ඇන්ටාක්ටිකාවට ගිය පොඩිනිළමේ: 'ඒ අත්දැකීම වචනවලින් කියන්න අමාරුයි'

ඡායාරූප මූලාශ්‍රය, Abheeth Podinilame/Facebook
ලෝකයේ රට රටවල්වල සංචාරය කිරීමට බොහෝ දෙනා ප්‍රිය කරති. ඒ, එම රටවල ඇති එකින් එකට වෙනස් සංස්කෘතිය, සොබා සෞන්දර්යය සහ චාරිත්‍ර වාරිත්‍ර අත්විඳීමට ඇති රුචිකත්වය නිසාවෙනි.
අප රටේ බොහෝ දෙනා විදෙස් රටවල සේවය සඳහා ගොස් සිටිය දී වෙනත් රටවල සංචාරය කිරීමට අවස්ථාව උදාකර ගනු ලබයි.
නමුත් අධික වියදමක් දරමින් ලෝකයේ ගමන් කිරීමට අසීරු ගමනාන්තයන් කරා සංචාරය කර අත්දැකීම් ලද ශ්‍රී ලාංකික තරුණයෙකු සමග සම්බන්ධ වීමට බීබීසි සිංහල සේවයට අවස්ථාව හිමිවිය.
ඔහු නමින් අභීත් පොඩිනිළමේ වන අතර වෘත්තියෙන් ප්‍රජා වෛද්‍යවරයෙකු ලෙස බ්‍රිතාන්‍යයේ දැනට සේවයේ නියුතුව සිටියි.
කොළඹ අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි ඔහු කොළඹ නාලන්දා විදුහලේ ආදී සිසුවෙකු වන අතර මේ දක්වා ලෝකයේ රටවල් 35ක සංචාරය කිරීමට ඔහුට අවස්ථාව හිමිව ඇත.
අභීත්ගේ පළමු සංචාරක අත්දැකීම
කුඩා කාලයේ පටන් ඥාතිවරියකගේ උනන්දුව මත ඔහු ලෝකයේ රටවල සංචාරය කිරීමේ මුලික අඩිතාලම දැමූ බව අභීත් පොඩිනිළමේ බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.
"මම පොඩි කාලේ ඉඳන් එක එක දිහාවලට ට්‍රැවල් කරනවා. මම ට්‍රැවල් කරන්නේ පුංචි අම්මත් එක්ක. එයාට බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය තියෙනවා. එයා තමයි පොඩි කාලේ ඉඳන් මාව එක්කන් ගියේ. මුලින්ම විදෙස් රටක සංචාරයට ගියේ 2004 වසරේ දී. ඒ ගමන බ්‍රිතාන්‍යයට ආවේ."
"2007 වසරේ දී මම එයත් එක්ක ඊජීප්තුවට ගියා. එහෙම තමයි මේ සංචාරය කරන එක පටන් ගත්තේ. 2008 සහ 2009 කියන අවුරුදුවල දී පිළිවෙලින් ඉන්දියාවේ සහ මාලදිවයිනේ සංචාරය කළා පවුලේ අයත් එක්ක," ඔහු කියා සිටියේ ය.
'කොහේ හිටියත් ගමනට තමයි මම ආස'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
උසස් පෙළ විභාගය අවසන් කිරීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා රුසියාවේ වෛද්‍ය විද්‍යාලයයකට ඇතුළුවන අභීත් එහිදී ලොව දිගම දුම්රිය ගමනේ අත්දැකීම ලබා ගෙන ඇති අතර, ඉන් අනතුරුව රටවල් කිහිපයක සංචාරය කිරීමට ද ඔහුට අවස්ථාව උදා වී ඇත.
"රුසියාව ඇතුළේ ගොඩක් සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. ලෝකයේ දිගම කෝච්චිය වන ට්‍රාන්ස් සයිබීරියන්හි ගමන් කරන්න වගේම බයිකාල් විල නරඹන්න හැකියාව ලැබුණා."
