පකිස්තානය ඇමෙරිකානු ප්‍රහාර නතර කිරීමේ උත්සාහයක

drone
ඡායාරූප ශීර්ෂ වැකිය, නියමුවන් නොමැති යානාවලින් එල්ල කෙරන ප්‍රහාරවලට පකිස්තානයේ නිරන්තර විරෝධය පළවේ

ඇමෙරිකා එක්සත් ජනපදය, නියමුවන් නොමැති යානා යොදා ගෙන පාකිස්තාන් භූමියේ සන්නද්ධ කණ්ඩායම්වලට පහර දීම අනපේක්ෂිත ප්‍රතිවිපාක අත්කරන ක්‍රියාවකැයි ඉස්ලාමාබාද් භාරකාර ආණ්ඩුව ප්‍රකාශ කරයි.

පාකිස්තාන් භාරකාර පාලනය එවැනි ප්‍රකාශයක් කළේ, ඇමෙරිකානු පිළිවෙත තේමා කර ගනිමින් ජනාධිපති බරක් ඔබාමා පැවැත්වූ මුල්පෙළේ දෙසුමකට ප්‍රතිචාරය පළ කරමින්.

එම දේශනයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා තිබුනේ,නියමුවන් නොමැති ප්‍රහාරක යානා යොදාගැනීම පාලනයකට යටත් කිරීමට තමා පියවර ගනිමින් ඇති බවයි.

පසුගියදා පැවැත්වුන මහමැතිවරණයෙන් ජයගෙන නව ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කරමින් සිටින නවාෂ් ෂරීෆ් නායකත්වය දෙන පාකිස්තාන් මුස්ලිම් සංගමයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙක් අදහස් දක්වමින්, රටේ අනුමැතියෙන් තොරව නියමුවන් නොමැති යානාවලින් තම භූමියෙහි එල්ල කෙරෙමින් ඇති ප්‍රහාර, මීළඟ ආණ්ඩුව විදේශ ප්‍රතිපත්ති අංශයෙහි මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ එම පාකිස්තාන් නිලධාරියා,නියමුවන් නොමැති යානා යොදා ගනිමින් තම භූමියෙහි දිගටම ප්‍රහාර එල්ල කරනු ලැබීම කනගාටුවට කරුණක් වන බවයි සඳහන් කළේ .