ජපානය ස්ත්‍රී දූෂණය යළි නිර්වචනය කිරීමට සැරසෙන්නේ ඇයි?

Megumi Okano

ඡායාරූප මූලාශ්‍රය, BBC News / Tessa Wong

ඡායාරූප ශීර්ෂ වැකිය, ජපානයේ වෙනසක් සිදුවෙතැ යි මෙගුමි ඔකානෝ අපේක්ෂා කරයි
    • Author, ටෙසා වොන්ග් සහ සකිකෝ ශිරයිෂි
    • Role, බීබීසී පුවත්, ටෝකියෝ සහ සිංගප්පූරුව

අවවාදය යි: මෙම ලිපියේ අනතර්ගත කරුණු මඟින් ඇතැම් පාඨකයින් කම්පනය පත්විය හැකි ය.

මෙගුමි ඔකානෝ දූෂණයට ලක්වී දින කිහිපයකට පසු, එය සිදුකළ තැනැත්තා කිසිදු දඬුවමකට යටත්නොවී ගැලවී යනු ඇතැ යි ඔවුන් ඒ වන විට ත් දැන සිටි බව පවසයි. (මෙගුමි, තමන් හඳුවන්වන පුද්ගල සර්වනාමයක් ලෙස 'ඇය' වෙනුවට 'ඔවුන්' යන්න භාවිත කරයි. අපි ලිපිය සඳහා ද එයම භාවිතා කළෙමු).

මෙගුමි, දූෂණය සිදු කළ පුද්ගලයා සහ ඔහු සිටින ස්ථානය දැන සිටියා ය. නමුත් ඒ සිදුවූ දෙය 'දූෂණයක්' ලෙස ජපන් බලධාරීන් නොසලකන බැවින්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවනු ඇති බව ද මෙගුමි දැන සිටියා ය.

එබැවින් එම සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණිලි නොකිරීමට මෙම විශ්වවිද්‍යාල ශිෂ්‍ය මෙගුමි තීරණය කළා ය.

"මට ඒ විධියට [යුක්තිය] පස්සෙන් පන්නන්න බැරි වුණ නිසා, ඌට නිදහස් වගේ ම පහසු ජීවිතයක් ගත කරන්න ඉඩ හැදුණා. ඒක මට ලොකු වේදනාවක්," මෙගුමි පවසයි.

නමුත් වෙනසක් පැමිණෙනවා විය හැකි ය. ජපාන පාර්ලිමේන්තුව දැන් රටේ ලිංගික හිංසන නීති ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත් පනතක් ගැන විවාද කරමින් සිටියි. නමුත්, එය සියවසක කාලයක් තුළ සිදුවන දෙවන සංශෝධනය යි.

මෙම පනත් කෙටුම්පත වෙනස්කම් ගණනාවක් ආවරණය කරන නමුත් ඒ අතරින් විශාලතම හා වැදගත් ම වෙනස්කම වන්නේ, මන්ත්‍රීවරුන් විසින් දූෂණය "බලහත්කාරයෙන් ලිංගික සංසර්ගයේ යෙදීමේ" සිට "අනෙක් පාර්ශවයේ කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම" දක්වා යළි නිර්වචනය කරනු ලැබීම ය. එය, 'ලිංගික ක්‍රියාකාරකම් සඳහා කැමැත්ත පළ කිරීම' යන සංකල්පය දුර්වල ලෙස වටහාගෙන ඇති සමාජයක, ඒ වෙනුවෙන් නීත්‍යනුකූල ඉඩක් සලසාදීමකි.

වත්මන් ජපන් නීතිය 'දූෂණය' යන්න ලිංගික සංසර්ගයේ යෙදීම හෝ "බලහත්කාරයෙන්" සහ "පහරදීම හෝ බියගැන්වීම මඟින්" සිදු කරන අශෝභන ක්‍රියාවන් ලෙස හෝ, පුද්ගලයෙකු "අවසිහියෙන් සිටින අවස්ථාවක දී හෝ ප්‍රතිරෝධය දැක්වීමේ නොහැකියාවෙන් සිටින අවස්ථාවක දී" ප්‍රයෝජන ගැනීම ලෙස අර්ථ දක්ව යි.

මෙය 'දූෂණය' යන්න ඕනෑ ම ආකාරයක කැමැත්තකින් තොරව සංසර්ගයේ හෝ ලිංගික ක්‍රියාවක නිරතවීම ලෙස වඩා ත් පුළුල් ලෙස නිර්වචනය කරන වෙනත් බොහෝ රටවල ඇති නීතිවලට වඩා වෙනස් ය. එම රටවල දී 'එපා' යන්නෙන් 'එපා' යන්නම අදහස් කරයි.