"ඒ හරහා මම මොංගෝලියාවට යනවා. එහි තිබෙන මිනිස්සු ගොඩක් නොයන ගෝබි කාන්තාරයේ මම සංචාරය කළා. එහිදී මට මොංගෝලියාවේ හිටපු අධිරාජ්‍යයා වන ගින්ගීෂ් ඛාන්ගේ ප්‍රතිමාව දකින්න අවස්ථාව උදාකර ගන්න ඉඩ ලැබුණා. එතන දී මම අපේ රටේ කොඩිය අරන් ගිහින් ඡායාරූපයක් අර ගත්තා."
"ඒ වගේම මම එහෙ ඉන්න කාලයේ දී පළවෙනි වතාවට දකුණු ඇමෙරිකානු රටක් වෙන බ්‍රසීලයේ සංචාරය කරන්න අවස්ථාව උදාවුණා. බ්‍රසීලයේ ගොඩක් නගරවල සහ ස්ථානවල සංචාරය කරන්න හැකියාව ලැබෙනවා ඒ ගමනේ දී."
"එහිදි මම දවස් හතරක් ඇමසන් වනාන්තරයේ ගත කරනවා. ඇමේසන් නදියේ ඉන්න පීරානා මාළු සහ රෝස පැහැති ඩොල්ෆින්ලා නරඹන්න අවස්ථාව ලැබුණා මට."
"රුසියාවේ ඉන්න ගමන් නිවාඩු කාලයට එංගලන්තයේ ඉන්න පුංචි අම්මා බලන්න එනවා. එයාම තමයි ටිකට් එක දාලා දෙන්නේ. එහෙම ගියාම මම එංගලන්තයේ ආසන්නයේ තියෙන ස්කොට්ලන්තය, වේල්ස් කියන රටවල් වලට යනවා. කොහේ හිටියත් ගමනට තමයි මම ආස," ඔහු පැවසුවේ ය.
නත්තල් සීයාගේ ගම බලා
රුසියාවේ අධ්‍යාපනය හදාරමින් සිටිය දී ඔහුට 2017 වසරේ දී පෘථිවියේ උත්තරධ්‍රැවය ආසන්නයේ පිහිටි ආක්ටික් කලාපයේ සංචාරය කිරීමට අවස්ථාව උදාවූ බව අභීත් පොඩිනිළමේ පැවසුවේ ය.
"ආක්ටික්වලට යන ගොඩක් අය ඉන්නවා. එහෙට යන්න ලේසි. ආක්ටික් සර්කල් එක හරහා යන්න ඕන. අනිත් එක ඒකට ටිකක් වියදම් යනවා. මේ ගමන ගියෙත් අපේ පවුලේ අයත් එක්ක. ඒ සංචාරයේ දී ‘රෝවැනිමි' කියන නත්තල් සීයාගේ ගමට යන්න අවස්ථාව උදාවුණා හරියටම නත්තල් දවසේ දී," ඔහු පැවසුවේ ය.
ඉන්කාවරුන්ගේ දේශයට ගිය සංචාරය
රුසියාවේ දී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු නැවත ශ්‍රී ලංකාව බලා යන අභීත් කොවිඩ් වසංගතය නිසා නිවසට වී සිටීමෙන් අනතුරුව, 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා බ්‍රිතාන්‍යය බලා පැමිණ තිබේ.
"මම එංගලන්තයට ඇවිල්ලා මගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් ඉගෙනගැනීම් ආරම්භ කරනවා. මම පබ්ලික් හෙල්ත් ගැන කරන්නේ. ප්‍රජා වෛද්‍ය කටයුතු කරන ගමන් ඇවිදින්නයි මට ඕන."
"මේ පාර මම එංගලන්තයට ආවට පස්සේ දෙවැනි වතාවට අවස්ථාව උදාවුණා දකුණු අමෙරිකානු කලාපයට අයිති පේරු සහ චිලී කියන රටවල්වල සංචාරය කරන්න. ඒක ගිය අවුරුද්දේ ගියේ."
"එතනදී මට පේරූහි පිහිටි මාචු පිචු කියන ඉන්කාවරුන්ගේ දේශයට යන්න හැකියාව ලැබෙනවා. ඒ සංචාරයේ දී මට ගුවන් යානා 15ක ගමන් කරන්න සිද්ධ වුණා."
