සිරියාවේ අසාද් පාලනය බිඳ වැටීම ගෝලීය වශයෙන් බලපාන්නේ කුමන ආකාරයෙන් ද?

A man holds the Syrian opposition flag as they celebrate after Syria's army command notified officers on Sunday that President Bashar al-Assad's 24-year authoritarian rule had ended ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ 24 වසරක ඒකාධිපති පාලනය අවසන් වූ බව සිරියාවේ හමුදා අණදෙන නිලධාරීන්ට ඉරිදා දැනුම් දීමෙන් පසු මිනිසෙක් සිරියානු විපක්ෂ ධජය අල්ලාගෙන සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කියවීමේ කාලය: මිනිත්තු 7

සිරියාව මැද පෙරදිග කේන්ද්‍රස්ථානය වන අතර අසාද් පාලනයේ බිඳවැටීම කලාපයේ සහ පුළුල් ලෝකයේ බල තුලනය නැවත සකස් කරනු ඇත. රුසියාව, තුර්කිය, ඉරානය, සෞදි අරාබිය සහ ඇමෙරිකාව ඇතුළු රටවල් සහ ලෙබනනයේ හමුදාව ද වසර 14ක යුද්ධයට මැදිහත් වූ අතර ඔවුන්ට දැන් ඇති බලපෑම කුමක් ද?

රුසියාව

රුසියාව බෂාර් අල්-අසාද්ගේ ප්‍රධාන මිතුරෙකු වන අතර රාජ්‍ය මාධ්‍ය පැවසුවේ ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් මොස්කව් වෙත පැමිණ ඇති අතර "මානුෂීය සලකා බැලීම් මත" සරණාගතභාවය ලබා දී ඇති බවයි. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෞද්ගලිකවම තීරණය කර එලෙස සිදු කළ බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේය.

රට තුළ සිය හමුදා කඳවුරු "ඉතා සීරුවෙන්" පවතින බව පවසා ඇතත්, ඔවුන්ගේ ආරක්ෂාව කැරලිකරුවන් විසින් සහතික කර ඇති බව නම් නොකළ ක්‍රෙම්ලින් මූලාශ්‍රයක් රුසියානු මාධ්‍ය වෙත පවසා තිබේ.

2015 දී විරුද්ධවාදීන් විසින් පාලනය කරන ලද ප්‍රදේශවලට සිය පළමු ගුවන් ප්‍රහාර එල්ල කරමින් රුසියාව සෘජුවම සිරියාවේ ගැටුමට අවතීර්ණ විය. 2015 සිට 2016 දක්වා කාලය තුළ කැරලිකාර කණ්ඩායම්වලින් රටෙන් වැඩි ප්‍රමාණයක් නැවත සිය පාලනයට ගැනීමට අසාද්ට හැකි වූ ප්‍රධාන හේතුවක් ලෙස මෙම මැදිහත්වීම සැලකෙයි.

ඊළඟට කුමක් සිදුවේද යන්න ගැන සාකච්ඡා කිරීම සඳහා රුසියාව දැන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

"රුසියාව විශාල සැලකිල්ලක් දක්වන්නේ එහි තිබෙන සිය හමුදා කඳවුරු දෙකේ ඉරණම ගැනයි. හමෙයිමිම් (Hmeimim) ගුවන් කඳවුර සහ ටාර්ටෲස් (Tartus) නාවික කඳවුර යන දෙකම වෙරළ තීරයේ පිහිටා තිබේ. මේ කඳවුරු දෙක පසුගිය වසර කිහිපය තුළ දී රුසියාවට නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ක්‍රියාකාරකම් සඳහා අඩිතාලමක් ලබාදී තිබේ" යැයි බීබීසී හි රුසියානු සංස්කාරක ස්ටීව් රොසෙන්බර්ග් පැවසීය.

මොස්කව් වසර නවයක් තිස්සේ බෂාර් අල්-අසාද්ට සහාය දී ඔහුව ගොඩ ගැනීමට සහ බලයේ තබා ගැනීමට හමුදා ආධාර යවා ඇතත්, දැන් ඔහුගේ පාලනය පෙරළා දමා ඇති බැවින්, රුසියාව සිරියාවේ නව නායකත්වය සමඟ සංවාදයක් ගොඩ ගැනීමට උත්සාහ කරමින් සිටියි.