සමාජ ක්‍රියාකාරීන් තර්ක කරන්නේ, ජපානයේ මෙම පටු නිර්වචනය නීතිඥවරුන්ට සහ විනිසුරුවරුන්ට නීතියේ තව ත් පටු අර්ථකථන දැක්වීමට ත්, යුක්තිය සාක්ෂාත් කර ගැනීමට නොහැකි තරම් ඉහළ බාධකයක් ඇති කිරීමට ත්, වින්දිතයින් ඔවුන්ට සිදු වූ අගතිය පිළිබඳ පැමිණිලි කිරීමෙන් වළක්වන සංශයවාදී සංස්කෘතියක් පෝෂණය කිරීමට ත් හේතු වී ඇති බව ය.

නිදසුනක් වශයෙන්, 2014 වසරේ ටෝකියෝ නුවර වූ සිදුවීමක දී, මිනිසෙකු 15 හැවිරිදි ගැහැණු දරුවෙකු බිත්තියකට තදකර ඇය සමග ලිංගිකව එක් වී තිබුණේ ඇය ඊට දැක්වූ විරෝධය ද නොතකා ය. ඔහුගේ ක්‍රියාවට විරුද්ධවීම ඇයට "අතිශයින් ම අපහසු" නොවන බව අධිකරණය තීන්දු කළ බැවින් ඔහු ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදහස් විය. මෙම දැරියට වැඩිහිටියෙකු ලෙස සලකනු ලැබුවේ, ජපානයේ ලිංගික ක්‍රියාකාරකම් සඳහා කැමැත්ත පළ කිරීමේ වයස අවුරුදු 13ක් පමණක් වන බැවිනි. එය ලොව ධනවත් ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර කැමැත්ත ප්‍රකාශ කිරීමේ පහළ ම වයස් මට්ටම යි.

"සැබෑ අධිකරණ ක්‍රියාවලිය සහ තීරණ වෙනස් වෙනවා. සමහර විත්තිකරුවන් අනෙක් පාර්ශවයේ කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදිලා කියලා ඒ අයගේ ක්‍රියාවලින් ඔප්පු වුණ ත් ඒ අය වැරදිකාරයෝ වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒ අය 'පහර දීම හෝ බිය ගැන්වීම' යන නිර්ණායකවලට හසු නොවීම," ලිංගික හිංසනයෙන් දිවි ගලවාගත් පුද්ගලයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් වන ස්ප්‍රින්ග් සමූහයේ ප්‍රකාශකයෙකු වන යූ තදොකොරො පවසයි.

මෙගුමි ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයේම සිසුවෙකු අතින් ලිංගික අතවරයට ලක්වීමෙන් පසු ඔවුන් පොලිසියට නොගිය බව මෙගුමි පවසන්නේ එබැවිනි.

මෙගුමි පවසන පරිදි, ඔහු ලිංගික වශයෙන් මෙගුමි පොළඹවා ගැනීමට උත්සහකර ඇත්තේ ඔවුන් දෙදෙනා එකට රූපවාහිනිය නරඹමින් සිටියදී ය. එම අවස්ථාවේ ඇය "එපා" යැයි පවසා ඊට විරෝධය පා ඇත.

අනතුරුව ඔහු ලිංගික අතවර සිදුකර තිබේ. මෙගුමි පවසන්නේ, ඔහුගෙන් මිදීමේ උත්සහය අතහැර දැමීමට පෙර ඔවුන් දෙදෙනා යම් කාලයක් "පොරබැදූ" බව ය. සමාජ ක්‍රියාකාරීන්ට අනුව, ප්‍රහාරයක් සම්බන්ධයෙන් මෙතරම් පැහැදිලි සාක්ෂි තිබුණ ද ඇතැම් අවස්ථාවලදී එය වත්මන් නීතියට යටත් නොවේ.

A young woman is seen on the street using an umbrella to protect herself from the midday sun on June 27, 2022, in Tokyo's popular Shibuya district in Tokyo, Japan.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජපානයේ වත්මන් නීතිය දිගු කලක් තිස්සේ කාන්තාවන් අඩන්තේට්ටම පිළිබඳව පැමිණිලි කිරීමෙන් වළක්වන බව සමාජ ක්‍රියාකාරීහු පවසති

ඉන් පසුව උදා වූ දින කිහිපය තුළ, නීති සිසු මෙගුමි ජපාන දණ්ඩ නීති සංග්‍රහය සහ පෙර විභාගවූ නඩු ඔස්සේ විමර්ශනය කර, තමාට සිදු වූ දෙය "පහරදීම සහ බිය ගැන්වීම" යන වරදවල් යටතට ගත නොහැකි බව වටහා ගත්තා ය.

