අයිඑස් කැරලිකරුවෝ 'මැදපෙරදිග ජනසංහාරයක'

ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයිඑස් කැරලිකරුවෝ මැදපෙරදිග වෙසෙන ආගමික සුළුතර ප්‍රජාවන්ට එරෙහිව ජනසංහාරයක නිරතව සිටින බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අනතුරු අඟවයි.
නිව් හැම්ප්ශයර් නගර ශාලාවේ පැවති රැස්වීමක් අමතමින් ඒ බව සඳහන් කළ ඇය, ඉරාකයේ යසිදි සහ අනෙක් ගෝත්‍රික ජනතාවට එරෙහිව අයිඑස් කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාරවල අරමුණ එම ප්‍රජාවන් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම බවත් කියා සිටියාය.
"අපිට දැන් අවශ්‍ය තරම් සාක්ෂි තිබෙන බව මට ස්ථිරයි," හිලරි ක්ලින්ටන් සඳහන් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, AP
"පැහැදිලිවම සිදුවෙමින් පවතින්නේ ජනසංහාරයක්. අයිසිස් සංවිධානයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවල මනුෂ්‍ය ජීවිත විනාශකිරීම පමණක් නොවෙයි, ක්‍රිස්තියානි සහ අනෙක් ආගමික සුළුතර ප්‍රජාවන් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමේ අරමුණින් කෙරෙන ජනසංහාරයක්."
ලබන වසරේ පැවැත්වීමට නියමිත එක්සත් ජනපද ජනපතිවරණයේ ඩිමොක්‍රටික් පාක්ෂික අපේක්‍ෂකයා වීමේ තරඟයෙන් මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නේ ඇයයි.




