සාම හමුදාවට ළමා අපචාර චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, no credit
ළමයින් ලිංගික අපචාරයට ලක් කළ බවට චෝදනා ලබා සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සාමාජිකයන් ගේ ජාතිකත්වය පිළිබඳව ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළි කරනු ලැබ තිබේ.
ඒ සමගම ලෝකය පුරා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්ට මෙවැනි චෝදනා එල්ල කළ අවස්ථා සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවද එම සංවිධානය විසින් පිළිගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරියෙකු වන ඇන්තනි බැන්බරි (Anthony Banbury) පැවසුවේ පසුගිය වසරේ පමණක් සාමසාධක හමුදා සාමාජිකයන් ළමා අපචාර චෝදනාවට ලක් වූ අවස්ථා 69 ක් වාර්තා වූ බවයි.
2014 වසරේ දී එම සංඛ්‍යාව 51 වූ බවයි වාර්තා වන්නේ.
මේවා අතරින් සිදුවීම් 22 ක් මධ්‍යම අප්‍රිකා ජනරජයේ දී සිදු වී ඇති අතර සැකකරුවන් බංග්ලාදේශය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, නයිජර් රාජ්‍යය සහ සෙනගාල් යන රටවලින් පැමිණි අය බවයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර වෙනත් මෙහෙයුමක යෙදී සිටින ප්‍රංශ සොල්දාදුවන් පිරිසක් කළ එවැනි ළමා අපචාරයක් පිළිබඳව සිකුරාදා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දී පරීක්ෂණ පවත්වන ලෙස ප්‍රංශය විසින් නියෝග නිකුත් කරනු ලැබ ඇති බවද වාර්තා වී තිබිණි.




