කාශ්මීර සිසුන්ට එරෙහිව 'සාක්ෂි නැහැ'

පසුගිය සති අන්තයේ පැවති මෙම තරඟයෙන් ඉන්දියාව පරාජය විය
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සති අන්තයේ පැවති මෙම තරඟයෙන් ඉන්දියාව පරාජය විය

ක්‍රිකට් ක්‍රීඩා තරඟයක දී පකිස්තානු පිල වෙනුවෙන් ඔල්වරසන් පෑ ඉන්දීය කාශ්මීරයේ සිසුන් පිරිසකට එරෙහිව රාජද්‍රෝහි චෝදනා මත පැවරූ නඩුව උතුරු ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් විසින් <link type="page"><caption> ඉවත් කර ගනු ලැබ</caption><url href="http://www.bbc.co.uk/news/world-asia-india-26463140" platform="highweb"/></link> තිබේ.

කෙසේ වුවත් එම ශිෂ්‍යයන් පිරිස වාර්ගික සමගියට බාධා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බවයි, බලධාරීන් පවසන්නේ.

බංග්ලාදේශයේ දැන් පැවැත්වෙන ආසියානු කුසලාන තරඟයේදී ඉන්දියාව පාකිස්තානයට පරාජය වීමෙන් අනතුරුව උත්තර් ප්‍රදේශ් හි විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන හැටකට අධික ශිෂ්‍යයන් පිරිසකගේ පන්ති තහනම් කෙරිණ.

තමන් පාකිස්තානයට ඔල්වරසන් පෑවා නොව පාකිස්තානය තරඟය ජය ගත් අවස්ථාවේ අත්පොලසන් නැගුවා පමණක් බවයි, ශිෂ්‍යයන් පිරිස පවසන්නේ.

ශිෂ්‍යයන්ට එරෙහි රාජද්‍රෝහී චෝදණා සනාථ කිරීමට තරම් සාක්ෂි හමු නොවූ බවයි, පැමිණිල්ල පරීක්ෂා කළ මීරුට් නගරයේ දිස්ත්‍රික් මහේස්ත්‍රාත් පන්කජ් යාදව් බීබීසී හින්දි සේවයට කියා සිටියේ.

චෝදනා සනාථ වූයේ නම් ශිෂ්‍යයන්ට වසර තුනක් දක්වා වූ සිර දඬුවම් පැනවිය හැකිව තිබිණ.

මෙය 'පිළිගත නොහැකි මට්ටමේ රළු පියවරක්' බව ඊට කලින් කියා සිටි ජම්මු කාශ්මීරයේ මහ ඇමති ඕමාර් අබ්දුල්ලා, සිසු පිරිසට එරෙහි චෝදනා ඉවත් කර ගන්නා ලෙස උත්තර් ප්‍රදේශ් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.