නවසීලන්තය: බීමත්ව රිය අනතුරකට ලක්වූ අධිකරණ ඇමතිනිය ඉල්ලා අස්වෙයි

NZ justice minister Kiri Allan

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නවසීලන්ත අධිකරණ අමාත්‍ය කිරී ඇලන් බීමතින් රිය පැදවීම සහ මෝටර් රථය අනතුරට පත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ධූරයෙන් ඉල්ලා අස්විය
    • Author, ඩෙරෙක් කායි
    • Role, බීබීසී පුවත්, සිංගප්පූරුව

නවසීලන්ත අධිකරණ අමාත්‍යවරිය රිය අනතුරකින් පසු මත්පැන් පරීක්ෂාවකින් අසමත් වීම නිසා වහා ම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අනාරක්ෂිත රිය ධාවනය කළ බවට සහ අත්අඩංගුවට ගැනීමේදී බාධා කළ බවට 39 හැවිරිදි කිරී ඇලන්ට චෝදනා එල්ල වී ඇත.

ඔක්තෝම්බර් මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස්ගේ කැබිනට් මණ්ඩලයෙන් මාර්තු මාසයේ සිට ඉවත්ව ගිය සිව් වන ඇමති ඇය යි.

ඉරිදා රාත්‍රියේ වෙලිංටන් අගනුවරදී සිදුවූ මෙම රිය අනතුරෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවීය.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව, හිටපු අමාත්‍යවරිය මුදා හැරීමට පෙර පොලිස් ස්ථානයේ පැය 4ක කාලයක් රඳවාගෙන සිට තිබේ. ඇය ඉදිරි දිනයක අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත ය.

අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසන පරිදි, "උග්‍ර මානසික පීඩනයකින් පෙළෙන" කිරී ඇලන් දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තවදුරට ත් රැඳී සිටිනු ඇත.

"විශේෂයෙන් අධිකරණ අමාත්‍යවරියකට සාපරාධී වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම නිසා තවදුරට ත් අමාත්‍ය ධූරයේ රැඳී සිටීම නුසුදුසු බව ඇය තේරුම් ගත්තා," ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ප්‍රාදේශීය සංවර්ධනය, සංරක්ෂණය සහ හදිසි තත්ත්ව කළමනාකරණය පිළිබඳ අමාත්‍යවරිය ද වූ ඇලන්, "පෞද්ගලික දුෂ්කරතා" හේතුවෙන් මෑතකදී නිවාඩු ලබා සිට නැවත සේවයට පැමිණියේ, පසුගිය සඳුදා දිනයේදී ය.

ඇය සිය සහකාරියගෙන් වෙන්වීම පසුගිය මාසයේදී තහවුරු කළ අතර, කාර්ය මණ්ඩලය සමග දුර්වල සේවා සබඳතා පවත්වන බවට ද චෝදනාවලට මුහුණ දී සිටී.

නිවේදනයක් නිකුත් කරමින් සඳුදා ඇලන් සඳහන් කර තිබුණේ, තම රැකියාව සමග පෞද්ගලික අභියෝග හසුරුවා ගත හැකි බව විශ්වාස කරමින් තමා නැවත පාර්ලිමේන්තුවට පැමිණි බව ය.

"මම යහපත් තත්ත්වයක නොසිටින බව ඊයේ සිදුවූ මගේ හැසිරීම්වලින් පේනවා," ඇය එසේ පැවසුවේ, සිය දේශපාලන අනාගතය පිළිබඳව සලකා බලන බවට ද අදහස් දක්වමිනි.

ඇලන් වරෙක කම්කරු පක්ෂයේ ආදරණීය තැනැත්තිය බවට පත්ව සිටියා ය. මේ වසර මුලදී ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න්ගෙන් පසු ඇය අග්‍රාමාත්‍ය ධූරයට පවා පත් කෙරෙනු ඇති බවට ද ඉඟි පළ විය. ඒ, ක්‍රිස් හිප්කින්ස් අග්‍රාමාත්‍ය ධූරයට පෙර ය.

සිය පක්ෂයේ "අවුල්සහගත තත්ත්වයක්" ඇතැයි හිප්කින්ස් පිළිගත් අතර, එම වාතාවරණය තුළ වාර්තා වන නවතම සිද්ධිය වන්නේ, ඇයගේ ඉල්ලා අස්වීම ය.

ප්‍රවාහන හා ආගමන අමාත්‍ය මයිකල් වුඩ් කොටස් හිමිකාරිත්වය සම්බන්ධයෙන් පැවතිය හැකි ළැදියාවන් අතර ගැටුමක් හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජූනි මාසයේදී ඉල්ලා අස්විය. ඉන් මසකට පසු, රේගු කටයුතු අමාත්‍ය මෙකා ෆයිතිරි වෙනත් දේශපාලන පක්ෂයට සම්බන්ධ වීම සඳහා පාලක පක්ෂයෙන් ඉවත් විය.

මාස හතරකට පෙර, එනම් මාර්තු මාසයේදී පොලිසිය භාර ඇමති ස්ටුවර්ට් නෑෂ් ද සේවයෙන් පහ කරනු ලැබුවේ, ඔහු පරිත්‍යාගශීලීන්ට රහසිගත තොරතුරු ලබා දුන් බව හෙළි වීමෙන් පසුව ය.

එළඹෙන මැතිවරණයේදී මධ්‍ය-වාමාංශික කම්කරු පක්ෂය සහ එහි ප්‍රධාන විපක්ෂය වන ජාතික පක්ෂය අතර සමීප තරගයක් අපේක්ෂා කරන බව අප්‍රේල් මාසයේදී මත විමසුමකින් පුරෝකථනය කරන ලදී.