ළදරු අවධියේ සිදුවීම් අපගේ මතකයේ නොරැඳෙන්නේ ඇයි?

A smiling baby boy lying on his tummy on a bed ඇඳක් මත වැතිර සිටින පිරිමි ළමයෙක්

ඡායාරූප මූලාශ්‍රය, KDP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ළදරු මතක ශක්තිය නැතිවීම යනු වැඩිහිටියන්ට ඔවුන්ගේ මුල් ළමාවියේ සිට නිශ්චිත සිදුවීම් මතක තබා ගැනීමට ඇති නොහැකියාව ය
    • Author, මාරියා සකාරෝ
    • Role, බීබීසී ලෝක සේවය

අපි ඉපදුණු දවස, අපේ පළමු පියවර තැබීම, අපි පළමුවෙන් කතා කළ වචන මේ සියල්ල අපේ ජීවිතයේ සන්ධිස්ථාන සටහන් කළ අවස්ථා වේ. නමුත් අපට ඒ කිසිවක් මතකයේ නොමැත. ඒ ඇයි?

ස්නායු විද්‍යාඥයින් සහ මනෝවිද්‍යාඥයින් දශක ගණනාවක් තිස්සේ මෙම ප්‍රශ්නය සමඟ පොරබදමින් සිටියි.

ජීවිතයේ මුල් වසර කිහිපයේ නිශ්චිත සිදුවීම් මතක තබා ගැනීමට අපට ඇති නොහැකියාව ළදරු මතක ශක්තිය නැතිවීම (infantile amnesia) ලෙස හඳුන්වනු ලබන අතර, එය පැහැදිලි කිරීම සඳහා වසර ගණනාවක සිට න්‍යායන් රැසක් ඉදිරිපත් කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ යේල් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව සහ ස්නායු ශල්‍යකර්ම පිළිබඳ මහාචාර්යවරයෙකු වන නික් ටර්ක් බ්‍රවුන් පවසන්නේ මෙම මතවාදය ප්‍රධාන වශයෙන් ප්‍රශ්න දෙකකට සීමා වන බවයි: අපේ ජීවිතයේ මුල් අවදියේදී අපි මතකයන් නිර්මාණය කර ගත්ත ද පසුව ඒවාට ප්‍රවේශ විය නොහැකිද ? හෝ අපි වයසෙන් වැඩෙන තුරු මතකයන් එක් කර නොගනීද? යන්න එම ප්‍රශ්න දෙකයි.

මහාචාර්ය ටර්ක්-බ්‍රවුන්ට අනුව පසුගිය දශකය දක්වාම, පර්යේෂකයන් ප්‍රධාන වශයෙන් උපකල්පනය කළේ ළදරුවන් මතකයන් තබා නොගන්නා බවයි. එය ඔවුන්ගේ ස්වයං-හැඟීමක් ජනිත කිරීමට හෝ කතා කිරීමේ හැකියාව සඳහා පවතින දුර්වලතාව හේතුවෙන් සිදු වූවක් බව ඇතැමුන් විශ්වාස කරයි.

Illustration of the brain in blue, with a long structure within it highlighted in orange නිල් පැහැයෙන් දැක්වෙන මොළයේ නිදර්ශනයක්, එහි ඇතුළත දිගු ව්‍යුහයක් තැඹිලි පැහැයෙන් සලකුණු කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිපොකැම්පස් යනු මොළයේ ඇති මුහුදු අශ්වයෙකුගේ හැඩැති කලාපයක් වන අතර එය මතකයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි

ඔහු පැහැදිළි කරන වෙනත් උපකල්පනයක් වන්නේ අලුත් මතකයන් තැන්පත් කිරීම සිදු කෙරෙන මොළයේ කොටසක් වන හිපොකැම්පස් තවමත් සම්පූර්ණයෙන් වර්ධනය වී නොමැති නිසා, වයස අවුරුදු හතරක් පමණ වන තුරු අපට මතකයන් එක් කර ගත නොහැකි බව‍යි.

"ළදරු අවධියේදී එය ප්‍රමාණයෙන් දෙගුණයකටත් වඩා වැඩි වෙනවා. ඉතිං ඇතැම්විට අපට තිබෙන මුල්කාලීන අත්දැකීම් ගබඩා කර ගන්න හැකියාවන් නෑ, මොකද එය සිදු කිරීමට අවශ්‍ය පරිපථය අප අපි ළඟ නැති නිසා" " මහාචාර්ය ටර්ක්-බ්‍රවුන් පවසයි

ළදරුවෙකුගේ මොළය ස්කෑන් කිරීම

කෙසේ වෙතත්, මෙම වසර මුලදී මහාචාර්ය ටර්ක්-බ්‍රවුන් විසින්ම ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව එම අදහසට පටහැනි බව පෙනේ.

