උගන්ඩාවේ කොට සාය සහ සමලිංගික සේවනය තහනම්

ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන රැකවරණ පැතූ උගන්ඩාවේ සමලිංගික ක්‍රියාකාරිකයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන රැකවරණ පැතූ උගන්ඩාවේ සමලිංගික ක්‍රියාකාරිකයෙක්

සමලිංගික සේවනයේ යෙදීම වෙනුවෙන් පැනවිය හැකි උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කෙරෙන, මතභේදයට තුඩු දුන් සමලිංගික සේවනයට එරෙහි පනතකට උගන්ඩා පාර්ලිමේන්තුවේ අනුමැතිය පළවිය.

ඉතාමත්ම දරුණු පනතක් ලෙසින් විවේචකයන් විග්‍රහ කරන අදාළ නීතියට අනුව, සමලිංගික යුවලක් සම්බන්ධ තොරතුරු දැන සිටියේ නම් එය වාර්තා නොකිරීමද දඬුවම් ලැබිය හැකි වරදක්.

කාන්තාවන්ට කොට සාය සහ උඩුකය නිරාවරණය කෙරෙන ඇඳුම්වලින් සැරසීම තහනම් කෙරෙන පනතකටද උගන්ඩා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

"සමහර තැන්වලදී මිනිස්සු අහනවා, 'කීයක් දෙන්නද?' කියල"
ඡායාරූප ශීර්ෂ වැකිය, "සමහර තැන්වලදී මිනිස්සු අහනවා, 'කීයක් දෙන්නද?' කියල"

එම නීතියට අනුව දණහිස නොවැසෙන සේ සාය ඇඳීම කාන්තාවන්ට තහනම්.

අගනුවර පවතින තත්වය පිළිබඳව බීබීසීයට අදහස් දැක්වූ කම්පාලා අගනුවර වෙසෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් කියා සිටියේ, කොට ගවුමකින් හෝ සායකින් සැරසුන විට බොහෝ දෙනා තමන්ට අපහාස කරන බවයි.

"සමහර තැන්වලදී මිනිස්සු අහනවා, 'කීයක් දෙන්නද?' කියල. එහෙම අහන්නේ ගණිකාවන්ගෙන්. යාලුවෝ එක්ක හැන්දෑවේ විනෝද වෙන්න යන කොට අපිට කලිසම් ඇඳ ගෙන යන්න බැහැනේ?," ඇය පවසන්නීය.

2009 දී සමලිංගික සේවනයට එරෙහි පනත මුලින්ම හඳුන්වා දුන් අවස්ථාවේ ලෝක නායකයෝ එය දැඩිව හෙලා දුටුවහ.