ඇෆ්ඝනිස්තානයේ සියයට පනස් අටක් ජන්දය දෙති

සමහර ජන්ද පොළවල මැතිවරණ ලිපි ලේඛන අවසන් වීම නිසා ඒවා යලි සැපයීමට පවා සිදු විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සමහර ජන්ද පොළවල මැතිවරණ ලිපි ලේඛන අවසන් වීම නිසා ඒවා යලි සැපයීමට පවා සිදු විය.

ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරණයේ දී ජන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ජන්ද දායකයන්ගෙන් සියයට පනස් අටක් ජන්දය දී ඇතැයි බලධාරීන් විසින් ගණන් බලා තිබේ.

නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා ඇෆ්ඝන් ජනතාව ඉතා උනන්දුවෙන් ජන්ද ප්‍රකාශ කිරීම සඳහා සහභාගී වෙමින් සිටි බවටයි වාර්තා වුනේ.

ඉහල ප්‍රතිශතයක්

එය මීට පෙර පැවති මැතිවරණවලදී දක්නට ලැබුණු සංඛ්‍යාවන්ට වඩා ඉතා ඉහල ප්‍රතිශතයක්.

සමහර ජන්ද පොළවල මැතිවරණ ලිපි ලේඛන අවසන් වීම නිසා ඒවා යලි සැපයීමට පවා සිදුව ඇති බවට වාර්තා විය.

නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා ඇෆ්ඝන් ජනතාව විශාල ප්‍රමාණයෙන් තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සහභාගී වෙමින් සිටියහ.

කාබුල් අගනුවර සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ රජය විසින් යොදා ඇති දැඩි ආරක්ෂක විධි විධාන හා පවතින තද වර්ෂාවද නොතකා ජනතාව වීදි පුරා රැස් වී විනෝදවීම සැණකෙළි සිරියක් ගත් බවයි.

උතුරු ඇෆ්ගනිස්තානයේ සිටින තවත් වාර්තාකරුවෙක් පවසන ආකාරයට අසාමාන්‍ය ලෙස තරුණ සහ මහළු දෙපිරිසටම අයත්, බුර්කාවලින් හිස වසාගත් කාන්තාවන් විශාල වශයෙන් ඡන්දය දැමීමට පැමිණෙමින් සිටිති.

තාලිබාන් කැරලිකරුවන් විසින් ඡන්දයට බාධා කරනු ලැබීම වැළැක්වීම සඳහා ආරක්ෂාව තර කර ඇති අතර ඇතැම් ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීමට සිදුව ඇති බවද වාර්තාවෙයි.

බිය වැද්දීම්, හා බෝම්බ තර්ජන මෙන්ම ඊයේ සිට ඇද හැලෙන අධික වර්ෂාවද නොතකා ඔවුන් ජන්ද පොළවල් කරා පැමිණි ආකාරය තමන්ට දැක ගන්නට ලැබුන බව නිදහස් මැතිවරණයක් සදහා වූ ආසියානු නිරීක්ෂණ ජාලයේ, ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂිකා චාන්දනී වටවල සංදේශයට පැවසුවාය.

ජනතා අපේක්ෂාව

කාන්තා සහභාගිත්වය දෙදහ වසරේ මෙන් මෙවරත් කැපී පෙනුන සිද්ධියක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තා සහභාගිත්වය දෙදහ වසරේ මෙන් මෙවරත් කැපී පෙනුන සිද්ධියක්

ඇෆ්ඝනිස්තානයේ පැවති වාතාවරණය හා බලන කළ ජන්ද ප්‍රකාශ කිරීමට පැමිණි සංඛ්‍යාව ඉහල මට්ටමක් ලෙස සැලකිය හැකි බවයි ඇය පැවසුවේ.

විශේෂයෙන්ම කිසියම් කණ්ඩායම් විසින් මැතිවරණය කඩා කප්පල් කරන ලෙස ඉල්ලා සිටියත් ජනතාව මහත් උනන්දුවෙන් ජන්දය දීමට උත්සුකවීමෙන් පැහැදිලිවන්නේ ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයකු පත් කරගැනීමේ අපේක්ෂාව බවයි ඇය තවදුරටත් ප්‍රකාශ කළේ.

2010 වසරේදීත් තම මැතිවරණ නිරීක්ෂණ කටයුතු වල නියැළුන බව පැවසූ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂිකා චාන්දනී වටවල සඳහන් කළේ කාන්තා සහභාගිත්වය දෙදහ වසරේ මෙන් මෙවර ජනාධිපතිවරනයේදීත් කැපී පෙනුන බවයි.