ඔහුගේ කණ්ඩායම මාස හතරේ සිට අවුරුදු දෙක දක්වා වයස් සීමාවේ පසුවන ළදරුවන් 26 දෙනෙකු තෝරාගෙන එම ළදරුවන්ගේ මොළය ස්කෑන් කරමින් ඔවුන්ගේ හිපොකැම්පල් ක්‍රියාකාරකම මනිමින් සිටින අතරතුර ඔවුන්ට ඡායාරූප පෙළක් පෙන්වීය.

අනතුරුව ඔවුන් එම ළදරුවන්ට පෙර ඡායාරූපවලින් එකක් නව ඡායාරූපයක් සමඟ පෙන්වූ අතර, ඔවුන් වැඩිවේලාවක් බලා සිටියේ ඡායාරූප දෙකෙන් කුමක් දෙස දැයි විශ්ලේෂණය කිරීම සඳහා ළදරුවන්ගේ ඇස්වල චලනයන් මැන බැලූහ.

එය පැරණි ඡායාරූපය වූයේ නම් පර්යේෂකයින් එය සලකනු ලැබුවේ පෙර අධ්‍යයනවලදී යෝජනා කළ පරිදි, ළදරුවන්ට එම රූපය මතක තබා ගැනීමට සහ එය හඳුනා ගැනීමට හැකි වූ බවට මෙය සලකුණක් ලෙසයි.

A baby wearing ear protectors sitting by a functional MRI machine, being held by her mother, with researcher Prof Turk-Browne opposite ක්‍රියාකාරී MRI යන්ත්‍රයක් අසල වාඩි වී සිටින කන් ආරක්ෂකයන් පැළඳ සිටින බිළිඳෙකු, ඇගේ මව විසින් අල්ලාගෙන සිටින අතර, පර්යේෂක මහාචාර්ය ටර්ක්-බ්‍රවුන් ඊට ප්‍රතිවිරුද්ධව සිටිනවා.

ඡායාරූප මූලාශ්‍රය, 160/90

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය ටර්ක්-බ්‍රවුන් සහ ඔහුගේ කණ්ඩායම ළදරුවන් අවදියෙන් හා ක්‍රියාශීලීව සිටින විට ඔවුන්ගේ මොළය ස්කෑන් කිරීමේ ක්‍රමයක් නිර්මාණය කළහ.

විශේෂයෙන් දරුවාගේ වයස මාස 12 ට වඩා වැඩි වූ විට එවැනි ළදරුවෙකු පළමු වරට ඡායාරූපයක් දැකීමේදී හිපොකැම්පස් වඩාත් ක්‍රියාශීලී වූ විට ඔවුන්ට එය පසුකාලීනව මතක තබා ගැනීමට වැඩි ඉඩක් පැවති බව පර්යේෂකයින් සොයා ගත්හ.

මෙමගින් යෝජනා කෙරෙන්නේ වයස අවුරුද්දක් පමණ වන විට යම් ආකාරයක මතකයක් ගබඩා කර ගැනීමට හිපොකැම්පස් සඳහා හැකියාවක් පවතින බවයි.

මතකයන් කොහෙද ගියේ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සැබැවින්ම ළදරුවන් හිපොකැම්පස් තුළ මතකයන් සකස් කර ගන්නේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා තම කණ්ඩායමේ අධ්‍යයනයේ "පළමු පියවර" බව පවසන මහාචාර්ය ටර්ක්-බ්‍රවුන් පෙන්වා දෙන්නේ ඒ සඳහා තවත් බොහෝ පර්යේෂණ අවශ්‍ය බවයි.

"අපි ඒ මතකයන් ගබඩා කරනවා නම්, ඒවා කොහෙද? ඒවා තවමත් තියෙනවාද? අපිට ඒවාට ප්‍රවේශ වෙන්න පුළුවන්ද?" ඔහු ප්‍රශ්න කරයි.

2023 දී ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් අනාවරණ වූයේ කුඩා පැටවුන් ලෙස සිටියදී ප්‍රහේලිකා මාර්ගයකින් ඉවතට පැමිණීමට මාර්ගයක් සොයා ගත් මීයන් වැඩුණු පසු මෙය අමතක කර ඇති බවයි. නමුත් මුල් ඉගෙනීමට සම්බන්ධ වූ හිපොකැම්පස් කොටස් කෘතිමව සක්‍රීය කිරීමෙන් එම මතකය නැවත ප්‍රකෘතිමත් කළ හැකි වේ.