"රුසියාව දැන් අවධාරණය කරන්නේ ඔවුන්ට මෙම අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය වූ බවයි."

"මේකේ සිත්ගන්නා සුළු කරුණ තමයි, මෑතක් වන තුරුම රුසියානු මාධ්‍ය විසින් 'සිරියාවේ සන්නද්ධ විපක්ෂය' ලෙස එය හඳුන්වන්නේ නැතිව 'ත්‍රස්තවාදීන්' ලෙස හැඳින්වීම, දැන් එම වචනය වාර්තාකරණයේදී ඉවත් කර; ඔවුන් එය 'සන්නද්ධ විපක්ෂය' ලෙස හෝ 'විපක්ෂය' ලෙස හඳුන්වයි."

ඉරානය

Iranian newspapers with pictures of former Syrian President Bashar al-Assad and reporting about al-Assad's fall are displayed at a kiosk in Tehran, Iran, 09 December 2024 හිටපු සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පින්තූර සහ අල්-අසාද්ගේ වැටීම ගැන වාර්තා කරන ඉරාන පුවත්පත් 2024 දෙසැම්බර් 09, ඉරානයේ ටෙහෙරාන් හි කඩයක ප්‍රදර්ශනය කෙරෙන ආකාරය.

ඡායාරූප මූලාශ්‍රය, EPA

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අසාද් පාලනයට සහාය දුන් ඉරානය, සිරියාව සමඟ "මිත්‍ර" සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන බව පවසා තිබේ.

ඉරානය විසින් අසාද් ගේ හමුදා වෙත සැලකිය යුතු හමුදා සහායක් ලබා දුන් අතර සිරියානු යුද්ධයේ උච්චතම අවස්ථාවේ සන්නද්ධ විරුද්ධ කණ්ඩායම්වලට එරෙහිව සටන් කළ ප්‍රධාන පැරාමිලිටරි හමුදාවක් පුහුණු කරනු ලැබීය.

කෙසේ වෙතත්, බීබීසී හි මැදපෙරදිග වාර්තාකරු හියුගෝ බචේගෝ පවසන්නේ: "තමන්ට සැලකිය යුතු පහරක් එල්ල වන බව" ඉරානය දකින බවයි.

"අසාද් යටතේ සිරියාව, ඉරානය සහ හිස්බුල්ලා අතර සම්බන්ධතාවයේ කොටසක් විය, ලෙබනනයේ සන්නද්ධ කණ්ඩායම් සහ දේශපාලන ව්‍යාපාරවලට ඉරානය සහාය දක්වයි. එම කණ්ඩායමට ආයුධ සහ පතොරම් හුවමාරු කිරීම සඳහා එය භූමිකාවක් ඉටු කළේය.

"ඊශ්‍රායලයට එරෙහි යුද්ධයෙන් පසු හිස්බුල්ලා දැඩි ලෙස දුර්වල වී ඇත. සිරියාවේ සිවිල් යුද්ධයේ ප්‍රචණ්ඩකාරී අවධියේදී ඉරානය, එරටට සිය උපදේශකයන් යවා ඇති අතර, විරුද්ධත්වය මැඩලීමට අසාද්ට උදව් කිරීමට හිස්බුල්ලා සංවිධානය සිය සටන්කාමීන් යෙදවීය.

"යේමනයේ හූතිවරුන් ගුවන් ප්‍රහාරවලට ඉලක්ක වන බව ඉරානය දැක තිබේ. ටෙහෙරානය ප්‍රතිරෝධයේ අක්ෂය ලෙස විස්තර කරන ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම් සහ ගාසා හි හමාස් යන මෙම සියලු කණ්ඩායම් ඇතුලත් සභාගය දැන් දැඩි ලෙස හානියට ලක්ව තිබේ."

"මෙම නව තත්ත්වය ඉරානය සිය පැවැත්මට ඇති තර්ජනයක් ලෙස සලකනු ලබන අතර ඊශ්‍රායලයේදී සමරනු ඇත."

ඇමෙරිකාව සහ බටහිර

බීබීසී ආරක්‍ෂක පුවත් වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් පවසන්නේ "තරුණ, බ්‍රිතාන්‍යයේ පුහුණුව ලද අක්ෂි වෛද්‍යවරයකු වන අසාද්ට 2000 වසරේ දී සිරියාවේ ජනාධිපතිකම උරුම වූ විට බටහිර රටවල බලාපොරොත්තු ඉහළ මට්ටමක පැවතුන බවයි.''

