ප්‍රතිජීවක ඖෂධ ඵල රහිතවීමේ අනතුරක්

ඡායාරූප මූලාශ්‍රය, SPL

බැක්ටීරියා ප්‍රභේදයකට ප්‍රතිකාර කිරීමේ දී ලබා දිය හැකි අවසන් ප්‍රතිජීවක ඖෂධ ලබා දුන්නත් එමගින් ප්‍රතිඵල නොලැබෙන තත්වයක් පවතින බව චීනයේ කරන ලද පර්යේෂණයකින් හෙළි වෙයි.

මේ නිසා ඒ සම්බන්ධයෙන් වහා කඩිනම් ක්‍රියා මාර්ග ගත යුතුව ඇති බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය එය තම සංවිධානයේ බලවත් අවධානයට ලක්ව ඇති බව ප්‍රකාශ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාවක වන ලිස් ටේලර් පැවසුවේ එම බැක්ටීරියාව මිනිසුන් සහ සත්ව විශේෂ අතර පහසුවෙන් පැතිර යන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty

දැනටමත් එය චීනයේ සහ මැලේසියාවේ සොයා ගෙන ඇති බව පැවසූ ඇය එම බැක්ටීරියාව ලෝක මට්ටමින් පැතිර යා හැකි බවටයි අනතුරු අඟවා සිටින්නේ.

සියලු ප්‍රතිජීවක වලට සමහර බැක්ටීරියා මර්ධනය කිරීමට නොහැකි වීම නිසා මිනිසුන් දැනටමත් මිය යන බවයි ඇය පෙන්වා දෙන්නේ.

මේ නිසා ප්‍රතිජීවක ලබා දීමෙන් රෝගා බාධ වලට දිගටම ප්‍රතිකාර කිරීමට නොහැකි වන තත්වයක් යටතේ වරින් වර මතු වන වසංගත රෝගවලට ප්‍රතිකාර කිරීමට නොහැකි වනු ඇතැම් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාව පැවසුවේය.