කොරියානු රාජ්‍යයන් යළි සාකච්ඡා මගට

දෙරටේ ඉහළ මට්ටමේ නායකයන්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙරටේ ඉහළ මට්ටමේ නායකයන්

උතුරු කොරියාවේ දෙවන බලවතා හැටියට සැලකෙන හ්වාන් පියොන්ග් සෝ (Hwang Pyong-so) හදිසි සංචාරයක නිරත වෙමින් දකුණු කොරියාව සමඟ සාකච්ඡා කොට ඇත.

උතුරු කොරියාව එවැනි පියවරක් ගැනීම පුදුමය එළවන සුළු පියවරකි.

වසර පහක කාලයක් ඇතුළත කොරියානු රාජ්‍යයන් දෙක අතර අතර සිදු වූ ඉහලම මට්ටමේ පළමු හමුව මෙයයි.

ජනරාල් හ්වාන් පියොන්ග් සෝ, දකුණු කොරියාවේ ‘ඉන්චිඔන්’ (Incheon) නගරයට ගොස් තිබුණේ එහි පැවැත්වුන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් සංදර්ශනයට සහභාගී වීමට බවත් වාර්තා වෙයි.

ක්‍රීඩා උළෙල අතරේ

එහෙත් ඔහු ඒ අතරවාරයේ කොරියානු රාජ්‍යයන් දෙක එක්සත් කිරීම භාර දකුණු කොරියානු ඇමතිවරයා සමඟ සාකච්ඡාවක නිරත විය.

උතුරු කොරියානු දූත මණ්ඩලයේ සාමාජික කිම් යන්ග් ගොන් (kim yang gon) ඉහත කී සංචාරය ගැන ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, එය හදිසි සංචාරයක් වූ බවයි.

ඉදිරි සති කීපය ඇතුළත තවත් ඉහල මට්ටමේ සාකච්ඡාවක් සඳහා දෙපාර්ශවය එකඟ වූ බවත් වාර්තා වෙයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් (Kim Jong-un මාසයක පමණ කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර ඔහු රෝගාතුරව පසු වන්නේ යයි අනුමාන පළ වෙමින් පවතින අතරයි ඉහත කී ඉහළ මට්ටමේ හමුව සිදු වුණේ.