"ඔහුගේ දිවංගත පියා වන හෆීස්ගේ දශක තුනක අත්තනෝමතික පාලනයෙන් පසුව, ඔහු නව වෙනසක් ගෙන එනු ඇති බව" ජනතාව විශ්වාස කළේය. 1982 දී හමා හි පුරවැසියන් 10,000 කට අධික සංඛ්‍යාවක් සමූලඝාතනය කිරීමට නියෝග කිරීම බොහෝ දෙනා සිහිපත් කළහ.

එම වසරේම බලයට පත් වූ අනෙකුත් තරුණ අරාබි පාලකයන් වන ජෝර්දානයේ II අබ්දුල්ලා රජු සහ මොරොක්කෝවේ VI වන මොහොමඩ් රජු මෙන් බෂාර් සිරියාව ඩිජිටල් යුගයට ඈදා ගැනීමට උනන්දුවක් දක්වන නවීකරණයෙකු බව කියනු ලැබේ.

"සියලු ත්‍රස්තවාදී කණ්ඩායම් පිලිබඳව බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්ගේ හෙළාදැකීම සමඟ සිරියානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා බටහිර රාජ්‍යයන් හි කලකිරීම් 2001 දී ආරම්භ විය.

"ඔබ ඔවුන්ව ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වනවා, අපි ඔවුන්ව නිදහස් සටන්කාමීන් ලෙස හඳුන්වනවා," බෂාර් අල්-අසාද් තම රට සත්කාරකත්වය දැරූ සන්නද්ධ පලස්තීන කණ්ඩායම් ගැන සඳහන් කළේ එලෙසිනි.

"ඔහු ප්‍රතිසංස්කරණවාදියෙකු නොවන බව අසාද් ඉක්මනින්ම ඔප්පු කළේය. ඔහුගේ ජනතාව වෙනසක් ඉල්ලා සිටි විට ඔහු ඔවුන්ගේ ඉල්ලීම් සඳහා උණ්ඩ, බැරල් බෝම්බ, සරින් ගෑස් සහ කාර්මික පරිමාණයෙන් වධහිංසා පැමිණවීම් සිදු කළේය."

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ සිරියාව "ඓතිහාසික අවස්ථාවකට" මුහුණ දී සිටින නමුත්, සිදුවිය හැකි බල රික්තය ගැන ඇමරිකාව ද කනස්සල්ලට පත්ව සිටින බවයි.

සිරියානු යුද්ධය ආරම්භයේ සිටම ඇමෙරිකා එක්සත් ජනපදය ඇතැම් කැරලිකාර කණ්ඩායම්වලට සහාය ලබා දී ඇත. නමුත් ඔවුන් දැනට ප්‍රධාන වශයෙන් සිරියාවේ ඊසානදිග පාලනයේ සිටින කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවන්ට (SDF) සහය දක්වයි.

පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඩැනියෙල් ෂපිරෝ පැවසුවේ, "අවුල් සහගත සහ පවතින තත්ත්වයන්" උපයෝගී කරගනිමින් සිය මෙහෙයුම් වේගවත් කිරීමට හැකි වන පරිදි ඊනියා ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව නැගෙනහිර සිරියාවේ රැඳී සිටිනු ඇති බවයි.

තුර්කිය

Syrians living in Turkey celebrate after Syrian rebels announced that they have ousted President Bashar al-Assad in Syria, in Istanbul සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් බලයෙන් පහ කළ බව සිරියානු කැරලිකරුවන් ප්‍රකාශ කිරීමෙන් පසු තුර්කියේ ඉස්තාන්බුල්හිදී වෙසෙන සිරියානුවන් ප්‍රීති ඝෝෂා පවත්වමින්.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

බීබීසීයේ මැදපෙරදිග වාර්තාකරු හියුගෝ බචේගා පවසන්නේ "තුර්කියේ ආශිර්වාදය නොමැතිව මෙම ප්‍රහාරය සිදු විය නොහැකි බව බොහෝ දෙනා විශ්වාස කරන බවයි.

