දෑත් නැතත් දඟ පන්දු යවන අමීර්

සාමාන්‍ය ක්‍රීඩකයන් අතේ ඇඟිලි වලින් පන්දුව අල්ලන ආකාරයටම අමීර් තම පාදයේ ඇඟිලිවලින් පන්දුව අල්ලා දක්ෂ ලෙස දඟ පන්දු යවයි

ඡායාරූප මූලාශ්‍රය, Barcroft Media

ඡායාරූප ශීර්ෂ වැකිය, සාමාන්‍ය ක්‍රීඩකයන් අතේ ඇඟිලි වලින් පන්දුව අල්ලන ආකාරයටම අමීර් තම පාදයේ ඇඟිලිවලින් පන්දුව අල්ලා දක්ෂ ලෙස දඟ පන්දු යවයි

ඉන්දියානු පාලනයේ පවතින කාශ්මීර් ප්‍රදේශයේ ජීවත් වන අමීර් හුසේන් ලෝන් ට තම දෑත් අහිමි වූයේ ඔහුට වයස අවුරුදු අටේ දීය. ඒ ඔහුගේ පවුලේ අයට උරුම ව තිබූ කම්හලක දී සිදුවූ හදිසි අනතුරකින්. එත් දැන් දෑත් නොමැති වයස 26 ක් වන ඔහු ජම්මු-කාශ්මීර අබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරයි.

“මේ අනතුර වෙන්න කලින් ක්‍රිකට් පිලිබඳ මගේ ඒ තරම් ආශාවක් තිබුණේ නැහැ. අපිට TV එකක් තිබුණේ නැති නිසා ළඟ පාත ගෙදරකට ගිහිං ක්‍රිකට් මැච් බැලුවෙ. එත් දවසක් ඔවුන් TV ඒක නිවල දාල මාව ඔවුන් ගේ ගෙදරින් එළවගත්ත. මගේ හිත හොඳටම රිදුණ. එත් මට මැච් ඒක බලන්න ඕනවුන නිසා මම එලියට ගිහිං වහල තිබුණ ජනේලයේ පුංචි සිදුරකින් බලා හිටිය. එදා තමයි මට හිතුනෙ මමත් ක්‍රිකට් ගහන්න ඕන කියල” යනුවෙන් ඔහු තම අතීත මතකය අවදි කළේය.

හදිසි අනතුරක්

තමා ජීවත් වූ සමාජය තුළ අබාධිතයන් සඳහා විවිධ ගැටළු තිබූ බව පවසන අමීර් පැවසුවේ අත් දෙකම නැති තමන් ජීවත්වුවාට වඩා මියගියේ නම් වඩා හොඳ බව ඇතැමුන් ඔහුට පවසා තිබූ බවයි. නමුත් කෙසේ හෝ ඔහු පන්දු යැවීම සහ පන්දුවට පහරදීම සඳහා තමාටම ආවේනික වූ ක්‍රම ප්‍රගුණ කරන්නට සමත්විය.

1997 ඉරිදා දිනක තම පවුලේ කම්හලේ දී ඔහුට දෑත අහිමි වූයේ පියා ගේ කීම ද නොතකා යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට යාමෙනි. පියා නිවසේ නැති එම දිනයේ දී ඔහු අනතුරට පත්වූ පසු ඔහුගේ අත් දෙකේම බාහුවේ ඉහළ කොටස දක්වාම කැපී වෙන්වී ගොස් තිබුණි. ඔහු මියයනු ඇති බැවින් රෝහලකට රැගෙන යාම පලක් නොවන බව අසල වැසියන් කියද්දී හමුදා වාහනයක උදව්වෙන් ඔහුගේ නන්දනියක විසින් ඔහුව රෝහල් ගත කර තිබුණි.

දිනෙක ඉන්දියානු ජාතික අබාධිත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම අමීර් ගේ බලාපොරොත්තුවයි

ඡායාරූප මූලාශ්‍රය, Barcroft Media

ඡායාරූප ශීර්ෂ වැකිය, දිනෙක ඉන්දියානු ජාතික අබාධිත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම අමීර් ගේ බලාපොරොත්තුවයි

මම අවුරුදු තුනක් රෝහලේ හිටිය. හැබැයි මම මළ මිනියක් වගේ හිටිය නිසා මාව බලන්න ආපු මිනිස්සු කිව්වෙ වස ටිකක් දීල මාව මරල දාන ඒක හොඳයි කියල. එත් මගේ ආච්චි අම්ම ෆසී (Fazee) තමයි මාව ජීවත්කරවන්න මහන්සි ගත්තෙ” යනුවෙන් පහු පැවසුවේය.

අමීර් ගේ දෙමව්පියන්ට ඔහු ජීවත්කරවීම සඳහා එතෙක් පවුලට ආදායමක් ගෙන ආ කම්හලද විකුණා දැමීමට සිදුවිය. බෙහෙත් කිරීම සඳහා ක්‍රමයෙන් පවුලේ සියළු දේපල විකුණා දැමීමට ඔවුනට සිදුවුවද ඔවුන් එය අමීර්ගෙන් වසන් කරන්නට වගබලාගත්හ.

රෝහලේ ගතකල කාලය තුළ අමීර්ට පිටත ලෝකය පිලිබඳ කිසිදු අසාවක් ඇති නොවුණි. එහෙත් රෝහලේ සිට නිවසට ආ දා පටන් නව බලාපොරොත්තු ඔහුගේ සිතට ඇතුල්වන්නට විය.