"ඒ වගේම බ්‍රිතාන්‍යයේ දී මම මේ රටවල් දෙකට යන්න වීසා ඉල්ලුම් කරන්නේ. පේරූවලට වීසා ගන්න ගැටලුවක් වුණේ නැහැ. නමුත් චිලී ලට වීසා ඉල්ලුම් කරද්දී ලන්ඩන්වල තියෙන තානාපති කාර්යාලයේ ඉන්න චිලී තානාපතිවරයා එක්ක මට සම්මුඛ පරීක්ෂණයකට මුහුණදෙන්න සිද්ධ වුණා."
"තානාපතිවරයා මගෙන් ඇහුවේ ඇයි මේ දවස් පහකට චිලී වලට සංචාරය කරන්නේ කියලා. මම කිව්වා පේරූ යන ගමන් එහෙ නරඹන්න ආසාවක් තියෙනවා කියලා. ලංකාවේ කෙනෙක් එහෙම යන්නේ නැහැ කියලා එයා පුදුම වුණා."
"පේරූවල පල්ලෙහාට වෙන්න තියෙනවා පැටගෝනියා කලාපය කියලා ප්‍රදේශයක්. එතන පුදුම ලස්ස නයි. ග්ලැසියර් එහෙම තියෙනවා. එතැනින් එහා තමයි ඇන්ටාක්ටිකාව තියෙන්නේ," ඔහු පැවසුවේ ය.
එම ගමනේදී ඇන්ටාර්ටික්හි සංචාරය කළ යුතු බවට වන සිතිවිල්ල සිතේ තබාගෙන තමන් නැවත එංගලන්තය බලා පැමිණි බව ද අභීත් පොඩිනිළමේ කියා සිටියේ ය.
එම ගමනින් පසු ඔහුට යුදෙව් වධකාගාරය පිහිටි පෝලන්තයේ අවුෂ්විට්ස්, චෙක් ජනරජය, ඉතාලිය ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයක සංචාරය කිරීමට හැකිවූ බවත් නැවත මෙම වසරේ දී ශ්‍රී ලංකාව බලා එමින් සිටිය දී තුර්කියේ ඉස්තාන්බුල් නුවර දින කිහිපයක සංචාරය කිරීමට කටයුතු කළ බවත් ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Abheeth Podinilame/Facebook
ඇන්ටාක්ටික් සංචාරය සඳහා සූදානම්වීම
ඉකුත් වසරේ පේරු සහ චිලී රාජ්‍යයේ සිදුකළ ගමනේ දී බලාපොරොත්තු තබාගෙන සිටියා වූ ඇන්ටාක්ටික් සංචාරය මෙම වසරේ දී සම්පූර්ණ කර ගැනීමට ඔහුට හැකිවූ බව අභීත් පොඩිනිළමේ කියා සිටියේ ය.
"ඒ ගමන යන්න කලින් ගොඩක් දේවල් තියෙනවා කරන්න. අපේ ගොඩක් අය මේ ගමන නොයන්න හේතුව තමයි වීසා එක ටිකක් මිල අධික යි. යුරෝ 150ක් වගේ වෙනවා. ඊට වඩා, එයාලා එක පාර වීසා එක දෙන්නේ නැහැ. මමත් ගොඩක් පාරක් ට්‍රයි කරලා වීසා එක අර ගත්තේ."
"ඊට පස්සේ මෙඩිකල් ටෙස්ට් එකක් කරලා පාස් වෙන්න ඕන. ඒකටත් ලොකු ගානක් වියදම් වෙනවා. ඒ වගේම එංගලන්තයේ ඉදලා ආර්ජන්ටිනාවට ගිහිල්ලා එතන ඉදලා උෂුආයා කියන ප්‍රදේශයට යන්න ගුවන් ගමනට විතරක් අමෙරිකානු ඩොලර් 2,000ක් වියදම වෙනවා."