"සිරියානු සරණාගතයින්ට නැවත පැමිණීමට ඉඩ දිය හැකි ගැටුමකට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවීම සඳහා සාකච්ඡා පැවැත්විය යුතු යැයි ජනාධිපති එර්ඩෝගන් කලක් අසාද්ට බලපෑම් කර තිබුණි. ඔවුන්ගෙන් අවම වශයෙන් මිලියන තුනක් තුර්කියේ සිටි අතර එය දේශීය වශයෙන් සංවේදී ප්‍රශ්නයක් විය. නමුත් අසාද් එය ප්‍රතික්ෂේප කර තිබුණි.''

"සිරියාවේ සමහර කැරලිකරුවන්ට සහාය දෙන තුර්කිය, කැරැල්ලට නායකත්වය දුන් ඉස්ලාමීය කණ්ඩායම වන හයාත් තරිර් අල්-ෂාම් ට සහාය දීම ප්‍රතික්ෂේප කර ඇත."

කෙසේ වෙතත්, තුර්කිය, සිරියාවේ උතුරේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශ පාලනය කරන සමහර ආයතනවලට සහාය දී ඇති අතර, දැන් පවසන්නේ ඉදිරි දිනවලදී සිරියාවේ සාමකාමී සහ ස්ථාවර අනාගතය සුරක්ෂිත කිරීමට උපකාර කිරීමට උත්සාහයන් "තීව්‍ර කරන" බවයි.

සිවිල් යුද්ධය පැවති සමයේ පළා ගිය සිරියානුවන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ මාර්ගයක් සෙවීම ද ඊට ඇතුළත් බව විදේශ අමාත්‍ය හකන් ෆිදාන් පැවසුවේය.

ලෙබනන්

අසාද් රජයේ සහය ලෙබනනයේ විවිධ දේශපාලන කණ්ඩායම් අතර ප්‍රධාන බෙදුම් රේඛාවක් වී ඇති බව බීබීසී අරාබි වාර්තාකාරිනීය වන කැරන් ටෝබේ පවසයි.

බොහෝ අය සිතන්නේ 2005 දී අසාද් හමුදා රටින් ඉවත් කර ගැනීමට පෙර සිරියාව දිගු කලක් ලෙබනනය අල්ලාගෙන සිටි බවයි. එබැවින් සිරියානු රජයට විරුද්ධ වන සමහර දේශපාලන කණ්ඩායම් ඔහුගේ වැටීම ධනාත්මක ප්‍රතිඵලයක් ලෙස සලකයි.

එහෙත් අසාද්ට සහය දුන් රටේ දේශපාලන කණ්ඩායම් මෙය දකින්නේ කණගාටුදායක වර්ධනයක් ලෙසයි.

වඩාත්ම කැපී පෙනෙන ලෙස, බෂාර් අල්-අසාද්ගේ ආණ්ඩුවේ බිඳ වැටීම හිස්බුල්ලා සංවිධානයේ අවසානයන් ගෙන් එකක් ලෙස සැලකෙයි. "හිස්බුල්ලාගේ කොඳු නාරටිය සහ ප්‍රධාන සැපයුම් මාර්ගය වූ සිරියාව දැන් අවහිර කර ඇත," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

"දැනට පමණක් නොව, එය නැවත ගොඩ නැගීමේ කණ්ඩායමේ අපේක්ෂාවන් සඳහා තව දුරටත් පහරක් වනු ඇත.

එහෙත් ඊශ්‍රායලයට එරෙහි "ප්‍රතිරෝධක ව්‍යාපාරයට" කිසිදු බලපෑමක් සිදු නොවන බව පාර්ලිමේන්තුවේ හිස්බුල්ලා දේශපාලන කණ්ඩායමේ සාමාජිකයෙක් පවසා ඇත.

"සිරියාවේ සිදුවන සෑම දෙයක්ම භයානක වුවද එයට අපව දුර්වල කළ නොහැක," හසන් ෆඩ්ලාල්ලා පවසයි.

සිරියාවේ සිට ලෙබනනයට නව සරණාගතයින් ගලා ඒම ගැන ද කනස්සල්ලක් පවතී, බොහෝ දුරට ෂියා ප්‍රජාවන්ගෙන් සිරියානුවන්, බොහෝ දෙනෙක් දැනටමත් ලෙබනනයට පැමිණ ඇත.

