ඉරාන න්‍යෂ්ටික අර්බුදය: 'ඓතිහාසික' ගිවිසුමක්

ඡායාරූප මූලාශ්‍රය, AP
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වන සම්මුතිය වියානා අගනුවරදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.
යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී ෆෙඩෙරිකා මොග්හරිනි එහිදී කියා සිටියේ මෙම අවස්ථාව ඓතිහාසික මොහොතක් සනිටුහන් කරන බවයි.
මාස ගණනක් පැවති සාකච්ඡා වටයකින් අනතුරුව ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී කටයුතුවලට පමණක් යොදා ගනු ඇති බවට ගිවිස ගත් බවයි ඇය සඳහන් කළේ.
මෙයින් කලාපීය සහ ජාත්‍යන්තර සාමයට රුකුලක් ලැබෙනු ඇති බවත් ඇය පැවසුවාය.
ජාත්‍යන්තර බලවතුන් හා ගිවිසුමකට ළඟා වීමට හැකි වීම බලාපොරොත්තුවේ නව පරිච්ඡේදයක ඇරඹුමක් ලෙස තමා හඳුන්වන බවයි ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් කියා සිටියේ .
න්‍යෂ්ටික ආයුධ තැනීමේ සැලසුමක් ඉරානයට නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, MEHR
ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා ලෝක බලවතුන්ට ඉරානය සමග එකඟතාවකට ළඟා වීමට හැකි වූයේ දීර්ඝ කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
එකඟතාවකට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, චීනය හා ජර්මනිය යන ලෝක බලවතුන් ලෙස හැඳින්වෙන රටවල් සහ ඉරානය අතර දශකයකට අධික කාලයක් කඩින් කඩ සාකච්ඡා පැවැත්විණි.

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
ඉරානයේ න්‍යෂ්ටික පිරිපහදු කිරීම් සිදු කෙරෙන හමුදා මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට එක්සත් ජාතීන්ගේ පර්යේෂක කණ්ඩායම් වලට ඉඩ ලබා දෙනු ඇති නමුත් ඒ සඳහා අවසර ලබා දීම ඉරානයට අභියෝගයට ලක් කළ හැක යනුවෙන් රාජ්‍යතාන්ත්‍රිකයකු පැවසූ බව ඒපී පුවත් සේවය උපුටා දක්වයි.
ගිවිසුම උල්ලංඝනය කළහොත් දින හැට පහක් ඇතුළත යළි සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ඉරානය එකඟ වී ඇතැයි රාජ්‍යතාන්ත්‍රිකයකු සඳහන් කළ බව මේ අතර රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කරයි.
එක්සත් ජාතීන්ගේ ආයුධ තහනම සහ මිසයිල සම්බාධක පිළිවෙලින් වසර පහක් සහ වසර අටක් දක්වා තවදුරටත් බල පැවැත්වෙනු ඇති බවටත් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
ඉන්ධන, ආර්ථික, ගුවන් සහ නාවික යන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් වූ සම්බාධක ඉවත් කෙරෙනු ඇති අතර තහනම් කර තිබූ ඩොලර් බිලියන ගණනක ඉරාන වත්කම් නිදහස් කෙරෙනු ඇති බවට ඉරාන මාධ්‍ය වාර්තා කොට ඇත.








