තෙල් වලට අහේතුක බිය ළමා මන්ද පෝෂණයට හේතුවක් - හරේන්ද්‍ර සිල්වා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රි ලංකාවේ වයස අවරුදු පහට අඩු සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක අයෙක් මන්ද පෝෂණයෙන් පෙලෙන බව කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා කියා සිටියි.
රටේ අදායම වසරින් වසර ඉහළ ගොස් ඇතත් මධ්‍යම, ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල ළමා පෝෂණය සම්බන්ධ ගැටළු පවතින බව ඔහු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
ළමා ලෙඩ රෝග පාලනය සම්බන්ධයෙන් ඉතා හොද වාර්තාවක් සහිත ඉතා ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවයක් ශ්‍රී ලංකාවේ පැවතියත් ළමා පෝෂණය සම්බන්ධයෙන් සතුටු වීමට නොහැකි තත්වයක් පවතින බවයි ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙක් වන මහාචාර්ය සිල්වා කියා සිටින්නේ.
ළමුන්ට ආහාර දීමේදී බලපාන විශ්වාස ළමා මන්ද පෝෂණයට බලපාන කරුණක් වී ඇතැයිද මහාචාර්ය වරයා පෙන්වා දේ.
මේදය සහිත ආහාර පරිබෝජනය සඳහා ජනතාව දක්වන බිය මීට හොඳ උදාහරනයක් යැයි ළමා ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිවරයා ද වන මහාචාර්ය සිල්වා සඳහන් කළේය.
'එක තෙල් හැන්දක බත් තේ හැඳි හත අටක ශක්ති සාන්ද්‍රණය' ඇති බව පවසන මහාචාර්ය වරයා, මේද සහිත ආහාර ළමුන්ට අඩුවෙන් දීමට මව්පියන් පෙළඹී තිබීමෙන් ඔවුන්ට වැදගත් ශක්ති සාන්ද්‍රණයක් අහිමි වී ඇති බවයි කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ වතු ජනතාව අතර ළමා මන්ද පෝෂණය ඉහළ මට්ටමක පවතින බවද මහාචාර්ය සිල්වා පවසයි.
වතුකරයේ ළමුන්ගෙන් සියයට තිස් දෙකක් අතර මිටි භාවයක් තිබීමත්, බර අඩු දරුවන්ගේ සංඛ්‍යාව සියයට විසි පහකට වඩා වැඩිවීමත්, මේ බව සනාථ කරන සාධක යැයි ඔහු පෙන්වා දුන්නේය.
වතු ජනතාව අතර පවතින නුගත්කම ඔවුන් අතර ළමා මන්දපෝෂණය පැතිර යාමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි පවසන මහාචාර්ය සිල්වා, "මේ නිසා තියෙන සම්පත් හරි ආකාරව පෝෂණය සඳහා යොදවා ගැනීම ට හැකි වී නැතැයි"ද කියා සිටියේය.








