“ඔන්තකේ” ගිනි කන්ද මුදුනේ එකසිය පනහක් කොටුවෙති

 ජනතාවට ගිනිකන්දෙන් ඈත්වී සිටින ලෙසයි අනතුරු අඟවා ඇත්තේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතාවට ගිනිකන්දෙන් ඈත්වී සිටින ලෙසයි අනතුරු අඟවා ඇත්තේ

අවම වශයෙන් එකසිය පනහක් පමණ වූ කඳු නගින්නන් පිරිසක් ජපානයේ ගිනි කන්දක මුදුනට නුදුරු ගොඩනැගිලි තුළ සිටියදී එම ගිනි කන්ද පුපුරා ගොස් තිබේ.

“ඔන්තකේ” ගිනි කන්ද අළු පැහැති දුම් සහ පාෂාණ කැබලි නිකුත්කිරීමට පටන් ගෙන ඇති අතර කඳු නගින්නන් මීටර තුන්දහසක් ඉහළ කඳු මුදුනේ දුමාරයෙන් ආරක්ෂාවීමට උත්සාහගන්නා බවයි වාර්තාවන්නේ.

පිරිස අතර කිහිපදෙනෙකුටම තුවාල සිදුවී ඇති බවට සැලකෙන අතර එක් අයෙකුගේ තත්වය බරපතල බවයි පැවසෙන්නේ.

ජපාන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ සදයුකි කිතගවා විසින් නිකුත්කරනු ලැබ ඇති නිවේදනයකින් අනතුරු අඟවා ඇත්තේ ජනතාවට ගිනිකන්දෙන් ඈත්වී සිටින ලෙසයි.

“අපි දැක්ක අළු දුමාරය දකුණු පැත්තට පැතිරිලා යනව. කන්ද මුදුනේ ඉඳලා කිලෝමීටර තුනක් විතර උසට. මේ පිපිරීම නොනැවතී දිගටම පවතින්න ඉඩ තියනව. කන්දේ ඉඳලා කිලෝමීටර හතරක වට ප්‍රමාණයේ පදිංචි වෙලා ඉන්න අය ගල් පෙරලෙයිද කියල අවධානයෙන් ඉන්න ඕන” යනුවෙන් ඔහු පැවසීය.