90 දශකයේ කාම චිත්‍රපට රැල්ල සහ ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ භූමිකාව

ඡායාරූප මූලාශ්‍රය, Sarasaviya Newspaper
90 දශකයේ බිහිවූ කාම චිත්‍රපට ශානරයේ ආරම්භකයා ලෙස පිළිගැනෙන ලුවී වැන්ඩස්ට්‍රාටන් අප්‍රේල් 20 වන දා අභාවප්‍රාප්ත විය.
ඔහුගේ ඥාතිවරියක පැවසුවේ, 76 වන වියේ පසුවූ ඔහු දියවැඩියා රෝගී තත්ත්වයකින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇති වූ හෘදයාබාධයකින් මියගියබව ය.
සිංහල සිනමාවේ එක් යුගයක අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට ශානරයක ආරම්භකයා ලෙස ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ නිර්මාණවලින් සිංහල සිනමාවට සිදුවූ බලපෑම පිළිබඳ විමසා බැලීමකි මේ.
කාම චිත්‍රපට
පෞද්ගලික රූපවාහිනී නාලිකා ආරම්භ වීම, රූපවාහිනී නාලිකා ඔස්සේ හින්දි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආදී විවිධ හේතු මත සිනමා ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවෙන් ඈත් වෙමින් පැවති 90 දශකයේ, ප්‍රේක්ෂකයින් යළි සිනමා ශාලාවලට රැගෙන ඒම සඳහා සිංහල චිත්‍රපට ශානර දෙකක් ගොඩනැගිණි.
- කාම චිත්‍රපට ශානරය
- හාස්‍යමය චිත්‍රපට ශානරය
ඒ අතරින් කාම චිත්‍රපට ශානරයේ නිර්මාතෘ ලෙස පිළිගැනෙන්නේ, ලුවී වැන්ඩස්ට්‍රාටන් ය.
"90 දශකයේ ආව ලිංගික චිත්‍රපට ශානරයේ ආරම්භකයා තමයි, ලුවී. එයාගේ 'ඇගේ වෛරය' තමයි පළවෙනි චිත්‍රපටය (1995). ඒක විශාල ආදායමක් ලැබුවා. ඒක කළු සුදු චිත්‍රපටයක්. එයාගෙ 'අපි බය නැහැ' කියන චිත්‍රපටය තමයි 1996 ආවේ. ඒක තමයි ඔය ශානරයේ පළවෙනි වර්ණ චිත්‍රපටය. 'ඇගේ වෛරය' තමයි ඒ වසරේ ඉහළ ම ආදායම් ලැබූ චිත්‍රපටය," ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ සිනමා භාවිතය පිළිබඳව පර්යේෂණයකට දායක වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ලලිත කලා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුල සමරකෝන් බීබීසී සිංහල සේවයට පැවසීය.
"ස්ත්‍රී ශරීරයේ කොටස් විකිණීම"
ඔහු පැවසුවේ, ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ චිත්‍රපටවලට බටහිර ලිංගික චිත්‍රපටවල බලපෑමක් ඇතැ යි සිතිය හැකි වුව ද, ඔහු එම චිත්‍රපටවල පැවති කලාත්මක ලක්ෂණ සිය නිර්මාණ සඳහා භාවිතකර නොමැති බව ය.
"ලිංගික චිත්‍රපටවලට ලිංගිකත්වය ඇතුළත් කරද්දී සාමාන්‍යයෙන් බටහිර චිත්‍රපටවල වැඩ කිහිපයක් වෙනවා. එකක් තමයි මිනිසුන්ගේ ජීවිතයේ තියෙන සංකීර්ණ පැති, ජීව විද්‍යාත්මක කාරණා සෞන්දර්යාත්මක විදිහට නිර්මාණය කරනවා. හැබැයි මේ එකක්වත් මේ චිත්‍රපටවල තිබුණෙ නෑ.
"ස්ත්‍රියගේ ශරීරය විකිණීම තමයි ඇත්තට ම මේ චිත්‍රපට ඇතුළෙ ප්‍රධාන වශයෙන් ම තිබුණෙ. ඒ චිත්‍රපටවල තිබුණ ප්‍රධාන දේ තමයි, ස්ත්‍රී ශරීරයේ කොටස් වැඩි වාර ගණනක් පෙන්වීම. පියයුරු, කලවා, අඩ නිරුවත, සිපගැනීම් මේ වගේ දේවල් වැඩි වාර ගණනක් පෙන්නනවා. 'ඇගේ වෛරය' චිත්‍රපටයේ කලවාවල විතරක් රූප රාමු 14ක් තිබුණා," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
"චිත්‍රපටය කෙරෙහි තිබූ ගෞරවය නැති වුණා"
මේ අතර, ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ "කාම රැල්ලේ චිත්‍රපට" නිසා චිත්‍රපට සහ නළු නිළියන් කෙරෙහි ප්‍රේක්ෂකයින්ගේ පැවති ගෞරවය සහ විශ්වාසය බිඳ වැටුණු බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමරකෝන් පවසයි.
