දිවි සැරිය නිමා කළ 'සිංහල සිනමාවේ සුවිශේෂ ස්ත්‍රී සලකුණ' සුමිත්‍රා පීරිස්

Sumithra Peris

ඡායාරූප මූලාශ්‍රය, Uditha Devapriya and Sumitra Peries.

සිංහල සිනමාවේ "සුවිශේෂ ස්ත්‍රී සලකුණ" සටහන් කළ ආචාර්ය සුමිත්‍රා පීරිස් අද බ්‍රහස්පතින්දා (ජනවාරි 19) සිය දිවි සැරිය නිම කළාය.

අද්විතීය සිනමාකරුවෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වූ සුමිත්‍රා පීරිස්, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී මිය යන විට 88 වන වියේ පසුවිය.

සිංහල සිනමාවේ අධ්‍යක්ෂණය සහ සංස්කරණය වැනි කාර්මික ක්ෂේත්‍රය දිග්විජය කළ කාන්තාවන් අතළොස්ස අතර ඇය දැවැන්ත චරිතයක් බව විචාරකයින්ගේ මතයයි.

සිංහල සිනමාවේ මානවවාදී අන්තර්ගතය නියෝජනය කළ සිනමාකාරියක ලෙස පිළිගැනෙන ඇය ඒ සදහා නිරායාස පෙළඹවීමක් ලද්දේ ඇගේ පවුල් පසුබිමෙන් ම බව ඇය පවසා තිබේ.

 සුමිත්‍රා තරුණ වියේදී

ඡායාරූප මූලාශ්‍රය, Uditha Devapriya and Sumitra Peries.

ඡායාරූප ශීර්ෂ වැකිය, සුමිත්‍රා තරුණ වියේදී

සුමිත්‍රා ගුණවර්ධන 1935 මාර්තු 24 වන දා ඇය උපත ලැබුවේ, ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට මාක්ස්වාදී දේශපාලනික චරිතයක් වූ බොරලුගොඩ ගුණවර්ධනට ඥාතීත්වය දරන පවුලක ය. ඇයගේ පියා හෙන්රි ගුණවර්ධන (හැරී ගුණවර්ධන) අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිතීඥවරයෙකු ලෙස කටයුතු කළ අතර ඇයගේ මව හැරියට් වික්‍රමසිංහ විය. සුමිත්‍රා පීරිස් දහහතර වන වියේ පසුවන විට ඇයගේ මව මෙලොව හැර ගියා ය.

සිය සිනමා භාවිතය කෙරෙහි පවුලේ දේශපාලනික පසුබිම බලපෑ බව ඇය මාධ්‍යයට පවසා තිබේ.

"අපි පොඩි කාලේ අවිස්සාවේල්ලේ හැදුණේ. දේශපාලන පසුබිමකින් ආවේ. දේශපාලනයෙන් ක්‍රමය වෙනස් කරලා සමාජයට යහපතක් කළ යුතුයි කියන හැඟීම නොදැනුවත්ව ම ආගමක් වගේ අපේ ලේවලට ම කා වැදිලා තිබුණා. බාප්පලා විතරක් නෙවෙයි විවියන් ගුණවර්ධන මගේ කසින් වුණත් එහෙමයි. අනෙක අපි අවිස්සාවේල්ලේ හින්දා ඔය රත්නපුර පැත්තේ සූරියමල් ව්‍යාපාරය වගේ දේවල් කරන්න යද්දි අපේ ගෙදර නැවතිලා යන්නේ. මේ ඔක්කොම මගේ ඔළුවට ආවට මගේ හිතුම් පැතුම් ඔක්කොම මගේ ප්‍රකාශනයක් ලෙස මොන විදිහට ද කරන්නේ කියන එක සමහර විට යටි හිතේ අවිඥානිකව රැඳිලා තිබෙන්න ඇති. ඒත් සවිඥානිකව එහෙම දෙයක් තිබුණේ නැහැ. රැකියාවක් ගැන වුණත් අපේ තරුණ කාලේ මේ වගේ තරගයක් තිබුණේ නැහැ. අපට ඕනෙ වුණේ හොඳට රටට මිනස්සුන්ට යහපතක් වෙන්න අපි දන්න දේ බෙදා හදා ගන්න හොඳම මාධ්‍ය මොකක් ද කියන දේ මම මෙයට හැරෙන්න බලපාන්න ඇති." (සරසවිය පුවත්පත - 2018 නොවැම්බර් 15)

සුමිත්‍රා ඉගෙනීම ආරම්භ කළේ අවිස්සාවේල්ලේදී ය. පසු කලෙක ඇය කොළඹ විසාකා විද්‍යාලයට ඇතුළත් වූ අතර ලන්ඩන් උසස් පෙළ විභාගය සඳහා ඉගෙනුම ලැබුවේ කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයෙනි. සුමිත්‍රා වයස අවුරුදු 20 වන විට ප්‍රමාණවත් මුදලක් එක්රැස් කොටගෙන ප්‍රංශයට ගොස් සිය සොහොයුරා මුණ ගැසුණා ය.