මානව ළදරුවන් පසුකාලීන ජීවිතයේදී අක්‍රිය වන මතකයන් කෙසේ ගබඩා කරගන්නේ ද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනා ගෙන නොමැත.

එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ ස්නායු මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන කැතරින් ලව්ඩේ විශ්වාස කරන්නේ ද අවම වශයෙන් ඔවුන්ට කතා කිරීමට හැකි වන වයසේදී ළදරුවන්ට මතකයන් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතින බවයි.

"අපි දන්නවා ළදරු පාසලේ සිට ආපසු පැමිණෙන කුඩා දරුවන්, සිදු වූ යම්දෙයක් විස්තර කරනවා, වසර කිහිපයකට පසු එය විස්තර කිරීමට හැකියාවක් නැහැ. ඉතිං මතකයන් තිබෙනවා. ඔවුන් ඒවාට ඇලී ඉන්නේ නැහැ" ඇය තර්ක කරයි.

"මම හිතන්නේ ප්‍රශ්නය තමයි අපි ඒ මතකයන් කාලයත් සමඟ කොතෙක් දුරට තැන්පත් කරනවාද, ඒවා ඉතා ඉක්මනින් මැකී යනවාද සහ ඒවා කොතෙක් දුරට සවිඥානික මතකයන් වන්නේ ද සහ එහිදී අපට ඒවා සැබවින්ම ආවර්ජනය කර ඒවා ගැන සිතිය හැකියද යන්නයි" ඇය යෝජනා කරයි.

A toddler riding a wooden balance bike ලී සමතුලිත බයිසිකලයක් පදින කුඩා දරුවෙක්

ඡායාරූප මූලාශ්‍රය, ullstein bild via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ළදරුවන්ට පසුව ප්‍රවේශ විය නොහැකි මතකයන් ඇති වේද යන්න පැහැදිලි නොමැත

එය ව්‍යාජ මතකයක් විය හැකිද?

මහාචාර්ය ලව්ඩේට අනුව, ළදරු මතකය පිළිබඳ අපගේ අවබෝධය තවදුරටත් අවුල් සහගත වන්නේ මිනිසුන් තම පළමු මතකය යැයි සිතන දෙයක් ඇත්ත වශයෙන්ම එසේ දැයි තහවුරු කිරීම "හුදෙක් කළ නොහැකි" විය හැකි බැවිනි.

උදාහරණයක් වශයෙන් අපගෙන් ඇතැමෙකුට අපි ළදරුවෙකුව සිටියදී හෝ තොටිල්ලේ සිටියදී සිදු වූ යම් සිදුවීමක් මතකයේ පවතිනු ඇත.

මහාචාර්ය ලව්ඩේ පවසන්නේ එවැනි මතකයන් සැබෑ අත්දැකීම්වල සැබෑ ආවර්ජනයන් විය නොහැකි බවයි.

"මතකය පිළිබඳ දෙයක් යනු සැමවිටම ප්‍රතිනිර්මාණයකි. එබැවින් යමෙකු ඔබට යමක් පැවසුවහොත් සහ ඒ පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු ඔබ සතු නම්, සැබෑ යැයි හැඟෙන දෙයක් ප්‍රතිනිර්මාණය කිරීමට ඔබේ මොළයට හැකියාව පවතී" ඇය පැහැදිලි කරයි.

"අපි මෙතන ඇත්තටම බලන්නේ විඥානයයි, විඥානය කියන්නේ නිශ්චිතව තබා ගැනීමට අපහසු දෙයක්" ඇය තවදුරටත් පවසයි.

මහාචාර්ය ටර්ක් බ්‍රවුන් සිතන්නේ ළදරු මතක ශක්තිය නැතිවීම වටා ඇති අභිරහස, අප කවුරුන්ද යන්නෙහි හරය පිළිබඳ කතා කරන බවයි.

"ඒක අපේ අනන්‍යතාවය පිළිබඳවයි," ඔහු පවසයි. "ඒ වගේම අපේ ජීවිතයේ මුල් වසර කිහිපය තුළ අපට දේවල් මතක නැති අන්ධ ස්ථානයක් ඇති බවට පවතින අදහස, මම හිතන්නේ ඇත්තටම මිනිසුන්ට තමන් ගැන ම සිතීමට අභියෝගයක් එල්ල කරනවා."