මාතර බන්ධනාගාරය: 'තවම රෝගය කුමක්දැ යි කියලා හඳුනාගෙන නැහැ'

'මෙනින්ජයිටිස්' ආසාදනය හෙවත් මොළයේ උණ රෝගය සම්බන්ධයෙන් නැවත වතාවක් මෙරට සමාජයේ අවධානය යොමුව තිබේ.
ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වූ මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ වෛරසය ආසාදනය වීමෙන් එහි රැඳවියන් දෙදෙනෙකු ජිවිතක්‌ෂයට පත්විය.
නැවතත් මාතර බන්ධනාගාරය තුළින් වාර්තා වන රෝගී තත්ත්වයක් හේතුවෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක බිබීසී සිංහල සේවයට පැවසුවේ ය.
"දැනට එක් පුද්ගල මරණයක් සිදුව වෙලා තියෙනවා. මියගොස් තිබෙන්නේ අකුරුස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 28ක රැඳවියෙක්. මිනීමැරීමේ චෝදනාවක් නිසා බන්ධනාගාර ගතවූ කෙනෙක්. මීට සතියකට පෙර මෙම තරුණයා එක්ක තවත් රැඳවියන් දෙදෙනෙක් තමයි මුලින්ම රෝග ලක්ෂණ පෙන්නුම් කළේ."
"(දෙසැ 24 වෙනිදා) වෙද්දී තවත් රැඳවියන් 16 දෙනෙකු රෝහල් ගතකරලා ඉන්නවා. ඔවුන්ගෙන් දෙදෙනෙක් ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ. අනෙක් අය සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබනවා," බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තත්ත්වය පාලනය කිරීමට ගෙන ඇති පියවර මොනවා ද?
මාතර බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වන මෙම රෝග තත්ත්වය පාලනය කිරීමට ගෙන ඇති පියවර මොනවාදැ යි බීබීසී සිංහල සේවය විසින් නගන ලද ප්‍රශ්නයට ඔහු විසින් ලබා දුන්නේ මෙවන් පිළිතුරකි:
"දැනට බන්ධනාගාර කටයුතු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝග අනුව සීමාකර තිබෙනවා. අලුත් රැඳවියන්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කරන්න පියවර අරන් තියෙනවා."
"මේ වෙද්දී බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට, සේවයේ නිරත බන්ධනාගාර නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීලා තියෙන්නේ සෞඛ්‍ය අංශ විසින්. මේ වෙද්දී බන්ධනාගාරේ සිටින නිලධාරීන් සහ රැඳවියන්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන පිරිස් නොමැති බවයි වාර්තා වෙන්නේ," බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක පවසා සිටියේ ය.
'තවම රෝගය කුමක්දැ යි කියලා හඳුනාගෙන නැහැ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මාතර බන්ධනාගරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වන්නේ මෙනින්ජයිටිස් රෝගය බවට මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග බීබීසී සිංහල සේවයට පැවසීය.
"මාතර බන්ධනාගාරයේ මෙනින්ජයිටිස්ම ද කියලා හරියට දන්නේ නෑ. නමුත් ඒ වගේ හඳුනාගැනීම ස්ථීර කරලා කියලා නැහැ අපිට තවම. අපි සැකකරනවා ඒ වගේ රෝගීන් තමයි ඉන්නේ කියලා. බන්ධනාගාරයේ ව්‍යාප්ත වෙන රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ක්ෂුද්‍රජීවී විශේෂඥයින්ගෙන් තවම සහතිකකර දැනුම්දීමක් සිදුකර නැහැ."
"මේ වගේ තැනක "මෙනින්ජයිටිස්" වෛරසය නම් තියෙන්නේ ඒක අනෙක් අයට ව්‍යාප්ත වෙන්න හැකියාව තිබෙනවා. ඒ නිසා සියලුම රැඳවියන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය ප්‍රතිජිවක ඖෂධ වගේම මුව ආවරණ පැළඳීම වගේ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා දැනුවත් කර තිබෙනවා."
"ඒ වගේම රැඳවියන් බලන්න පැමිණෙන අමුත්තන් සීමා කරන්න කියලා උපදෙස් ලබාදී තිබෙනවා," විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
මේ අතර මාතර බන්ධනාගාරය තුළින් වාර්තා වූ රැඳවියාගේ මරණයට හේතුව මෙනින්ජයිටිස් ආසාදනය නිසා සිදුවූවක් ද කියා මෙතෙක් නිශ්චිතව සඳහන් කිරීමට නොහැකි බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසුවේ ය.