නව බලාපොරොත්තුවක්

“මගෙ අම්ම මට කිව්වෙ නැහැ ඉස්කෝලෙ යන්න කියල. ඇය දැනගෙන හිටිය ඒක අමාරු වැඩක් කියල. මොකද ආබාධිත අයට පහසුකම් සාමාන්‍ය ඉස්කෝල වල නැති නිසා. එත් මගේ ආච්චි අම්ම මට කිව්වෙ මොනවවත් ඉගෙන නොගත්තත් කමක් නැහැ. ගිහිං පන්තියේ වාඩිවෙලා ඉඳල හරි එන්න කියල” යනුවෙන් ඔහු පැවසුවේ තම ජීවිතය අද පවතින තැනට ගෙන එම සඳහා මිත්තනියගේ දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරමිනි.

පාසලේ දී අමීර් ට මුලින්ම ඉගෙනගන්නට සිදු වුයේ කිසිවෙකුගේ උදව්වක් නොමැතිව ආහාර ගැනීමටයි. ඔහුගේ මිත්තණිය හැන්දක් කකුලෙන් භාවිතා කරන ආකාරය ඔහුට ඉගැන්වීය. මව හා පියා සැමවිටම රැකියා සඳහා නිවසින් බැහැර වී සිටි නිසා අමීර් ව රැකබලා ගත්තේ මිත්තණියයි.

තම මිත්තණිය දැක්වූ ආදරය සහ කරුණාව නොවන්නට තමන් තවමත් සාමාන්‍ය ආබධිතයෙකුව සිටින්නට ඉඩ තිබුණු බවයි ඔහු පවසන්නේ

ඡායාරූප මූලාශ්‍රය, Rameez Raja

ඡායාරූප ශීර්ෂ වැකිය, තම මිත්තණිය දැක්වූ ආදරය සහ කරුණාව නොවන්නට තමන් තවමත් සාමාන්‍ය ආබධිතයෙකුව සිටින්නට ඉඩ තිබුණු බවයි ඔහු පවසන්නේ

ටික කලකට පසු ඔහු පාසලේ ඉහළ පන්තිවල ඉගෙන ගනිමින් සිටිය දී අබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් පැමිණ අමීර් ව ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා රැගෙන ගියහ. “කැප්ටන් මගෙන් ඇහුව පන්දු යවන්න කැමති ද කියල. එතකොට ළඟ හිටපු තව කෙනෙක් ඇහුව අත් දෙකම නැති මෙයා පන්දු යවන්නෙ කොහොමද කියල. ඊට පස්සෙ මම කකුලෙන් යවපු පළමු පන්දුවෙන්ම මට විකට් එකක් ගන්න පුළුවන් වුණා ” යනුවෙන් ඔහු තම ප්‍රථම ක්‍රිකට් අත්දැකීම විස්තර කළේය.

දඟ පන්දු

සාමාන්‍ය ක්‍රීඩකයන් අතේ ඇඟිලි වලින් පන්දුව අල්ලන ආකාරයටම අමීර් තම පාදයේ ඇඟිලිවලින් පන්දුව අල්ලා දක්ෂ ලෙස දඟ පන්දු යවයි. ඔහු පන්දුවට පහර දීම සඳහා පිත්ත රඳවා ගන්නේ උරහිස හා බෙල්ල උපයෝගී කර ගනිමිණි. ඔහු පන්දු රකින්නේ සාමාන්‍ය ක්‍රීඩකයන්ට වඩා වෙනස් ආකාරයකට ය. ඔහුගේ පාදයෙන් ක්‍රීඩාංගනයේ ඕනෑම කොනක සිට විකට් රකින්නාගේ අතටම පන්දුව එවීමට අමීර් ට හැකියාව තිබේ.

“2013 දී අපේ කේරළ කණ්ඩායම දිල්ලි කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළා. මම තමයි කැප්ටන්. මේ තරඟය අපේ ප්‍රාන්තයෙන් පිට දී කරන පළමු තරගය නිසා මම හරිම බයෙන් හිටියෙ. එත් මට ඕන වුණා හොඳට සෙල්ලම් කරන්න. හත්වෙනිය විදියට පිටියට ඇවිත් ලකුණු 25ක් ලබාගෙන නොදැවී ක්‍රීඩාගාරයට ගියා. කේරළ කණ්ඩායමේ අය මාව ඔසවාගෙන ප්‍රීති ඝෝෂා කළා. ඊට පස්සෙ නරඹන්නොත් එකතුවෙලා ජයඝෝෂා කළා. ඔවුන් කිව්වෙ පළමු වතාවටයි ඔවුන් දැක්කෙ දෑත නැති කෙනෙක් ක්‍රිකට් ගහන හැටි කියල” යනුවෙන් ඔහු තම අත්දැකීම විස්තර කළේය.

මුලදී තමාව ප්‍රතික්ෂේප කළත් තම ගම්මානයේ සියළු දෙනා තමාට ඉතා හොඳින් සලකන බව අමීර් පවසයි. දැනට ජීවතුන් අතර නැති වුවද තම මිත්තණිය තමන්වෙත දැක්වූ ආදරය සහ කරුණාව නොවන්නට තමන් තවමත් සාමාන්‍ය ආබධිතයෙකුව සිටින්නට ඉඩ තිබුණු බවයි ඔහු පැවසුවේ.

“කිසි කෙනෙකුට කියන්න බැහැ හෙට මොනවද වෙන්න තියෙන්නෙ කියල. එත් කවද හරි දවසක අන්තර්ජාතික තරග වලට සහභාගී වෙන ක්‍රීඩකයෙක් වෙන්න මම බලාපොරොත්තු වෙනව. දවසක මට ඉන්දියානු ජාතික අබාධිත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබෙයි කියල අසාවෙන් බලාගෙන ඉන්නව” කියමින් ඔහු තම අනාගත සිහිනය පිලිබඳ විස්තර කළේය.