"උෂුආයා කියන්නේ ලෝකයේ කෙලවරේම තියෙන නගරය. ඒ වගේම එතන ඉඳන් ඇන්ටාක්ටිකාව බලා යන නැවට එක් කෙනෙක්ට පවුම් 7,000ක් වගේ ගෙවන්න වෙනවා. ඊට අමතරව අධික ශීතලට ඔරොත්තු දෙන ඇඳුම් එහෙම සූදානම් කරගන්න අවශ්‍ය වෙනවා," ඔහු පැවැසුවේ ය.
අමතක නොවන සංචාරයේ තොරතුරු
දින 10ක සංචාරයක් සඳහා ආර්ජන්ටිනාවේ උෂුආයා නගරයෙන් නෞකාවට නැගීමට හැකි වූ බවත්, එම මුහුදු ගමන ඉතා අසීරූ එකක් වූ බවත් ඔහු පැවසුවේය.
"මේ සංචාරයට පුංචි අම්මත් එක් වුණා. අපි ගමන් කළ නෞකාවේ සංචාරකයින් 400කට ආසන්න සංඛ්‍යාවක් සහ නෞකාවේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 150ක් සිටියා."
"මේ ගමනේ දී නෞකාව ඇන්ටාක්ටිකාව බලා යාත්‍රා කරන්නේ ඩ්‍රේක් පැසේජ් කියන මුහුදු තීරය ඔස්සේ. ඒක තරණය කරන්න දවස් දෙකක් යනවා. මේ මුහුදු තීරය තමයි ලෝකයේ තියෙන රෞද්‍රම මුහුදු කලාපය. සාමාන්‍යයෙන් මීටර් හතරෙ ඉඳලා 15 දක්වා උසට මුහුදු රළ පහරවල් එනවා. ඒකට හේතුව තමයි අත්ලාන්තික්, පැසිෆික් සාගර සහ දකුණු සාගර කලාපය එකිනෙකට සම්බන්ධ වෙනවා මේ ඩ්‍රේක් පැසේජ් කියන කලාපයේ දී."
"මෙතැනදී නැවේ ගමන් කරන අයට මුහුදේ රළු ස්වභාවය එක්ක වමනය, හිසේ රුදාව වගේ රෝග ලක්ෂණ ඇතිවෙනවා. ඒවට අවශ්‍ය ප්‍රතිකාර නෞකාවෙන් ලබාදෙනවා. නමුත් මට ඒ අත්දැකීම ගන්න ඕන නිසාම බෙහෙත් මොකුත් පාවිච්චි කළේ නැහැ," ඔහු කියා සිටියේ ය.
ඇන්ටාක්ටිකාවේ සංචාරය කරන පුද්ගලයින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් පවතින අතර එහි යන ඕනෑම අයෙකු එය අනුගමනය කිරීමට බැඳී සිටින බව ද ඔහු පැවසුවේය.
"ඇන්ටාක්ටිකාවලට සාමාන්‍යයෙන් නිකම් සංචාරකයෙක් යන්නේ නැහැ. එක්කෝ ඒ ගැන බලන්න ආසාවක් තියෙන කෙනෙක් හෝ එහෙමත් නැත්නම් විද්‍යාඥයෙක් වෙන්න ඕන."
"එහෙම යන අය අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් තියෙනවා. විශේෂයෙන් මෙහිදී පෙන්ගුවින් සත්ත්වයින් දකින්න පුළුවන්. නමුත් ඕනම කෙනෙක් ඒ සත්ත්වයා සිටින තැනේ ඉදලා මිටර් පහක දුරකින් ඉන්න ඕන කියන එක අනිවාර්යයි.
"ප්‍රධාන නෞකාවේ ඉදලා දූපතකට එකවර ගොඩ බහින්න අවසර දෙන්නේ සංචාරකයින් 100 දෙනෙක්ට විතරයි. ඒකට ඔවුන් නැවේ ඉදලා කුඩා බෝට්ටුවල කණ්ඩායම් විදිහට වෙන් කරලා අරන් යන්නේ.
