මෙසෙන්ජර් ඔස්සේ මහාධිකරණ විනිසුරුවරියකට 'ලිංගික හිංසනයක් වන අයුරින් පණිවුඩ යැවූ' 62 හැවිරිදි නීතිඥයෙකු අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
මෙසෙන්ජර් ඔස්සේ මහාධිකරණ විනිසුරුවරියකට ලිංගික හිංසනයක් සිදුවන ආකාරයේ කෙටි පණිවුඩ යැවූ හලාවත ප්‍රදේශයේ නීතිඥවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකාර නීතිඥවරයා විසින් මෙසෙන්ජර් හරහා එසේ මහාධිකරණ විනිසුරුවරිය අපහසුතාවට පත්වන ආකාරයේ පණිවිඩ යවා ඇතැයි පොලිසිය පවසයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ නඩු
වයස අවුරුදු 62ක පසු වන අදාළ නීතිඥවරයා අද (මැයි 21) නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද දිනයේ ම අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග බීබීසි සිංහල සේවයට පැවසීය.
"මේ ලෝයර් සමාජ මාධ්‍ය හරහා මහාධිකරණ විනිසුරුවරියට නොයෙකුත් ආකාරයේ මැසේජ් යොමු කරලා තියෙනවා. ඒ සම්බන්ධව මහාධිකරණ විනිසුරුතුමියගේ පැමිණිල්ලෙන් පස්සේ සැකකරුගෙන් කට උත්තර සටහන් කරලා විමර්ශනයක් ආරම්භ කළා. අපි නීතිපතිතුමාට ගොනුව යවලා තියෙනවා. ඒකට නීතිපතිතුමාගේ උපදෙස් ඇවිල්ලා තියෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ 345, සෙක්ෂුවල් හැරෙස්මන්ට් යටතේ මෙයාට එරෙහිව ඉදිරි කටයුතු කරන්න කියලා. ඒ අනුව තමයි අත්අඩංගුවට ගත්තේ."

හලාවත නීතිඥ සංගමයෙන් අවවාද
මෙම සිදුවීම පිළිබඳව බීබීසි සිංහල සේවය හලාවත නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, මෙය වසරකට වැඩි කාලයට පෙර සිදුවීමක් බවත් මේ සම්බන්ධව තම සංගමයට ද පැමිණිල්ලක් ලැබී තිබූ බවත් ය.
කෙසේ වෙතත්, එම පැමිණිල්ල සිදුවන අවස්ථාව වන විට වත්මන් සභාපති නීතිඥ සුමේධ පෙරේරා එම ධූරයට පත්ව නොසිටි බව ද ඔහු පැවසීය.
"මට කලින් සභාපතිතුමා යටතේ ලැබුණා දැන්වීමක් ඒ අනුව රැස්වීමක් කැඳවලා ඒ නීතිඥ මහත්මයාටත් එන්න කිව්වා එයා ආවේ නැහැ. නමුත් සංගමයෙන් මේක අධ්‍යයනය කරලා බැලුවා. අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්වරු කීප දෙනෙක් පත් කරලා එයාට ඒ සම්බන්ධයෙන් ඉදිරියට මුකුත් කරන්න එපා කියලා අවවාද කරලා තිබුණා."
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන ඇති සැකකාර නීතිඥවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගොනු කරනු ලැබ ඇති චෝදනා සම්බන්ධව මෙතෙක් දැනුවත් වී නොමැති බව ද හලාවත නීතිඥ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ය.
ශරීර ඇප
අදාළ නීතිඥවරයා (මැයි 21 වැනිදා) රාත්‍රීයේ හලාවත ප්‍රධාන මහේස්ත්‍රාත් එස්. මහේන්ද්‍රරාජ වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.
සැකකාර නීතිඥවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ මාරවිල සහ හලාවත නීතිඥ සංගම්වල නීතිඥවරුන් පිරිසක් පෙනී සිටියහ.
මෙම නඩු විභාගය සැප්තැම්බර් 24 වැනිදා නැවත කැඳවීමට නියම කර තිබේ.














