ඇෆ්ඝන් සාම ප්‍රයත්නයට පකිස්තානයේ සහයෝගය

තාලිබාන් ව්‍යාපාරය සාමය දෙසට යොමුකර ගැනීම සඳහා ඇෆ්ඝනිස්තානය විසින් ගනු ලැබෙමින් ඇති උත්සාහයට උදව් කරන බවට පාකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් ප්‍රතිඥාවක් දෙයි.
අගමැතිවරයා කියා සිටින්නේ මෙය ඇෆ්ඝනිස්තානයේ සාමය වෙනුවෙන් ඉදිරි පියවරක් ගනු ලැබීමේ හොඳම මොහොත වන බවයි.
අගමැති ෂරීෆ් මුලින් කී ප්‍රතිඥාව දී තිබෙන්නේ,ඇෆ්ඝනිස්තානයේ සිදු කළ සංචාරයක දී.
පාකිස්තාන් අගමැතිවරයා,පසුගිය මැයි මාසයේ බලයට පත්වීමෙන් අනතුරුව,ඇෆ්ඝනිස්තානයේ සිදු කරන පළමු නිල සංචාරය මෙයයි.
තාලිබාන් ව්‍යාපාරයේ හිටපු අණදෙන නිලධාරියකු වන මුල්ලා බරොඩාර් සහ ඇෆ්ඝන් නිලධාරීන් අතර තවත් සාකච්ඡා සංවිධානය කෙරෙන ගිවිසුමකට පැමිණි බවයි අගමැති නවාෂ් ෂරීෆ් පවසන්නේ.
මුල්ලා බරොඩාර්

පාකිස්තාන් අත්අඩංගුවේ සිටි මුල්ලා බරොඩාර් පසුගිය සැප්තැම්බර් මාසයේ දී මුදා හරිනු ලැබ සිටියි.
තාලිබාන් සන්නද්ධ සංවිධානය සාකච්ඡා මේසයට ගෙන ඒමේ ප්‍රධාන සාධකය වන්නේ මුල්ලා බරොඩාර්ය යන්න ඇෆ්ඝන් නිලධාරීන්ගේ විශ්වාසයයි.
පාකිස්තාන් අගමැතිවරයාගේ කාබුල් සංචාරය සිදු කෙරෙන්නේ,ඇෆ්ඝනිස්තානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර,සම්බන්ධතා තීරණාත්මක තත්වයකට පත් වී පවතින මොහොතකයි.
2014 න් පසුවත් ඇමෙරිකානු හමුදාවන්ට ඇෆ්ඝන් භූමියේ රැඳී සිටීමට මග සැලසෙන ආරක්‍ෂක ගිවිසුමක් මුල් කර ගෙනයි එම තත්වය උද්ගතව පවතින්නේ.