"ඒ වගේම නැවෙන් පිටතට ගෙනි යද්දී වගේම නැවත නැවට ගෙන එද්දී අපිව විෂබීජහරණයකට ලක් කිරීමක් කරනවා. ඒ වගේම අපේ කිසිම දෙයක් ඒ පරිසරයට මුදා හැරීම හෝ ඒ පරිසරයේ තියෙන කිසිම දෙයක් අරන් ඒම සපුරා තහනම්," ඔහු පැවසුවේ ය.
වෙනම ලෝකයකට ගියා වගේ අත්දැකීමක්
පුරා දින දෙකක දුෂ්කර මුහුදු ගමනකින් අනතුරුව ඇන්ටාක්ටිකා මහද්වීපයට පැමිණි පසු එහි පරිසරය ඔහු වෙනත් ලෝකයකට රැගෙන ගියා සේ දැනුණු බව අභීත් පොඩිනිළමේ විස්තර කර සිටියේ ය.
"අපිව මුලින්ම එක්කන් ආවේ පැරඩයිස් බේ කියන තැනට. එතන හරිම ලස්සනයි. නැවෙන් බෝට්ටු කිහිපයක් දානවා. එක බෝට්ටුවක 10 දෙනෙක් වගේ තමයි එක්කන් යන්නේ. ඔවුන් අපිව කණ්ඩායම්වලට බෙදලා වටේ ගිහින් බැලුවා. ඒක හරියට වෙනම ලෝකයකට ගියා වගේ. ඒ අත්දැකීම වචනවලින් කියන්න අමාරුයි."
"මම ලෝකයේ රටවල් 35කට ගිහින් තිබ්බත් ඒ වගේ ලස්සනක් දැකලා නැහැ. මට හිතුනා ඇත්තටම මම වාසනාවන්තයි කියලා එහෙම දෙයක් දැක බලාගන්න ලැබීම."
"මේ නැවේ කුරුල්ලන්, තල්මසුන්, ජලජ ජීවින් සම්බන්ධ විශේෂඥවරුන් හිටියා. ඔවුන් නැවේ ගමන් කරන සංචාරකයින්ට ඒ ගැන විස්තර කරලා දේශන පැවැත්වුවා. එතැන තල්මසුන් ගැන කතා කරන්න ඇවිත් හිටිය අයට අපේ රටේ සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩී වෝස් ගැන මම කිව්වම ඔවුන් කිව්වා ඇයව හඳුනනවා කියලා."
"මේ සංචාරයේ දී ඔර්කා තල්මසුන්, සීල් මත්ස්‍යයින්, පෙන්ගුවින් වගේ අයව දකින්න ලැබුණා. ඒ වගේම ඇන්ටාක්ටික්හි ගතකරන ලද දෙවන දවසේ දී මම දැක්ක ලස්සනම ඉර බැස යෑමේ දර්ශනය දකින්න අවස්ථාව උදාවුණා ලැමේරි චැනල් කියන ප්‍රදේශයේ දී."
"ග්ලැසිර මැදින් ඉර බැස යන දර්ශනය දකින්න නැවේ හිටපු හැමෝම ඩෙක්වලට ඇවිල්ලා හිටියා. හැබැයි ඔවුන් හැමෝම ඒ ලස්සනට වශී වෙලා වගේ නිහඬව ඒ දිහා බලන් හිටියා."
"ඒ වගේම ලෝකයේ කෙළවරම පිහිටලා තියෙන තැපැල් කාර්යාලය වෙන පොර්ට් ලොක්රෝයී (Port Lockroy) වලට ගියා. ඒක පිහිටලා තියෙන්නේ ඇන්ටාක්ටිකාවේ තියෙන බ්‍රිටිෂ් බේස් කෑම්ප් එකේ. එතැනින් මම මටම පොස්ට් කාඩ් එකක් යවා ගත්තා. ඒ මොහොත මට අත්විදින්න තිබ්බ ආසාවත් එකක්ම."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
"තුන්වෙනි දවසේ හාෆ් මුන් අයිලන්ඩ් එකට යන්න ලැබුණේ නැහැ. මොකද හිම තත්ත්වය නිසා. පස්සේ අපිව පෙන්ගුවින් ගහණය වැඩි දුපතක් බලන්න එක්කන් ගියා."
