කලං: සිංහල සිනමාව අතික්‍රමණය කළ'නළු පෙනුමක් නැති දඟකාර පෙම්වතා'

ඡායාරූප මූලාශ්‍රය, Amarasiri Kalansuriya/Facebook
සිංහල සිනමාවේ "දඟකාර පෙම්වතා" යනුවෙන් හැඳින්වුණු ප්‍රවීණ රංගධරයෙකු වූ අමරසිරි කලංසූරිය සෙනසුරාදා (අප්‍රේල් 01) අලුයම අභාවප්‍රාප්ත විය.
1940 වසරේ සැප්තැම්බර් මස 20 වන දා උපත ලැබූ ඔහු මිය යන විට 82 වන වියේ පසු විය.
මහනුවර ප්‍රදේශයේ උපත ලැබූ බව කියන අමරසිරි කලංසූරිය, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ඔහු විශිෂ්ට රංගන ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටිය ද, පාසල් සමයේදී දක්ෂ ක්‍රීඩකයෙකු බවට පත්ව සිටියේ ය.
මීටර් 800 පාසල් ධාවන තරග ඉසව්වේ එවකට පාසල් වාර්තාවට හිමිකම් කී බව පවසන කලං, බොක්සිං ක්‍රීඩාවෙන් පාසල් වර්ණ දිනාගත් දක්ෂයෙකි.
ඔහු පවසා ඇති පරිදි නළුවෙකු වශයෙන් වෘත්තිය ආරම්භ කිරීමට පෙර ඔහු යුද්ධ හමුදා සාමාජිකයෙකු ලෙස ත්, මැහුම් සාප්පුවක හිමිකරුවෙකු ලෙස ත් කටයුතු කර තිබේ.
සිනමාගමනය
අමරසිරි කලංසූරියගේ සිනමාගමනය සිදුවූයේ, 1969 වසරේදී රංජිත් පෙරේරා නමැති අධ්‍යක්ෂවරයා නිර්මාණය කරන ලද 'රැය ත් දවාල ත්' නමැති චිත්‍රපටයෙනි.
පසුව, එම වසරේදී ම සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ, ධර්මසේන පතිරාජ සහය අධ්‍යක්ෂණයෙන් දායක වූ 'හන්තානේ කතාව' චිත්‍රපටයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ චරිතයට පණ පොවමින් වඩා ත් රසික ආකර්ෂණයට ලක් විය.
ධර්මසේන පතිරාජගේ 'අහස් ගව්ව', ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'අක්කර පහ', එච්.ඩී. ප්‍රේමරත්නගේ 'අපේක්ෂා' ආදී සුවිශේෂී සිනමා නිර්මාණ රැසක් ඔස්සේ අමරසිරි කලංසූරිය සිය ප්‍රතිභාව විදහා දැක්වීය.
"නළු පෙනුමක් නැති නළුවා"
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අමරසිරි කලංසූරිය ප්‍රධාන නළු භූමිකාවට පණ පොවන සමයේ සිංහල සිනමාවේ ප්‍රධාන නළුවා සතු විය යුතු බවට පිළිගැනුණු බාහිර පෙනුම ඔහුට නොවූ බව සිනමා විචාරකයෝ පෙන්වා දෙති.
රුලි ගැසුණු හිසකෙස්, උසට සරිලන මහත, පැහැපත් සම ආදී කිසිදු ලක්ෂණයක් ඔහු සතු නොවුව ද, ප්‍රේක්ෂකයින්ගේ 'ආදරණීය පෙම්වතා' බවට පත්වීමට ඔහුට එය බලපෑවේ නැත.
එහෙයින් කලං යනු සුවිශේෂී රංගන ශිල්පියෙකු බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි.
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අනූපමා, පොඩි මල්ලි, වජිරා සහ අහස් මාලිගා යන චිත්‍රපට හතරේ අමරසිරි කලංසූරිය ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක විය.
"අමරසිරි කලංසූරිය සිනමා නළු පරම්පරාවේ සුවිශේෂී චරිතයක්. එසේ සුවිශේෂී වෙන්නේ ඔහුගේ පෙනුම සහ රංගනය යන දෙකෙන් ම. ඔහුගේ පෙනුම නළු පෙනුමක් නෙවෙයි. අපේ සාම්ප්‍රදායික සිංහල නළුවන්ගේ පෙනුම ඔහුට තිබුණෙ නෑ. ඔහුගේ මුහුණ ඒ සරුව පිත්තල මුහුණ නෙවෙයි. ඔහුගේ උස සාමාන්‍ය නළුවන්ගේ උස නෙවෙයි," මහාචාර්ය සුනිල් ආරියරත්න පැහැදිලි කළේ ය.
