යුක්‍රේනය ගැන ඇමරිකාව රුසියාවට චෝදනා කරයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන්

රුසියාව යුක්‍රේනය සම්බන්ධයෙන් ආක්‍රමණශීලී පිළිවෙතක් අනුගමනය කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී යුක්‍රේනයේ අගනුවර වන කිව් හිදී කියා සිටියේය.

යුක්‍රේනයේ ආණ්ඩුව අර්බුදයට මුහුණ දෙන අකාරය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ගේ ප්‍රශංසාවට ලක් විය.

යුක්‍රේනයේ රුසියානු භාෂාව කථා කරන ජනතාව රැක ගැනීම සඳහා තමන් යුක්රේන අර්බුදයට මැදිහත් වූ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් කළ ප්‍රකාශය පිළිබඳව අදහස් පල කළ ජෝන් කෙරී කියා සිටියේ මෙය ආක්‍රමණකාරී ක්‍රියා පිළිවෙතක නිරත වීම සඳහා හේතුවක් කර ගෙන ඇති බවයි.

ව්‍යාජ හේතු සහ බලහත්කාරය භාවිතා කරමින් සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු පරිපාලනයට චෝදනා කළේය.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන්

යුක්‍රේනයේ සිදුකළ මැදිහත්වීම මානුෂික හේතු මත සිදු කළ එකක් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් කියා සිටියේය.

නීත්‍යනුකූල ආකාරයට පත් වූ ජනාධිපති වික්තර් යනුකොවිච් යුක්‍රේනයේ රුසියානු භාෂාව කථා කරන ජනතාව රැක ගැනීම සඳහා කළ ඉල්ලීමකට ප්‍රතිචාර පළ කරමින් තමන් මැදිහත් වූ බවයි මාධ්‍යවේදීන් අමතමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් ප්‍රකාශ කළේ.

වික්තර් යනුකොවිච් බලයෙන් පහ කිරීමෙන් අනතුරුව යුක්‍රේනයේ අන්තර් වාර පාලනයක් ඇතිවී තිබේ.

රුසියානු භාෂාව කථා කරන වැඩි පිරිසක් වෙසෙන ක්‍රිමියාව ආයුධ සන්නද්ධ පිරිස් පිරිස් විසින් පාලනය කෙරෙන බවට පළ වෙන වාර්තා රුසියානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය.

මේ පිරිස් සහ රුසියානු පරිපාලන අතර සම්බන්ධයක් නැති අතර ඔවුන් පළාත ආරක්ෂා කිරීමට කටයුතු කරන ප්‍රාදේශීය කණ්ඩායම් වන බවත් ව්ලැද්මීර් පුතීන් කියා සිටියේ ය.

තමන් මේ ආරක්ෂකයින් පුහුණු නොකළ බවත් රුසියානු ජනාධිපතිවරයා පැවසීය.ක්‍රිමියාව අත්පත් කර ගැනීමට හෝ යුක්‍රේනයේ යුද්ධයක් ඇති කිරීමට තමන් තුළ අදහසක් නැතැයි රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.