"කොහොම හරි තුන්වෙනි දවසේ රාත්‍රියේ දී නෞකාවේ කපිතාන්වරයා දැනුම් දුන්නා මෙඩිකල් ඉමර්ජන්සි එක නිසා නැවත හරවන්න සිද්ධ වෙනවා කියලා. අපිට ඇන්ටාක්ටික්වල තව දවස් දෙකක් ඉන්න තිබුණා. නමුත් ඒ හදිසි තත්ත්වයක් නිසා හැමෝටම අකමැත්තෙන් වුනත් ඒ තීරණයට එකඟ වුණා."
"ඒ වෙනුවට අපිව උෂුආයා නගරයේ වරායට ආවට පස්සේ ඉදිරි දවස් දෙකට ඒ ආශ්‍රිතව තිබ්බ සංචාරක ගමනාන්ත කිහිපයකට එක්ක යන්න ඒ අය කටයුතු සූදානම් කරලා තිබුණා."
"මම මේ ගමන යන්න කලින් හොයලා බැලුවා මීට කලින් ඇන්ටාක්‌ටික් මහද්විපයට ගියපු වෙනත් ලාංකිකයින් ඉන්නව ද කියලා. එතැනදී මට එක්කෙනෙක් ගැන විතරයි තොරතුරු ලැබුණේ," ඔහු පැවසුවේ ය.
මේ දක්වා සංචාරයන්හි දී මුහුණ දුන් දුෂ්කරතා මොනවා ද?
ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ඔහු ලෝකය පුරා සංචාරය කරන අවස්ථාවල දී අදාළ රටවල් වලින් වීසා ලබා ගැනීමට දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවූ බව ඔහු පැවසුවේ ය.
"මගේ ළඟ තියෙන්නේ ශ්‍රී ලංකාවේ පාස්පොර්ට් එක. ඉතින් ඒකෙන් ගමන් යන්න හරිම අමාරුයි වීසා ලබා ගන්න. මොංගෝලියාවේ සංචාරය කරද්දී වීසා ලබා ගන්න ගොඩක් අමාරු වුණා. එයාලා අපිට වීසා දෙන්නේ නැහැ."
"ඒ වගේම මෙක්සිකෝවේ දී ගියපු අවස්ථාවක දී මාව ඒ රටේ බලධාරීන් පැය 16ක් රඳවා ගත්තා ලංකාවේ පාස්පෝර්ට් එක නිසා."
"වරක් මම බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට ගියා. එහෙදි මම ශ්‍රී ලංකාවේ කිව්වම ඔවුන්ගෙන් මට ඉහළ පිළිගැනීමක් ලැබුණේ අපේ ක්‍රිකට් නිසා. නමුත් මම ලාංකිකයෙක් විදිහට හැම තැනම මගේ රට නියෝජනය කරන මේ පාස්පෝර්ට් එක වගේම ජාතික කොඩිය අරන් යන්නේ අභිමානයත් එක්ක මුසුවුණු හැඟීමෙන්," ඔහු කියා සිටියේ ය.
බීබීසි සිංහල සේවය සමග පැවති සාකච්ජාව අවසානයේ දී අභීත් පොඩිනිළමේ මෙලෙසින් ද පැවසුවේය.
"මම එහේ ගියා කියලා තැන් මාර්ක් කරන්න ඕන නැහැ. මම නිර්මාංශික කෙනෙක්. ඒ රටේ තියෙන කෑම කාලා, ලස්සන තැන් බලලා ඔවුන්ගේ සංස්කෘතිය අත්විදින එකයි මගේ ආසාව."
"මම පොඩි යුටියුබ් නාලිකාවක් පටන් ගත්තා මම දැක්ක දේවල් ලෝකයට කියන්න ඕන නිසා. මම අනිත් අයටත් කියන්නේ යන්න කියලා. ගොඩක් අය හිතන් ඉන්නවා පස්සේ යනවා, සල්ලි එකතු කරන් යනවා කියලා. නමුත් පස්සේ වගකීම් වැඩි වෙද්දී ඒවා මඟහැරෙනවා," ඔහු පැවසුවේ ය.












