එවරස්ට් කඳු මුඳුනේ උස තව තව වැඩි වෙන්නේ ඇයි?

Everest image එවරස්ට් ඡායාරූපය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගංඟා ජාලයකින් ඛාදනය වීම හේතුවෙන් එවරස්ට් කඳු මුඳුන මීටර් 15 ත් 50 ත් අතර උසකින් යුක්ත බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
    • Author, නවීන් සිං ඛඬක්
    • Role, පරිසර වාර්තාකරු, බීබීසී ලෝක සේවය

ගංඟාවක් පාමුල ඇති පාෂාණ හා පස් ඛාදනය වෙමින් ඉහළට තල්ලු වීම එවරස්ට් කන්ද මීටර් 15-50 ක් උසින් වැඩි වීමට හේතුවක් වී ඇති බව නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙයි.

කිලෝමීටර් 75ක් (සැතපුම් 47ක්) දුරින් පිහිටි අරුන් ගංගා ද්‍රෝණියේ භූමි ස්කන්ධය අහිමි වීම ලොව උසම කඳු මුඳුන වසරකට මිලිමීටර් 2කින් ඉහළ යාමට හේතු වන බව ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් (UCL) පර්යේෂකයෝ පවසති.

"එය හරියට නැවකින් බඩු තොගයක් විසි කරනවා හා සමානයි,” අධ්‍යයන සම කර්තෘ ඇඩම් ස්මිත් බීබීසීයට පැවසීය. “නැව සැහැල්ලු වන විට මඳක් ඉහළට පාවෙයි. ඒ හා සමානව, මතුපිට සැහැල්ලු වූ විට ... එය ටිකක් ඉහළට පාවිය හැකිය.''

ඉන්දියානු සහ යුරේසියානු භූ තැටි ඝට්ටනය වීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් වසර මිලියන 40-50 කට පෙර හිමාලය සෑදී ඇති අතර පෘථිවි පෘෂ්ඨයේ ව්‍යුහයට බලපාන මහා පරිමාණ ක්‍රියාවලින් එහි අඛණ්ඩ වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස පවතී.

නමුත් අරුන් ගංඟා ජලය කන්දේ උස වැඩි වීම සඳහා දායක වන සාධකයක් බව ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් (UCL) කණ්ඩායම පවසයි.

අරුන්, හිමාලය හරහා ගලා යන විට භුමියේ වූ පෘථිවි පෘෂ්ඨයේ පිහිටි පාෂාණවල අඩංගු දෑ ඉවත් වේ. මෙමගින් පෘථිවි අභ්‍යන්තරයේ ඝන පාෂාණ තට්ටුව මත ඇති බලය අවම කරන අතර (කබොල යට ඊළඟ ස්ථරය), එමගින් සිහින් වූ පාෂාණ තට්ටුවේ වූ කබොල නැමීම සහ ඉහළට පාවීමට හේතු වේ.

එය සමස්ථානික ප්‍රත්‍යාවර්තනය ලෙස හඳුන්වන බලපෑමකි. 'Nature Geoscience' හි ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයට අනුව, මෙම ඉහළට තල්ලු කිරීමේ බලය එවරස්ට් ඇතුළු අනෙකුත් අසල්වැසි කඳු වන ලෝකයේ සිව්වන සහ පස්වන උසම කඳු මුඳුන් වන ලොට්සේ සහ මකාලු ඉහළට ගමන් කිරීමට හේතු වන බව සඳහන් ය.

“එවරස්ට් කන්ද සහ එහි අසල්වැසි කඳු මුඳුන් වර්ධනය වන්නේ සමස්ථිතික ප්‍රතිබිම්බය ඛාදනය හේතුවෙන් එය යටපත් කරනවාට වඩා වේගයෙන් ඒවා ඉහළට ඔසවන බැවිනි,” අධ්‍යයනයේ සහකාර සම කර්තෘ ආචාර්ය මැතිව් ෆොක්ස් බීබීසීයට පැවසීය.

" ඒවා වසරකට මිලිමීටර දෙකකින් පමණ වර්ධනය වන බව GPS උපකරණ භාවිතයෙන් අපට දැක ගත හැකි අතර දැන් එය මෙහෙයවන්නේ කුමක්ද යන්න පිළිබඳව අපට වඩා හොඳ අවබෝධයක් ඇත."

අධ්‍යයනයට සම්බන්ධ නොවූ සමහර භූ විද්‍යාඥයන් පැවසුවේ න්‍යාය පිළිගත හැකි නමුත් පර්යේෂණවල තවමත් අවිනිශ්චිත බොහෝ දේ ඇති බවයි.

