දිවයින පුරා බන්ධනාගාරවල තදබදය වැඩි වී ඇත්තේ ඇයි?

Prison guards secure the main entrance of the Welikada prison in Colombo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දිවයින පුරා බන්ධනාගාරවල තදබදය වැඩිවීමෙන් රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ද පීඩාවට පත්විය හැකිබව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව පවසයි.

මේ වසරේ මුල සිටම විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත කෙරෙන රැඳවියන්ගේ සංඛ්‍යාවේ සියයට දෙසීයක සීඝ්‍ර වර්ධනයක් ඇති වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බන්ධනාගාර

දිවයිනේ සමස්ත බන්ධනාගාර ආයතන තුළ සත්‍ය වශයෙන් රැඳවිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 13,241 වුවත්, මේ වන විට රැඳවියන් 29,000ක් බන්ධනාගාරවල රඳවා ඇතැ යි අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේය.

රැඳවියන් 19,000කට ආසන්න පිරිසක් සැකකරුවන් ලෙසත්, 10,000කට ආසන්න පිරිසක් සිරකරුවන් ලෙසත් මේ වන විට බන්ධනාගාරගත කර ඇති බව එම දෙපාර්තුමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

මෙලෙස බන්ධනාගාර තුළ රිමාන්ඩ් සිරකරුවන් පිරිස ඉහළ යාම හා බන්ධනාගාර තදබදය වැඩිවීමට පොලිසියේ අත්නෝමතික ක්‍රියාකලාපය බලපා ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සුදේශ් නන්දිමාල් ප්‍රකාශ කළේ ය.

“රිමාන්ඩ් සිරකරුවෝ වැඩි වෙන්න ප්‍රධානතම හේතුව තමයි, පොලිසිවලින් සිද්ධ කරනවා මෙහෙයුමක් කියලා බොරුවට පොලිස් නිලධාරින් යම් පිරිසක් නිකං ඉන්න මිනිස්සු ගෙනිල්ලා අයිස් කෑලි දාලා හිර කරනවා. අද ගොඩක් කරන්නේ පාරේ මනුස්සයෙක් බස් එකක් නැතුව අතරමං වෙලා ඉද්දි හරි, නැතිනම් නිකං කොහෙහරි යන කෙනෙක් අල්ලලා අයිස් කෑල්ලක් දාලා දානවා හිරේ. ඔය විදියට ඇතුළට දාලා ඉන්න අය ගොඩාක් ඉන්නවා. ඒකත් එක්ක බන්ධනාගාරවල තදබදය වැඩි වෙලා තියෙනවා,” ඔහු බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

බන්ධනාගාර

බන්ධනාගාර තුළ රැඳවියන් වැඩිවීමෙන් බන්ධනාගාර නිලධාරීන් මුහුණ දෙන අපහසුතා ගැන ද නන්දිමාල් සඳහන් කළේ ය.

“සීයක් ඉන්න ඕන තැන 2000ක් විතර ඉන්නකොට නිලධාරින්ට පාලනය කරන්න ගියාමත් කරදර යි, කෑම බීම දෙන්න ගියාම කරදර යි, ලෙඩ රෝග හැදෙනවා, බෝවෙන රෝග හැදෙනවා. දැන් මේ වෙන කොට වව්නියාව බන්ධනාගාරය වහලා දාලා තියෙනවා රෝගයක් හැදිලා, ඒක කන්ට්‍රොල් කරගන්න බැරුව. ඒ විතරක් නෙමෙයි, නිලධාරින් හරහා මේ ලෙඩ රෝග ඒ ගෙවල්වලට යනවා, ඒ ළමයින්ට හැදෙන්න පුළුවන්.”

“රිමාන්ඩ් එකේ හිර කරලා තිබුන පළියට පුනරුත්ථාපනය වෙන්නේ නෑනේ. විද්‍යාත්මක පදනමක් ඇතිව වැඩක් කරන්න ඕනේ. එහෙම එකක් වෙන්නේ නෑනේ ලංකාවේ. එහෙම කළා නම් බන්ධනාගාර තදබදයත් නැති වෙනවා, රටේ අපරාධත් අඩු වෙනවා,” සුදේශ් නන්දිමාල් ප්‍රකාශ කළේ ය.

බන්ධනාගාර

'රැඳවියන් වැඩි මත්ද්‍රව්‍ය සැකකරුවන් වැඩිවීම නිසා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හා ඒ ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සංඛ්‍යාව ඉහළ යාම නිසා බන්ධනාගාර තුළ රැඳවියන් සංඛ්‍යාව වැඩිවීම සිදුවී ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

“26,000ක් විතර හිටපු එක 29,000ක් විතර වුණා පොඩි කාලයක් ඇතුළත. ඒකට හේතුව ගොඩක් මත්ද්‍රව්‍ය සඳහා වෙන හොරකම් සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා රිමාන්ඩ් වෙන පිරිස වැඩි වෙලා,” හෙතෙම කියා සිටියේ ය.

රැඳවියන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ඔවුන්ගේ ආහාර සහ සනීපාරක්ෂාව සම්බන්ධව අප අතිරේක බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසීමක් කළ අතර දැනට එය කළමනාකරණ ගත හැකිවුව ද රැඳවියන් ප්‍රමාණය තවදුරටත් වැඩිවුවහොත් එය ගැටලුවක් වනු ඇතැ යි ඔහු කියා සිටියේ ය.

බන්ධනාගාර තුළ රඳවා ඇති එක් සිරකරුවකුට උදේ, දිවා හා රාත්‍රි ආහාරය ඇතුළු ආහාර සඳහා දිනකට රුපියල් 483ක මුදලක් වැය කරනු ලබන අතර, එක් සිරකරුවෙකුට දිනකට රුපියල් 1,227ක මුදලක් රජය විසින් වැය කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.

එම දෙපාර්මේන්තුව බීබීසි සිංහල සේවය වෙත ලබා දුන් වාර්තා අනුව, මේ වසරේ ජුලි 31 වැනිදා වන විට දිවයින පුරා බන්ධනාගාරවල වැඩිපුර රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 18,532ක් වන අතර බන්ධනාගාරවල රඳවා සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 28,927කි.