"මේ චිත්‍රපට නිසා චිත්‍රපට කෙරෙහි ශ්‍රී ලංකාවේ රසිකයන් තුළ පැවති යහපත් පිළිගැනීමට බලපෑමක් එල්ල වුණා. ඒක ඒ චිත්‍රපටවල රඟපෑව නිළියන්ටත් බලපෑවා. ඇතැම් ප්‍රධාන නිළියන්ට රට හැර යාමට පවා සිදුවුණා. ඔවුන්ගේ ජීවිතවලටත් ඒ මඟින් බලපෑම් එල්ල වුණා. මුලින් ම සිංහල සිනමාව බයිස්කෝප් විදිහට තමයි හැඳින්වුණේ. ඒත් ඒ තත්ත්වයෙන් මිදිලා තිබුණා 90 දශකයේ මුල වෙනකම් විතර. පස්සේ මේ චිත්‍රපට හරහා ඒක ආපස්සට ගියා කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ චිත්‍රපට කෙරෙහි තිබුණ විශ්වාසය, ආකල්ප පසුබෑමකට ලක්වුණා මේ ශානරය ජනප්‍රිය වීම නිසා."
"ලුවීට තිබුණ සිනමා දැනුම නිසි විදිහට භාවිත කළේ නැහැ" - ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා
"1956 රේඛාවෙන් පස්සේ දකුණු ඉන්දියානු ආකෘතියෙන් මිදිලා කිසියම් ආකාරයක අපට අනන්‍ය වූ සිනමාවක් ගොඩනගමින් තිබුණ යුගයක් ඒක. ලෙස්ටර්ලා, සිරි ගුණසිංහලා සිනමාව කියන්නේ ජීවිතය කියවන්න පුළුවන් මාධ්‍යයක් කියන එක තමයි රූපණය කළේ. ඒ කාලේ තමයි ලුවී පටන් ගත්ත සරල විනෝදය තකා හදපු කාම චිත්‍රපට රැල්ල ආවේ.
"ඔහුට වැඩක් කරන්න පුළුවන් කියන එක පෙනුණා, චිත්‍රපට ඇතුළේ. නමුත් ඔහු ඒක භාවිත කළේ මුදල් ඉපයීමේ කාර්යයක් හැටියට කියලයි හිතෙන්නෙ. ඒකෙන් සිංහල සිනමාව පෝෂණය වුණා කියලා මම නම් විශ්වාස කරන්නේ නෑ. අපරාධෙ ඔහුට සිනමාව ගැන නිවැරදි දැක්මක් නොතිබුණ නිසා ඒක නිසි විදිහට භාවිත කළේ නැහැ. ඒක අවාසනාවක්."
සම්මානනීය ඉංග්‍රීසි සාහිත්‍යකරුවා
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෙසේ වෙතත්, ලුවී වැන්ඩස්ට්‍රාටන් යනු ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් පැවති අයෙකු බව ද පැවසේ.
ඔහු ඉංග්‍රීසි බසින් රචනා කරන ලද 'බුද්ධි' නවකතාව හොඳ ම ඉංග්‍රීසි යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීය.
ඔහු 90 දශකයට පෙර බිඳුණු හදවත් (1971), පෙම් කුරුල්ලෝ (1975), බෝනික්කා (1983), මව්බිම නැත්නම් මරණය (1985) ආදී සාමාන්‍ය වාණිජ ශානරයේ චිත්‍රපට කිහිපයක් නිර්මාණය කර තිබිණි.
ඔහු ආරම්භ කළ කාම චිත්‍රපට ශානරයේ ආරම්භය 1995 වසරේ තිරගත වූ 'ඇගේ වෛරය' චිත්‍රපටයෙන් සනිටුහන් විය.
ඔහු නිර්මාණය කළ චිත්‍රපට නාමාවලිය මෙසේ ය:
බිඳුණු හදවත් - 1971, පෙම් කුරුල්ලෝ - 1975, සජා -1977, බෝනික්කා - 1983, මව්බිම නැතිනම් මරණය - 1985, ජූරිය මමයි - 1993, ඇගේ වෛරය - 1995, අපි බය නැහැ - 1996, ඇගේ වෛරය 2 - 1997, වියරු ගැහැනියක් - 1997, ගර්ල් ෆ්‍රෙන්ඩ් - 1998, ඇගේ වෛරය 3 - 1998, දඩබිම - 2000, ඇගේ වෛරය 4 - 2000, කන්‍යාවියගේ රාත්‍රිය - 2001, බලකාමය - 2001, සුන්දර වරද - 2001, සෙල්ලං කුක්කා - 2001, සරාගී - 2002, හාදු වැස්සක් - 2004, ගිනිගත් හෝරාව - 2004, සීතල හාදු - 2005, ධර්ම පුත්‍ර - 2006, අලි පැංචා මගේ මිතුරා - 2008, සුර සැප සොයා - 2008, නිදි යහන කැලඹෙයි - 2011
රැල්ලේ අවසානය
1995 වසරේ ඇරඹි ජනප්‍රිය රැල්ලේ කාම චිත්‍රපට සඳහා පැවති ප්‍රේක්ෂකත්වය ක්‍රමයෙන් හීනවී ගිය බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමරකෝන් පවසයි.
"90 දශකයේ අග වෙද්දී මේ ප්‍රේක්ෂක උනන්දුව බිඳවැටෙනවා. ඒකට හේතුව තමයි ප්‍රේක්ෂකයන්ට මේවා එපාවෙනවා. එහෙම වුණේ ඒක ඒකාකාරී වුණ නිසා. එක ම කතන්දර ටික, එක ම වට්ටෝරුව, බොහෝ විට එක ම නළු නිළියෝ, එක ම විදිහට තමයි මේවා කළේ. ඒ නිසා ඒක හරි ම නීරස වුණා."