"ප්‍රතිශක්තිකරණ මට්ටම අඩු නිසා බන්ධනාගාර ආශ්‍රිතව මෙවැනි රෝග ව්‍යාප්ත වෙන එක ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්න පුළුවන්," ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
මොකක්ද මේ මෙනින්ජයිටිස් කියන රෝගය?
මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ යනුවෙන් හඳුන්වන රෝගය කුමක්දැ යි බීබීසී සිංහල සේවය විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් විමසීමක් සිදුකළේ ය.
"මොළයේ උණ හෙවත් මෙනින්ජයිටිස් කියන රෝගය බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් නිසා ඇතිවන්න පුළුවන්. බැක්ටීරියාවක් ආසාදනයවීමෙන් ඇතිවන රෝගී තත්ත්වයට අපි 'බැක්ටීරියල් මෙනින්ජයිටිස්' කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් වෛරසයක් නිසා ඇතිවන රෝගී තත්ත්වය 'වයිරල් මෙනින්ජයිටිස්' කියලා හඳුන්වනවා."
"සාමාන්‍යයෙන් මොළයේ තියෙන මෙනින්ජී පටල ක්ෂුද්‍ර ජීවී ආසාදනය නිසයි මෙනින්ජයිටිස් කියන තත්ත්වය ඇතිවෙන්නේ."
"එකේ ප්‍රතිපලයක් විදිහට මොළයේ පටකවලට ඇතිවන ආසාදන තත්ත්වය නිසා උණ, ක්ලාන්තය, කරකැවිල්ල වගේ මූලික රෝග ලක්ෂණවලින් පටන් අරන් අධික හිසරදය, කල්පනාව නොමැති වීම සහ අවසානයේ දී මොළයේ පටකවලට හානිවීම නිසා මරණය ඇතිවෙන්න පුළුවන්."
"බැක්ටීරියාවක් නිසා මේ තත්ත්වය ඇති වනවා නම් ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය ප්‍රතිකාර ලෙස භාවිත කරන්න පුළුවන්. නමුත් වෛරස් නිසා ඇතිවන මෙනින්ජයිටිස් තත්ත්වයන්ට තියෙන වෛද්‍ය ප්‍රතිකාර සීමාසහිත යි."
"සාමාන්‍ය අවස්ථාවල දී මේ රෝගී තත්ත්වය වසංගතයක් විදිහට ව්‍යාප්ත වෙන අවස්ථාවල් තියෙනවා. මේ රෝගයට කුඩා දරුවන්ගේ ඉදලා ඕනෑම වයස් සීමාවක පුද්ගලයින්ට ඇතිවෙන්න පුළුවන්," විශේෂඥ වෛදවරයා පවසා සිටියේ ය.
මෙම වෛරසය හෝ බැක්ටීරියාව මිනිසෙකුට ආසාදනය වන්නේ කෙසේ ද?
මෙම වෛරසය හෝ බැක්ටීරියාව ශරීරගත වීම විවිධ ආකාරයෙන් සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
"සමහර විට වාතාශ්‍රයෙන් වෙන්න පුළුවන්. රෝගය ආසාදනය වී ඇති කෙනෙක්ගේ ශ්‍රාවයන් හරහා සිද්ධ වෙන්න පුළුවන් වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයන්වල දී."
"බැක්ටීරියා මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයන්වල දී විෂබීජකාරකය ශරීර ගතවීම හෝ රුධිර ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන්න පුළුවන්," විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ ය.
මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වන්නේ කෙසේ ද?
මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ගත හැකි ආකාරය පිළිබඳව ඔහු මෙසේ පැහැදිලි කළේ ය.
"මේ රෝග තත්ත්වයට ඉක්මණින් ගොදුරු වෙන්න හැකියාව තියෙන පුද්ගලයින් තමයි ප්‍රතිශක්තිකරණ මට්ටම අඩු, අක්මා රෝග, වකුගඩු රෝග, දියවැඩියා රෝග සහ පිළිකා වැනි රෝගවලින් පෙළෙන අය වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්ථානවලට නොයා ඉන්න."
"කුඩා දරුවන් මේ රෝගයෙන් වළක්වා ගන්න ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ලබාදෙන එන්නත් තිබෙනවා.
"ඒ වගේම මේ රෝගය ව්‍යාප්ත වෙන අවස්ථාවක් නම් රෝගය ව්‍යාප්ත වෙන ප්‍රදේශ හරහා ගමන් නොකිරීම, මුව ආවරණ පැළඳීම, යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම සහ ආසාදනය වූ පුද්ගලයින්ට හැකිතාක් නිරාවරණය නොවී සිටීම වැනි කරුණු අනුගමනය කිරීම සුදුසු යි," විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ ය.












