'කොටි ප්‍රහාරයෙනුත් බේරුනා, බ්‍රසල්ස් ප්‍රහාරයෙනුත් බේරුනා'

ඡායාරූප මූලාශ්‍රය, Horst Pilger
1985 දී අනුරාධපුරයට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයෙන් යාන්තමින් දිවි බේරාගත් තමා, බ්‍රසල්ස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙනුත් 'අනූනමයෙන් දිවි බේරාගත්' බව බ්‍රසල්ස් නුවර වෙසෙන ලාංකිකයෙක් පවසයි.
අඟහරුවාදා මාල්බීක් උමං දුම්රිය ස්ථානයේ බෝම්බය පුපුරා යාමට ටික වේලාවකට කලින් තමන් එම දුම්රිය ස්ථානයෙන් ගමන් කළ බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ යුරෝපා පාර්ලිමේන්තුවේ සේවය කරන මැණික් හෙට්ටිආරච්චි, කිසියම් ලෙසකින් තවත් විනාඩි කිහිපයක් ප්‍රමාද වී නම් ප්‍රහාරයට ගොදුරුවීමට ඉඩ තිබූ බවත් පැවසීය.
"මම වැඩකරන තැන මාල්බීක් කියන ස්ටේෂන් එකේ ඉඳල විනාඩි දෙකයි," මැණික් හෙට්ටිආරච්චි පැවසීය.
"මම බිල්ඩින් එකට ඇතුල් වෙලා විනාඩි දෙකක් විතර යද්දී ආරංචි වුනා බෝම්බයක් පිපිරිලා කියල. ඒක ඇවිල්ල අනූනමයෙන් බේරුනා වගේ වැඩක් තමයි වුනේ."
මීට දශක තිනකට පමණ ඉහතදී සිය මව සමඟ බෝක්කුවක සැඟවී අනුරාධපුරයට එල්ල වූ ප්‍රහාරයෙන් දිවි බේරාගත් ආකාරය ඒ අවස්ථාවේ තමන්ට සිහිපත් වූ බවත් ඔහු සඳහන් කළේය.
'සැකමුසු ආකල්පයක්'
අඟහරුවාදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව බදාදා අගනුවර ඉතා සන්සුන් ස්වභාවයක් පැවති නමුත් සියලු දෙනා බියෙන් පසුවන අතර, ඇතැම් විදේශිකයන් කෙරෙහි ජනතාව සැකමුසු ආකල්පයක් දක්වන බවත් ඔහු පැවසීය.
"පාසල් ගොඩක් ඒවා වහල හැබැයි ව්‍යාපාරික ස්ථාන සමහර තැන්වල ඇරලා තියෙනව. තාම පොදු ප්‍රවාහන සේවය සම්පූර්ණයෙන් වැඩ කරන්නේ නෑ."

ඡායාරූප මූලාශ්‍රය, Getty
විශේෂයෙන්ම පැරිස් ප්‍රහාරයෙන් අනතුරුව උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව කෙරෙහි බෙල්ජියම්වාසීන් සැකමුසු ආකල්පයක් දැක්වීම ප්‍රජා සම්බන්ධතාවයන්ට දැඩිව බලපෑ ඇති බවයි ඔහු පවසන්නේ.
"මිනිස්සු ගොඩක් එකට ජීවත්වුනා. දැන් කොහොමද මිනිස්සු එකට එකත් කරන්නේ කියන එක ඇත්තටම ප්‍රශ්නයක්."








