IS කැරලිකරුවන්ට ආරක්ෂක මණ්ඩලයෙන් අනතුරු ඇඟවීමක්

පැරිසියට සහ ලෙබනනයේ බේරුට් අගනුවරට ප්‍රහාර එල්ල කළා සේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් ඉදිරියේදී තවත් ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ හැකි බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, පැරිසියට සහ ලෙබනනයේ බේරුට් අගනුවරට ප්‍රහාර එල්ල කළා සේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් ඉදිරියේදී තවත් ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ හැකි බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්

සිරියාවේ සහ ඉරාකයේ IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා ලොව සියලු රටවල් එක් විය යුතු බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කියා සිටියි.

එම යෝජනාව ආරක්ෂක මණ්ඩලය තුළ ඒකමතිකව සම්මත වූ බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාවන්හි දැක්වෙන්නේ.

පැරිසියට සහ ලෙබනනයේ බේරුට් අගනුවරට ප්‍රහාර එල්ල කළා සේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් ඉදිරියේදී තවත් ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ හැකි බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ආරක්ෂක මණ්ඩලය වෙත යෝජනාව ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රංශ තානාපතිවරයා කියා සිටියේ IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පරාජය කිරීම සඳහා අදාළ යෝජනාව උපකාරී වන බවයි.

'මුලිනුපුටා දැමීමට'

‘ත්‍රස්තවාදයේ’ ගොදුරු බවට පත් අනිකුත් සියලුම ජනතාව වෙනුවෙන් ද එම රටවල ආණ්ඩු සහ ප්‍රජාව වෙත ආරක්ෂක මණ්ඩලය සිය ගැඹුරු ශෝකය පළ කරයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ‘ත්‍රස්තවාදයේ’ ගොදුරු බවට පත් අනිකුත් සියලුම ජනතාව වෙනුවෙන් ද එම රටවල ආණ්ඩු සහ ප්‍රජාව වෙත ආරක්ෂක මණ්ඩලය සිය ගැඹුරු ශෝකය පළ කරයි

ඉරාකය සහ සිරියාව ඇතුළු කලාපයේ රටවල ක්‍රියාත්මක වෙමින් පවතින IS ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් ඇතුළු ‘අල් නුෂ්රා පෙරමුණ’ වැනි සෙසු ත්‍රස්තවාදී සංවිධාන ඉතාම දැඩි වචන මාලාවක් උපයෝගී කර ගනිමින් හෙළා දකින ආරක්ෂක මණ්ඩලය එවැනි සංවිධානවලට ක්‍ෂේම භූමියක් වී ඇති ඉහත කී ස්ථාන වලින් ඔවුන් මුලිනුපුටා දැමීමේ උවමනාව ඉස්මතු කරයි.

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් ‘ක්‍රමානුකූලව මහා පරිමාණයෙන් සිදු කරමින් ඇති මානව හිමිකම් අපචාරයට ලක් කරනු ලැබීම සහ මානවීය නීතිය උල්ලංඝනය කිරීම් මෙන්ම මානව ඉතිහාසයේ ඓතිහාසික සංස්කෘතික උරුමය කොල්ල කෑම සහ ඒවා ම්ලේච්ඡ ආකාරයට විනාශ කර දමනු ලැබීම’ පිළිබඳවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශනයේ දැක්වෙයි.

ටියුනීසියාව තුර්කිය රුසියාව ලෙබනන් සහ ප්‍රංශය වැනි රටවල එල්ල කෙරුණ ප්‍රහාර වලදී ඒවායේ ගොදුරු බවට පත් ජනතාව සම්බන්ධයෙන් ද, ‘ත්‍රස්තවාදයේ’ ගොදුරු බවට පත් අනිකුත් සියලුම ජනතාව වෙනුවෙන් ද එම රටවල ආණ්ඩු සහ ප්‍රජාව වෙත ආරක්ෂක මණ්ඩලය සිය ගැඹුරු ශෝකය පළ කරයි.