බාහිර පෙනුමෙන් ජනප්‍රිය නළු චරිත ලක්ෂණ පෙන්නුම් නොකළ ද ඔහු රසික ආකර්ෂණයට ලක් වූයේ, විශිෂ්ට මෙන් ම අනන්‍ය වූ රංගන කුසලතාව මත බව මහාචාර්යවරයාගේ අදහස ය.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
"ඔහුගේ රංගනය සාම්ප්‍රදායික රංගනයක් නෙවෙයි. ඒක ඔහුට ම ආවේණික එකක්. ඔහුගෙන් පෙර ත් ඔහුට පසුව ත් ඔහු විදිහට රඟපාපු නළුවන් සිංහල සිනමාවේ හිටියේ නෑ. ඔහු මගේ චිත්‍රපට කිහිපයක ම රඟපෑවා. ඒක නිසා මට ඔහු පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. අනූපමා, පොඩි මල්ලි, වජිරා සහ අහස් මාලිගා කියන හැම චිත්‍රපටයකට ම මම ඔහු ගත්තේ, ඔහුගේ එම සුවිශේෂී පෙනුම සහ රංගන ශෛලිය නිසා. ඇත්තෙන් ම මේ රටේ සිනමා රසිකයිනුත් ඔහුගේ මේ අසාමාන්‍ය රංගන ශෛලිය සහ අසාමාන්‍ය පෙනුම උණුසුම් ලෙස පිළිගත්තා. ඒ නිසා තමයි ඔහු බොහෝ කාලයක් සිංහල සිනමාවේ රැඳී සිටියේ."
මේ අතර, සිනමා විචාරකයෙකු වන බුද්ධදාස ගලප්පත්ති ද අමරසිරි කලංසූරියගේ රංගන දිවිය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වීය.
"අපට හිතා ගන්න බෑ කලං කොහොම ද, ගීතා කුමාරසිංහ හෝ මාලිනී ෆොන්සේකා සමග පෙම්වතා විදිහට රඟපෑවේ කියලා. නමුත් ඔහු සිය රංග පෞරුෂයෙන් ඉතා ම උස මහත නළුවෙකු ගාණට සමානව විශිෂ්ට ලෙස රංගනයේ නිරත වුණා. අපට අඩුවක් පෙනුණෙ නෑ ඒ පෙනුමේ. ඔහුගේ සාර්ථකත්වයට හේතු වුණේ ඔහු සතු වූ ඒ ඔහුට ම ආවේණික වූ රංගන පෞරුෂය යි."
උත්තුංග දේහධාරී නළුවන් තරමට ම මේ කෙසඟ සිරුරකින් යුත්, "සරුව පිත්තල මුහුණක් නොතිබූ නළුවා" මෙරට සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූයේ කෙසේ ද?
"අපට අදහ ගන්න ත් බෑ. බටහිර නම් මේ වගේ නළුවෝ ඉන්නවා. නළුකමට ශ්‍රී ලංකාවේ අවශ්‍ය යි කියලා සම්මත සුදුසුකම් එකක්වත් මං හිතන්නෙ සපුරා නැති නමුත් බාහිර පෙනුම සියලු අංගයන් තිබුණු නළුවන්ගේ රඟපෑමට වඩා හොඳ පරිපූර්ණ රංගනයක් ඔහු සතුව තිබුණා. ඒ නිසා යි ඔහු සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් බවට පත්වුණේ," බුද්ධදාස ගලප්පත්ති පැහැදිලි කළේ ය.
අමරසිරි කලංසූරිය රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්
- 1969 රැයත් දවාලත්
- 1969 හන්තානෙ කතාව්
- 1970 අක්කර පහ
- 1970 නිම් වළල්ල
- 1974 අහස් ගව්ව
- 1975 තරංගා
- 1978 අපේක්ෂා
- 1978 අනූපමා
- 1978 බඹරු ඇවිත්
- 1979 පොඩි මල්ලී
- 1980 කාංචනා
- 1980 පරිත්‍යාගය
- 1980 සිංහබාහු
- 1981 වජිර
- 1981 සාගරයක් මැද
- 1982 ප්‍රදීපා
- 1982 යස ඉසුරු
- 1982 සක්විති සුවය
- 1983 සමනල සිහින
- 1984 වැල්ලෙ තැනූ මාලිගා
- 1985 රැජිණ
- 1985 ඩෝරින්ගෙ සයනය
- 1986 පූජා
- 1986 මල් වරුසා
- 1987 පොඩි විජේ
- 1990 පෙම් රජදහන
- 1991 දොළොස්මහේ පහන
- 1994 150 මුල්ලේරියාව
- 1994 අඹු සැමියෝ
- 1994 අහස් මාලිගා
- 2004 දිය යට ගින්දර
- 2009 රෝස මල් සයනය