"මේ, මේ දේවල් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වී ඇති ආකාරය පිළිබඳ ඇඟවීමක්. ෂියාවරු අසාද් යටතේ සිටියදී ලෙබනනයේ සිට සිරියාවට ගිය බව අපි දන්නවා," කැරීන් ටොර්බේ පවසයි.

ලෙබනනයට පැමිණෙන ජනතාව බීබීසීයට පවසන්නේ රටේ පාලනය තමන් අතට ගත් කල්ලිවලින් තවමත් කිසිදු ප්‍රතිවිපාකයකට මුහුණ දී සිදු නොවූ බවයි. නමුත් ඔවුන්ගෙන් එක් එක් පළිගැනීමේ ක්‍රියා සිදුවනු ඇතැයි බියෙන් ඔවුන් පිටව යන බව පැවසීය.

ඊශ්‍රායලය

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, අසාද් පාලනය බිඳවැටීමෙන් පසු ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරය සහ සිරියාව අතර ස්වාරක්ෂක කලාපයේ "පාලනය" අල්ලා ගන්නා ලෙස සිය හමුදාවට නියෝග කළේය.

1974 දී හමුදා මුක්ත ප්‍රදේශයක් සිරියාව සමග පිහිට වූ ගිවිසුම "බිඳ වැටී" ඇති බව ඔහු පැවසීය.

ඊශ්‍රායලය 1967 සය දින යුද්ධයේ අවසාන අදියරේදී සිරියාවෙන් ගෝලාන් අල්ලා ගත් අතර 1981 දී ඒකපාර්ශ්විකව එය ඈඳා ගත්තේය. 2019 දී ඇමෙරිකාව ඒකපාර්ශ්වික ලෙස එය සිදු කළ ද ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබුවේ නැත.

ආරක්ෂක කලාපය හමුදාව විසින් අත්පත් කර ගැනීම ඊශ්‍රායලයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා "සීමිත සහ තාවකාලික පියවරක්" ලෙස ඊශ්‍රායලයේ විදේශ ඇමති ගිඩියොන් සාර්, පැවසීය.

ජෙරුසලමේ BBC හි මැදපෙරදිග වාර්තාකරු යෝලාන්ඩා නෙල් පැවසුවේ "ඊශ්‍රායලය සිරියාවේ රසායනික අවි සහ මිසයිල ගබඩාවලට ප්‍රහාර එල්ල කළ බව ඔහු තහවුරු කළේ මෙය අන්තවාදී කණ්ඩායම් අතට පත්වීම නැවැත්වීමට බව පවසමිනි" යනුවෙනි.

ඉරාන විද්‍යාඥයින් විසින් රොකට් සංවර්ධනය සඳහා යොදා ගත් බව කියන ඩැමස්කස් හි පිහිටි ස්ථානයකට පසුගිය දිනක හෝ මෑතක කාලයේ දී ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ගණනාවක් සිදු කර ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අනෙකුත් මැදපෙරදිග රටවල්

බීබීසී මැදපෙරදිග කලාපීය සංස්කාරක සෙබස්තියන් උෂර් වාර්තා කරන්නේ, "සෞදි අරාබි නිලධාරියෙකු පවසන්නේ සිරියාවේ අවුල් සහගත තත්ත්වයන් වැලැක්වීම සඳහා රාජධානිය සියළුම කලාපීය රටවල් සමඟ සන්නිවේදනය කරන" බවයි.

"සිරියාවේ අසල්වැසි රට වන ජෝර්දානයේ අබ්දුල්ලා රජු - එවැනිම පණිවිඩයක් නිකුත් කර ඇති අතර, තවදුරටත් ගැටුම් වළක්වා ගන්නා ලෙස ඉල්ලා සිටියේය. පූර්වාරක්ෂක පියවරක් ලෙස, ඔහුගේ රට සිරියාව සමඟ ඇති දේශසීමාව වසා දමා ඇත.

"එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන අන්වර් ගර්ගාෂ් පවසා ඇත්තේ තම රටේ ප්‍රධාන අවධානය අන්තවාදය සහ ත්‍රස්තවාදය පිළිබඳව බවයි. එමෙන්ම විවිධ අරාබි රටවල් විසින් ඔහුට ලබා දී ඇති ජීවිතාරක්ෂක මාර්ගය භාවිතා නොකිරීම සම්බන්ධයෙන් අසාද්ට දොස් පවරා ඇත."