ඇය සිනමාව පිළිබදව අධ්‍යයනය කිරීම ආරම්භ කර ඇත්තේ,එහිදී ය.

ඇයට සිංහල සිනමාව පිළිබද කිසිදු අවබෝධයක් ඒ වන විට නොතිබුණු බවත්, දැවැන්ත සිනමාකරුවෙකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබදව දැන නොසිටි බවත් ඇය පවසා තිබේ.

කෙසේ වෙතත්, පසු කලෙක ශ්‍රී ලංකාවට පැමිණ ඇගේ සොහොයුරෙකුගේ හිතවතෙකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග සිනමා නිර්මාණවලට දායක වීමට ඇයට අවස්ථාව උදා වී තිබිණි.

දක්ෂ සංස්කාරකවරියක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සුමිත්‍රා පීරිස් සිනමා අධ්‍යක්ෂවරියක ලෙස ප්‍රකට වුව ද, ඇය දක්ෂ සංස්කාරකවරියක බව බොහෝ දනෙකු නොදන්නා කරුණකි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විශිෂ්ටත්වයේ ලා සැලකෙන සිනමා නිර්මාණ වැඩි සංඛ්‍යාවක සංස්කාරකවරිය ලෙස කටයුතු කළේ සුමිත්‍රා පීරිස් ය.

දෙලොවක් අතර (1967)

ගම්පෙරළිය (1968)

ගොළු හදවත (1969)

බක්මහ දීගේ (1971)

මඩොල් දූව (1976)

අහසින් පොළොවට (1978)

ඇයගේ සිනමා සංස්කරණයන් අවස්ථා රැසකදී සම්මානයට ද පාත්‍ර වී තිබේ.

හොඳ ම සංස්කරණය සඳහා අහසින් පොළොවට, ගඟ අද්දර, ගම් පෙරළිය, දෙලොවක් අතර චිත්‍රපටවලට ජනාධිපති, සරසවි සහ ඕ.සී.අයි.සී. සම්මාන හිමි වී ඇත.

"සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිනමා සංස්කරණ භූමිකාව ගැන හරියට කතා කරලා නෑ. ඇත්තට ම ඇය විශිෂ්ට සංස්කාරකවරියක්. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ විශිෂ්ට සිනමා කෘති රැසක සංස්කාරකවරිය ලෙස දායක වුණේ ඇය. ඇයගේ නිර්මාණශීලී සංස්කරණය නිසා ඒ චිත්‍රපටවලට විශාල ආලෝකයක් ලැබුණා. සිනමා සංස්කරණය ක්ෂේත්‍රයේත් කාන්තා දායකත්වය ඉතා අඩුයි. විශේෂයෙන් ම සුමිත්‍ර පීරිස් මහත්මිය සිනමා ක්ෂේත්‍රයට පිවිසි කාලයේ කාන්තාවන් සිනමාවට පැමිණියේ ඉතා අඩු වශයෙන් සහ අභියෝග රැසක් මැද යි. ඒත් සුමිත්‍රා මහත්මියට ලොකු අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණේ නෑ ඇයගේ පවුල් පසුබිමෙන් ලැබුණු ශක්තිය නිසා," සිනමා විචාරකයෙකු සහ තිර පිටපත් රචකයෙකු වන බූපති නලින් බීබීසී සිංහල සේවයට පැවසීය.

අධ්‍යක්ෂණයට පිවිසීම

සුමිත්‍රා පීරිස් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ, සංස්කරණය ඇතුළු කාර්මික දැනුමක් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග එක්ව කටයුතු කිරීමෙන් ලද නිර්මාණ අත්දැකීම් සම්භාරයත් සමගිනි.

ඇය අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ කිහිපයක් මෙසේ ය.

ගැහැනු ළමයි (1978) ගඟ අද්දර (1980) යහළු යෙහෙළි (1982) මායා (1984) සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා (1988) ලොකු දුව (1996) දුවට මවක මිස (1997) සක්මන් මළුව (2003) යහළුවෝ (2009)

එම සිනමා නිර්මාණ අතරින් ගඟ අද්දර (ජනාධිපති සම්මාන, සරසවිය සම්මාන), යහළු යෙහෙළි (ජනාධිපති සම්මාන, ඕ.සී.අයි.සී. සම්මාන), ලොකු දුව (ජනාධිපති සම්මාන), දුවට මවක මිස (ජනාධිපති සම්මාන), මායා (සරසවිය සම්මාන), සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා (සරසවිය සම්මාන, ඕ.සී.අයි.සී. සම්මාන), ගැහැනු ළමයි (ඕ.සී.අයි.සී. සම්මාන) යන චිත්‍රපට සම්මානයෙන් පිදුම් ලැබීය.

ඊට අමතරව, ගැහැනු ළමයි චිත්‍රපටය Carthage International Film Festival හිදී සහ London Film Festival හිදී සම්මානයට පාත්‍ර වූ අතර ඇගේ තවත් චිත්‍රපට රැසක් ජපානය, ජර්මනිය, රුසියාව ඇතුලු රටවල් රැසක පැවති ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මානයට ලක් විය.

