තල්මසුන් දඩයමට ජපන් අගමැතිගේ සහාය

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජපානයේ වාර්ෂිකව කෙරෙන තල්මසුන් දඩයම නැවත ආරම්භ කිරීමට දරන උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යන බව ජපාන අගමැති ශින්සෝ අබේ පවසයි.
එක්දහස් නවසිය අසූ හය වසරේ තල්මසුන් දඩයමට එරෙහිව අන්තර්ජාතික තහනමක් පැනවූ නමුත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණක් තල්මසුන් මැරීමට අවසර දී තිබුණි.
එම අවසරය අන්තර්ජාතික නීතියෙන් ගැලවීමේ උපාය මාර්ගයක් ලෙසට යොදා ගනිමින් ජපානය නොනවත්වා තල්මසුන් දඩයමේ යෙදී සිටියි.
ජපානය තුළ සිදු කරන තල්මසුන් දඩයම විද්‍යාත්මක පර්යේෂණ සඳහා නොවන බව හා එය සැඟවී කරන නීති විරෝධී තල්මසුන් වෙළදාමක් බව අන්තර්ජාතික අධිකරණය පැවසීමත් සමග මේ වසරේ දී තල්මසුන් දඩයම නැවැත්වීමට ජපානයට සිදු විය.
ජපාන අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ තල්මසුන් දඩයම පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීමට ඔහු උත්සහ කරන බවයි.
තල්මසුන් දඩයම ජපාන සංස්කෘතියේ අංගයක් බව ජපාන අගමැති ශින්සෝ අබේ වැඩි දුරටත් කියා සිටියි.




