මැන්ඩෙලා සමස්ථ ලෝකයටම ශක්තියක්-බරක් ඔබාමා

දකුණු අප්‍රිකානු විමුක්ති අරගලයේ නායක නෙල්සන් මැන්ඩෙලාගේ චිත්ත ධෛර්යය සමස්ථ ලෝකයම දිරිගන්වන්නකැයි ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසයි.
දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා හැටියට ඉතිහාසයට එක්ව සිටින, එසේම එරට කලින් පැවැති වර්ණභේදවාදී පාලනයට එරෙහි අරගලයේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් මහජන හදවත්වලින් උතුරා යන ආදරය මගින් පෙන්නුම් කෙරෙන්නේ, මානවීය ආධ්‍යාත්මයේ ඉතාම ගැඹුරු පරමාර්ථයක් වෙනුවෙන් ඔහු පෙනී සිටීම යයි ජනාධිපති බරක් ඔබාමා කියා සිටියි.
නෙල්සන් මැන්ඩෙලාගේ අභිලාෂය ජාතිය,පන්තිය,ආගම හෝ රට යන කරුණු අතික්‍රමණය කෙරුණ, යුක්තිය,සාධාරණත්වය සහ අභිමානය පරමාර්ථ කොටගත් කාර්යභාරයක්ය යන්න ජනාධිපති ඔබාමාගේ විග්‍රහයයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ සිය දකුණු අප්‍රිකානු සංචාරයේදී, ජනාධිපති ජේකබ් ෂූමා සමඟ ප්‍රිටෝරියාහිදී පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව අදහස් දක්වමින්.
දෙරට අතර වාණිජ සම්බන්ධතා තර කිරීමේ උත්සාහයද ඇතුළත් ජනාධිපති බරක් ඔබාමාගේ මෙම දකුණු අප්‍රිකානු සංචාරය, නෙල්සන් මැන්ඩෙලාගේ සෞඛ්‍යය තත්වය බරපතළ මට්ටමින් පිරිහීම නිසා වැඩි ආටෝපයක් නොමැති ස්වභාවයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මැන්ඩෙලාගේ තත්වය ඉතාම බරපතළ නමුත් ඔහුගේ ජීවිතය සුරක්ෂිත මට්ටමක පවතින බවයි, දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් ෂූමා ප්‍රකාශ කළේ .
ජනාධිපති ඔබාමා මැන්ඩෙලා පවුලේ සාමාජිකයන් මුණගැසෙන නමුත් ඔහු මැන්ඩෙලා බැලීමට රෝහලට නොයන බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.