Aerial view of the Arun valley toward south, monsoon clouds covering the plains. දකුණු දෙසට වූ අරුන් නිම්නයේ ගුවන් දර්ශනය, තැනිතලාව ආවරණය වන මෝසම් වලාකුළු.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අරුන් ගඟ ටිබෙටයේ සිට නේපාලයට ගලා බසින අතර පසුව තවත් ගංගා දෙකක් සමඟ ඒකාබද්ධ වී කෝසි බවට පත්වේ.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එවරස්ට් චීනය සහ නේපාලය අතර දේශසීමා මායිමේ පිහිටා ඇති අතර එහි උතුරු කොටස ඇත්තේ චීනය දෙසට ය. අරුන් ගඟ ටිබෙටයේ සිට නේපාලයට ගලා බසින අතර පසුව තවත් ගංඟා දෙකක් සමඟ ඒකාබද්ධ වී කෝසි බවට පත් වන අතර එය උතුරු ඉන්දියාවට ඇතුල් වන්නේ ගංගා ගඟ සමග එක්වීමට යි.

එය ඉතා ඉහළ රොන්මඩ සහිත ගංඟාවක් වන අතර එය ගලා බසින කඳුකරයේ බෑවුම් සහ එහි ඇති බලය නිසා එහි ඇති ගල් හා පස් ඉවත් කිරීමට බොහෝ විට ඉඩ සලසයි.

නමුත් ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි පර්යේෂකයන් පවසන්නේ බොහෝ විට එය සිය සැබෑ ශක්තිය උකහා ගෙන ඇත්තේ මීට වසර 89,000 කට පෙර ටිබෙටයේ තවත් ගංගාවක් හෝ ජල කඳක් "බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන්" බවය. එය භූ විද්‍යාත්මක කාල පරාසයන් තුළ මෑත කාලීන සිදුවීමකි.

චීන ශාස්ත්‍රාලිකයෙකු වන චීන භූ විද්‍යා විශ්ව විද්‍යාලයේ ආචාර්ය ෂු හන් සිය ශිෂ්‍යත්ව සංචාරය අතර වාරයේදී ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා විය.

"එවරස්ට් කන්දේ උස වෙනස් වීම සැබවින්ම පෘථිවි පෘෂ්ඨයේ පවතින ගතික ස්වභාවය ඉස්මතු කරයි," ඔහු පැවසීය.

"අරුන් ගඟේ ඛාදනය සහ පෘථිවි ආවරණයේ ඉහළට පීඩනය අතර අන්තර්ක්‍රියා එවරස්ට් කන්දට උපකාරයක් ලබා දෙයි, එය වෙනත් ආකාරයකින් වඩා ඉහළට තල්ලු කරයි."

ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් අධ්‍යයනයට අනුව අරුන් ගඟ ටිබෙටයේ වෙනත් ගංගාවක් හෝ ජල පද්ධතියක් සමග සම්බන්ධ වීමෙන් පසු අසාමාන්‍ය පාෂාණ සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රමාණයක් ඉවත් කිරීමේ හැකියාව බොහෝ දුරට ලබාගෙන ඇත.

අධ්‍යයනයට සම්බන්ධ නොවූ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා පාසල සමඟ මහාචාර්ය හියු සින්ක්ලෙයාර් පැවසුවේ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් පර්යේෂණ කණ්ඩායම විසින් හඳුනාගත් අභ්‍යන්තරයේ පවතින ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සාධාරණ බවයි.

එහෙත්, ඔහු තවදුරටත් පැවසුවේ, ගංගා කැපීමේ නිශ්චිත ප්‍රමාණයන් සහ කාල පරිමාණයන් (නැතහොත් ගඟ එහි පතුල පහළට කපා එහි භූමි ආකෘතිය ගැඹුරු කරන ආකාරය) සහ එහි ප්‍රතිඵලයක් ලෙස අවට කඳු මුදුන් මතුපිට ඉහළ නැංවීම විශාල අවිනිශ්චිතතාවයන් ඇති බවයි.

"පළමුව, ජලාපවහන ග්‍රහණයට (එක් ගංගාවක් තවත් ගංගාවක් හෝ වැවක් අල්ලා ගැනීම) ප්‍රතිචාර වශයෙන් එවැනි විශාල ජල පෝෂක ප්‍රදේශ වල ගංගා කැපීම් පිළිබඳව අනාවැකි කීම අභියෝගාත්මක ය," ඔහු පැවසීය.

මෙම අවිනිශ්චිතභාවය අධ්‍යයනයේ දී කතුවරුන් විසින් පිළිගෙන ඇති දෙයකි.

දෙවනුව, මහාචාර්ය සින්ක්ලෙයාර් පැවසුවේ, දැඩි ලෙස දේශීය ඛාදනය වන ස්ථානයක සිට කඳු ඉහළ නගින ප්‍රමාණය ගැන අනාවැකි කීම අතිශයින් දුෂ්කර බවයි.

"කෙසේ වෙතත්, මෙම වෙන් කිරීම් සඳහා ගිණුම්ගත කිරීම පවා, එවරස්ට්හි සමහර සුවිශේෂී උන්නතාංශයන් ගඟට සම්බන්ධ වීමේ හැකියාව, සිත් ඇදගන්නාසුළු අවබෝධයක් නියෝජනය කරයි."