‘ෆේස්බුක් හොඳයි,නරකයි’ - කෙහෙළිය

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

‘ෆේස්බුක්’ වැනි සමාජ මාධ්‍යයන් නිසා ඇතිවී තිබෙන සමාජීය ගැට‍ළු පිළිබඳ ව රජයේ අවධානය යොමු වී ඇති බව ජන මාධ්‍යය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඇමතිවරයා එම අදහස් පළ කළේ කොළඹ දී අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී.

හොඳ නොහොඳ දෙකම ඇතුළත් නවීන මාධ්‍යය අතර ෆේස්බුක් වැනි අංග ලෝකයටම ප්‍රශ්නයක් වී ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.

එහෙත් එය පාලනය කිරීමට රජයට අදහසක් නොමැති බවත් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසයි.

උපදේශකයන් විසින් විවිධ මත ඉදිරිපත් කර ඇතත් ‘ෆේස්බුක්’විසඳා ගත නො හැකි ප්‍රශ්නයක් වී ඇති බවයි ඇමතිවරයාගේ අදහස් වුණේ.

විවිධ අදහස්

කෙහෙළිය රඹුක්වැල්ල

ඡායාරූප මූලාශ්‍රය, AFP Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙහෙළිය රඹුක්වැල්ල

“මේ ගැන විවිධ අදහස් තියෙනවා. යම් කිසි කෙනෙකුට අගතියක් වෙන දෙයකට අවහිර කරන්න ගියොත් රටේ ලෝකයේ පොදු දැනුම සන්නිවේදනයට අවහිර වීමක් වෙනවා. ඒක සත්‍යයක්.” ජනමාධ්‍යය ඇමතිවරයා පවසයි.

ෆේස්බුක් නියාමනය කිරීමේ අදහස් රජයට තිබේදැයි මාධ්‍යවේදියකු විමසූ විට ඇමතිවරයා කියා සිටියේ,"නියාමනය කළ හොත් එය මාධ්‍යය නිදහසට සම්බන්ධ ප්‍රශ්නයක් බවට පත් කර ගත හැකි අතර එය ලොකු ප්‍රශ්නයක්" බවට පත් කෙරෙන බවයි.

ෆේස් බුක් වැනි සමාජ මාධ්‍යයන් පාලනය කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා, එහෙත් ඉන් පැන නගින සමාජීය ගැට‍ළු වළක්වා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් පෙන්වා දෙයි.