නිළි වසන්ති චතුරානි 'ගැහැනු ළමයි' ච්ත්‍රපටයේ කුසුම් ලෙස

ඡායාරූප මූලාශ්‍රය, Uditha Devapriya and Sumitra Peries.

ඡායාරූප ශීර්ෂ වැකිය, නිළි වසන්ති චතුරානි 'ගැහැනු ළමයි' ච්ත්‍රපටයේ කුසුම් ලෙස

සුමිත්‍රා පීරිස් බැබළුණේ ලෙස්ටර් නිසා ද?

සුමිත්‍රා පීරිස්, සිංහල සිනමාවේ විශිෂ්ටයෙකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිද වූ නිසා සිනමා ක්ෂේත්‍රයට පිවිස ගෞරවයට පාත්‍ර වූවා ද යන්න පිළිබද ප්‍රශ්නයට සිනමා විචාරක බූපති නලින් දුන්නේ මෙවැනි පිළිතුරකි.

"සුමිත්‍රා පීරිස් සිනමාව හදාරන්න ප්‍රංශයට යන්නේ ලෙස්ටර් ගැන ‌අහලාවත් නැති පසුබිමකයි. ඇය ප්‍රංශයට ගිහින් සිනමාව ගැන අධ්‍යයනය කරන කාලයේ තමයි ඇයට ලෙස්ටර් මුණ ගැසිලා තියෙන්නේ. ඇය තමන්ට උරුමයෙන් හිමි වූ විශාල මුදලක් වියදම් කරලා ප්‍රංශයට ගිහින් සිනමාව හදාරලා ශ්‍රී ලංකාවට ඇවිත් තමන්ගේ ‌දේපොළ විකුණලා චිත්‍රපට හදපු කෙනෙක්. ඇයට යම් පරිචයක් ලෙස්ටර් හරහා හිමි වෙන්න ඇති. ඒත් ඇය සිනමාවේ තැබූ ලකුණ ස්වාධීන යි. ඇගේ නිර්මාණවලට ලෙස්ටර් කිසිම බලපෑමක් කළේ නෑ කියලා ඇයත් කියලා තියෙනවා."

"සිංහල සිනමාවේ හියුමනිසම්, ඒ කියන්නේ මානවවාදය විදහා දක්වන චිත්‍රපට තමයි සුමිත්‍රා මහත්මිය ගොඩක් කළේ. ඇය හැදී වැඩුණු මාක්ස්වාදී පසුබිම ඒකට බලපාන්න ඇති."

එමෙන් ම, ආචාර්ය ලෙස්ටර් සහ ආචාර්ය සුමිත්‍රා චිත්‍රපට කර්මාන්තය සිය පාරිභෝගික ජීවිතයේ සුඛ විහරණය සඳහා භාවිත නොකළ බව ද බූපති නලින් පෙන්වා දුන්නේ ය.

ලෙස්ටර් සහ සුමිත්‍රා යුවළ

ඡායාරූප මූලාශ්‍රය, Uditha Devapriya and Sumitra Peries.

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෙස්ටර් සහ සුමිත්‍රා යුවළ

"ගොඩක් නිර්මාණකරුවන් චිත්‍රපට හදලා මුදල් හම්බ කරපු අය. ඒත් සුමිත්‍ර සහ ලෙස්ටර් කළේ ඒකෙ අනික් පැත්ත. ඔවුන් තමන්ගේ සල්ලි වියදම් කරලා චිත්‍රපට කළා. අවසානයේ ඔවුන්ට ම කියලා නිවසක් හෝ වාහනයක්වත් තිබුණේ නෑ. ඒ තරම් ඔවුන් කලාව වෙනුවෙන් ජීවිතය කැප කළා."

"සිංහල සිනමාවේ දැවැන්ත ම කාන්තා නියෝජනය"

සුමිත්‍රා පීරිස් සිංහල සිනමාවේ දැවැන්ත ම කාන්තා නියෝජනය බව ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ශ්‍රියන්ත මෙන්ඩිස් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඇයගේ අභාවයෙන් සිංහල සිනමාවේ ඇති වූ පුරප්පාඩුව පියවීම "අතිශය දුෂ්කර කාර්යයක්" බව ය.

"සිනමාවේ අධ්‍යක්ෂණය, සංස්කරණය වගේ ක්ෂේත්‍රවලට කාන්තාවන් ප්‍රවේශ වෙන්නේ ඉතා අඩුවෙන්. ගොඩක් වෙලාවට කාන්තාවන්ට මේ ක්ෂේත්‍රයේදී විශාල අභියෝගවලට මුහුණු පාන්න සිද්ධ වෙනවා. සුමිත්‍රා පීරිස් කියන්නේ සිනමාවේ නිර්මාණාත්මක සහ කාර්මික යන දෙපැත්ත ම සම සමව විශිෂ්ට ලෙස අධ්‍යයන කරපු, ඒ දෙපැත්තෙන් ම විශිෂ්ටත්වයට පත්වුණු නිර්මාණකාරියක්. ඉතින්, ඒ අඩුව පුරවන්න අපට හැකි වෙයි ද? කියන එක සිංහල සිනමාව මුහුණ දෙන ප්‍රශ්නයක්."