‍රකාශනය තියෙන ආයතනයෙන්. ඉල්ලලා ඒක එයාලා දෙන්න කැමති වුනොත් රුපියල් 750ක් ගෙවලා තමයි ගන්න ඕන. අර ගත්තට පස්සේ අපිට ඒ ගන්න එක ප්‍රසිද්ධියට පත්කරන්න බැහැ කියලා ඒ නීතියේ තියෙනවා."

වත්කම් හා බැරකම් ප්‍රකාශන සම්බන්ධයනේ නව නීතියෙන් වෙනස් වන නව කරුණු මොනවා ද ?

නව නීතියෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු පුද්ගලයින්ගේ ලැයිස්තුවට රටේ ජනාධිපතිවරයාව ද ඇතුලත් කර ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙන ලදී.

" නව නීතියෙන් ජනාධිපතිවරයාවත් වත්කම් හා බැරකම් ප්‍රකාශනය දෙන්න ඕන කියලා ඇතුලත් කර තිබෙනවා. දැනට පවතින නීතියේ ජනාධිපතිවරයා ඇතුළත් වන්නේ නැහැ. නව නීතියෙන් ජනාධිපතිවරයාත් මේකට ඇතුළත් වෙන්න ඕන කියලා යෝජනා කරලා තියෙනවා."

"ඒ වගේම නිලධාරියෙක් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබා දිය යුතු අවස්ථා සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. ඒ, නිලධාරියෙකුට සිය තනතුර ලද අවස්ථාවෙයි, වාර්ෂිකවයි ඇරෙන්න තව අවස්ථා කිහිපයකදීම."

"ඒ අනුව සිය රැකියාවෙන් ඉවත් වන අවස්ථාවේදී නිලධාරියාට වත්කම් හා බැරකම් ප්‍රකාශනයක් ලබා දෙන්න, රැකියාවෙන් ඉවත් වෙලා වසර දෙකකට පස්සේ නැවත වරක් වත්කම් හා බැරකම් ප්‍රකාශනය දෙන්න ඕන."

"තව විශේෂත්වයක් තමයි තමන්ගේ වත්කම් රුපියල් මිලියන 10ක් හෝ ඊට වඩා වැඩි වටිනාකමක වෙනසක් වෙනවා නම් ඒ අවස්ථාවේදී විශේෂ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් දෙන්න ඕන ඒ වටිනාකම පිළිඹිබු වෙන විදිහට."

"මැතිවරණ අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා පත්‍රයත් එක්ක වත්කම් හා බැරකම් ප්‍රකාශයක් දෙන්න ඕන කියලා නව නීතියෙන් යෝජනා කර තිබෙනවා."

"නව වත්කම් හා බැරකම් ප්‍රකාශනය ඉලෙක්ට්‍රෝනික පද්ධතියකට යොමු කරන්න වගේම නොමිළේ මහජනතාවට එය බැලීමට අවස්ථාව ලබා දෙන්න කියන යෝජනාවත් ඇතුලත් කර තිබෙනවා."

රටින් පිට කළ සොරකම් කළ ධනය නැවත ගෙන ඒමට යෝජිත නව පනතින් ඉඩක් තිබෙනවා ද ?

විවිධ අවස්ථාවල දී සොරකම් කර හෝ අපරාධ වලින් ඉපැයූ මුදල් විදෙස් ගතව තබා ඇති බවත් එසේ තිබෙන මුදල් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව දුෂණ විරෝධී පනත් කෙටුම්පතෙන් හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් ද අපි විමසා බැලුවෙමු.

" රටින් පිට කර තිබෙන, සොරකම් කරන ලද හෝ අපරාධ වලින් උපයා ගත් දේපළ නැවත ගෙන ඒම සම්බන්ධයෙන් වෙනම නීතියක් ගෙන එන්න එකඟ වෙල තිබෙනවා ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක."

"ඒ නීතිය 2024 මාර්තු මාසය වෙන කොටා ගෙන එන බවට අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම දුන්නා."

"ඒ අනුව ලංකාවෙන් පිටට රැගෙන ගිය සොරකම් කළ හෝ අපරාධ වලින් ඉපැයු වත්කම් නැවත ගෙන ඒම මේ නව දූෂණ විරෝධී පනතට ඇතුල් වෙන්නේ නැහැ."

"නමුත් ඒ සම්බන්ධයෙන් වන නීති කෙටුම්පත 2018 වෙද්දී හදලා තිබුණේ. ඒ කෙටුම්පත පදනම් කරගෙන තමයි ඉදිරියේ දී එන්න යන වත්කම් හා අයකිරීම කියන නීතිය හදන්න යන්නේ කියලා අධිකරණ අමාත්‍යාංශයෙන් අපට දැනුම් දීලා තිබෙන්නේ. ඒක පාර්ලිමේන්තුවේදී හැන්සාඩ් ගත කරලා තියෙනවා." යනුවෙන් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ උද්දේශන සහ පර්යේෂණ කළමනාකාරවරිය බීබීසී සිංහල සේවය වෙත වැඩිදුරටත් පවසා සිටියාය.