ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පුජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ පෙත්සමට අභියාචනාධිකරණය දුන් නියෝගය
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය විසින් අද (පෙබරවාරි 03) නියෝග කරන ලදී.
අභියාචනාදීකරණය සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සඳහන් කළේ මෙම තීන්දුව පිටු විස්සකින් සමන්විත බවයි.
අදාළ නඩු තීන්දුවේ තෝරා ගත් කොටස් කිහිපයක් පමණක් විවෘත අධිකරණයේ කියැවූ සභාපති විනිසුරුවරයා මෙම තීන්දුව සකස් කිරීම සඳහා තමන් උපරිමාධිකරණ නඩු තීන්දු දෙකක් පාදක කරගත් බව සඳහන් කළේය.
එම තීන්දුවලට අනුව පෙත්සම්කරු ඉල්ලා සිටින සහන ලබා ගැනීමට විකල්ප අධිකරණමය ක්‍රියාමාර්ග තිබියදී පෙත්සම්කරුවන්ට මෙවැනි සහන අපේක්ෂා කළ නොහැකි බව විනිසුරුවරයා පැවසුවේය.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මහේස්ත්‍රාත්වරයා ඇතුළු පහළ අධිකරණවලට පුළුල් බලයක් පවතින බවත් විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව පෙත්සම්කරු ඉල්ලා සිටින සහන ලබා ගැනීමට විකල්ප නීතිමය ප්‍රතිකර්ම තිබෙන අතර පහළ අධිකරණවල කටයුතු වලට මැදිහත්වීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවත් සභාපති විනිසුරුවරයා පැවසුවේය.
ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසී නිකුත් කිරීම තම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන බවත්, ඒ අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධාන උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් විසින් මෙම රිට් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම්කාර හිමිවරුන් කියා සිටියේ වෙරළ සංරක්ෂණ පනත යටතේ තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය හමුවේ නොමැති බවයි.
එසේ තිබියදී තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම් වලින් ඉල්ලා තිබේ.
ඊට අමතරව එම පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදා හැරෙන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් උන්වහන්සේලා අභියාචනාධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබිණි.