හමුදාව ගැන සෙවුවේ නෑ - බ්‍රිතාන්‍ය ආචාර්යවරයා

ආරක්ෂක හමුදා පිළිබඳව තොරතුරු සෙවූ බ්‍රිතාන්‍ය ආචාරයවරයකුගෙන් ප්‍රශ්න කොට මුදා හරින ලද බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සංදේශයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආචාර්ය රාජේශ් වෙනුගෝපාල් වෙත යොමු කොට තිබෙන ඊමේල් පණිවුඩයක් ඇසුරින් යාවත්කාලීන කරන ලද වාර්තාවයි, මේ.

මඩකලපුවට ගියේ 'මිතුරන් හමුවී සුවදුක් විමසීමට'

ඡායාරූප මූලාශ්‍රය, Rajesh Venugopal

ඡායාරූප ශීර්ෂ වැකිය, මඩකලපුවට ගියේ 'මිතුරන් හමුවී සුවදුක් විමසීමට'

තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ හමුදාව පිළිබඳව තොරතුරු සෙවූ බවට පොලිසිය කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව LSE ලන්ඩන් ආර්ථික ශාස්ත්‍රාලයේ සහාය මහාචාර්ය රාජේශ් වෙනුගෝපාල් බීබීසී සංදේශයට පැවසීය.

පොලිසිය තමන්ගෙන් ප්‍රශ්න කළ බව සනාථ කරන ආචාර්ය රාජේශ් වෙනුගෝපාල්, තමා කිසිදු වරදක් කොට නොමැති බව එහිදී වටහාගත් පොලිසිය කිසිදු සීමාවක් පැනවීමෙන් තොරව තමා නිදහස් කළ බවත් පවසයි.

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ලන්ඩන් ආර්ථික ශාස්ත්‍රාලයේ සහාය මහාචාර්යවරයා පසුගිය අගෝස්තු මාසයේ අගභාගයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේ යුද්ධයෙන් පසු සංවර්ධනය පිළිබඳ කොළඹ පැවැත්වුණු <link type="page"><caption> ජාත්‍යන්තර සමුලුවකට</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/08/140831_colombo_post-war_conference.shtml" platform="highweb"/></link> සහභාගි වීම පිණිසයි.

එහිදී ඔහු ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කරමින් ආරක්ෂක හමුදා පිළිබඳව තොරතුරු රැස් කිරීමට උත්සාහ කොට තිබෙන බව <link type="page"><caption> නීතිඥ අජිත් රෝහණ</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/08/140831_election_violence_police_susil.shtml" platform="highweb"/></link> පසුගිය අගෝස්තු 31 වැනි දින සංදේශය කළ විමසීමකදී පැවසීය.

'මිතුරන් හමුවීමට'

ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයා විසින් ඔහු රඳවා ගෙන ප්‍රශ්න කරන ලද බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය.

එහෙත් ආචාර්ය වෙනුගෝපාල් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

පසුගිය වසර දොළහ ඇතුලත ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් සංචාරය කොට පර්යේෂණ පැවැත්වූ බව පවසන ඔහු, එසේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන සෑම අවස්ථාවකදීම ඊට කලින් තමන්ට හමු වූ මිතුරන්ගේ සුවදුක් විමසීම සිය පුරුද්දක් බවට පත් වී ඇති බවත් සඳහන් කරයි.

මෙවරද එසේ මිතුරන් හමුවීම පිණිස මඩකලපුවේ සංචාරයක යෙදුනු අවස්ථාවේ පොලිසිය තමන්ගෙන් ප්‍රශ්න කළ නමුත් තමා කිසිදු වරදක් කොට නැති බව එහිදී පොලිසිය වටහාගත් බවයි, ඔහු පවසන්නේ.

එහිදී තමා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ කථා කළ බවත්, තමන් ශ්‍රී ලංකාවට පැමිණි වැඩසටහනට සහභාගි වීමට කිසිදු බාධාවක් නැති බව ඔවුන් එහිදී දැනුම් දුන් බවත් ආචාර්ය රාජේශ් වෙනුගෝපාල් වැඩිදුරටත් සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල ආචාර්යවරයා අත්අඩංගුවට ගත බවට පළ වූ වාර්තා නීතිඥ අජිත් රෝහණ ප්‍රතික්ෂේප කළ අතර, තමන් කිසිදු අවස්ථාවක අත්අඩංගුවට නොගත් බවයි ආචාර්ය රාජේශ් වෙනුගෝපාල්ද සංදේශයට කියා සිටියේ.