පතන්කොට් ඉන්දීය ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක්

ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි සන්නද්ධ කණ්ඩායම ඉන්දීය හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි බවත් බලධාරීහු සඳහන් කරති

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි සන්නද්ධ කණ්ඩායම ඉන්දීය හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි බවත් බලධාරීහු සඳහන් කරති

පාකිස්තාන් දේශ සීමාව ආසන්නයේ පිහිටි ඉන්දීය ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ තුවක්කුකරුවන් සිව් දෙනකු මරා දමන ලද බව ඉන්දීය බලධාරීහු පවසති.

එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ එහිදී හට ගත් වෙඩි හුවමාරුවෙන් හමුදා සෙබළුන් තිදෙනෙකු ද මරුමුවට පත් වී ඇති බවයි.

පතන්කොට් ප්‍රදේශයේ පිහිටි ඉන්දීය ගුවන් හමුදා කඳවුර හා ඒ අවට පැය කීපයක් වෙඩි හුවමාරු වූ බවයි හමුදා බලධාරීන් කියා සිටියේ.

අද සෙනසුරාදා උදෑසන ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි සන්නද්ධ කණ්ඩායම ඉන්දීය හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි බවත් බලධාරීහු සඳහන් කරති.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා රඳවා තබා ඇති පතන්කොට් කඳවුර පාකිස්තාන් දේශ සීමාවේ සිට කිලෝමීටර් පනහක් දුරින් පිහිටා තිබේ.

ඉහත කී ප්‍රහාරය එල්ල වූයේ සාම සාකච්ඡා යළි පණ ගැන්වීමේ අරමුණින් ඉන්දීය අගමැතිවරයා සහ පාකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් ලාහෝර් නගරයේ දී හමු වීමෙන් දින කීපයකට පසුවයි.