වින්දිතයාට දොස් පැවරීම සහ පොලිස් නිලධාරීන් හෝ රෝහල් කාර්යය මණ්ඩල සංවේදී නොවන අවස්ථාවලදී වින්දිතයින් නැවත කම්පනයට පත්වීම තුළින්, "දෙවන වරට ත් දූෂණයට ලක් වීම" අත්විඳින වින්දිතයින් පිළිබඳව මෙගුමි ජපාන විමර්ශනවලදී අසා තිබුණා ය.

"යුක්තිය ලැබේවි කියලා මට එතරම් බලාපොරොත්තුවක් නොතිබුණු නිසා ඒ ක්‍රියාවලිය [විමර්ශනයක්] ඔස්සේ යාමට මට අවශ්‍ය වුණේ නෑ. මට මගේ පැමිණිල්ල භාර ගනීවි කියලවත් විශ්වාසයක් තිබුණේ නෑ," මෙගුමි පවසයි.

ඒ වෙනුවට, ඔවුන් විශ්වවිද්‍යාලයයේ හිංසනය පිළිබඳ උපදේශන මධ්‍යස්ථානය වෙත ගිය බව ත්, විමර්ශනයක් ආරම්භ කළ ඔවුහු අතවර කළ පුද්ගලයා දූෂණයක් සිදුකර ඇති බවට තීන්දු කළ බව ත් මෙගුමි පවසයි.

බීබීසීය එම මධ්‍යස්ථානය සම්බන්ධ කර ගත් විට, රහස්‍යභාවය පිළිබඳව සඳහන් කරමින් ඔවුහු එම සිදුවීම පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ.

විමර්ශන කටයුතු අවසන් වන විට ප්‍රහාරකයා උපාධිය ලබා තිබිණි. එබැවින් අනතුරු ඇඟවීමක් ලැබීම හැර ඔහු අත්විඳ තිබුණේ සුළු ප්‍රතිවිපාක බව මෙගුමි පවසයි. "අපරාධ ක්‍රියා පටිපාටිය හරහා මේ පුද්ගලයා තමන් කරපු දේ ගැන පසුතැවීමට ලක් නොවුණු එක ගැන මට මහ කලකිරීමක් දැනුනා."

වෙනසක් වෙනුවෙන් හඬ නැගීම

මෙගුමි තනිවී නොමැත. ජපානයේ ස්ත්‍රී දූෂණ ලෙස හඳුනාගෙන ඇති සිදුවීම්වලින් තුනෙන් එකකට පමණක් නඩු පැවරීම සිදුවන අතර, එය සාමාන්‍ය අපරාධ සඳහා නඩු පැවරීමේ අනුපාතයට වඩා තරමක් අඩු ය.

එහෙත් වෙනසක් වෙනුවෙන් වැඩෙන මහජන හඬක් පැවතිණි.

2019 වසරේදී, මාසයක කාලයක් ඇතුළත චූදිතයින් නිදොස්කොට නිදහස් කරන ලද ලිංගික අතවර සිද්ධි හතරක් අඛණ්ඩව සිදුවීමත් සමග ජපන් මහ ජනතාව කෝපයට පත්වූහ.

ෆුකුඕකාහි එක් අවස්ථාවක දී, පිරිමි පුද්ගලයෙකු බීමතින් සිහිසුන්ව සිටි කාන්තාවක සමග ලිංගිකව හැසිරී තිබිණි. එය වෙනත් රටක ලිංගික අතවරයක් ලෙස සැලකිය හැකි ය. මෙම කාන්තාව අවන්හලක දෛනිකව පැවැත්වෙන මධ්‍යසාර පානය කරන සාදයකට ප්‍රථම වරට සම්බන්ධ වී ඇතැ යි අධිකරණයේදී කරුණු සඳහන් වී ඇත.

වාර්තාවලට අනුව, ලිංගික කටයුතුවල නිරතවීම සඳහා අවසරය ඇති බවට ප්‍රසිද්ධ මෙම සාදයේ දී "පිරිමින්ට පහසුවෙන් ලිංගික කටයුතුවල යෙදිය හැකියැ"යි තමා සිතූ බව එම පුද්ගලයා පවසා ඇති අතර, සිද්ධිය දුටු අනෙක් අය ඔහුව ඉන් වළක්වා නොමැත. සංසර්ගය අතරතුර එක් අවස්ථාවකදී ඇය ඇස් විවර කර "යම් යම් ශබ්ද නැගූ බැවින්" එම කාන්තාව ඒ සඳහා කැමැත්ත පළ කළ බවට බව ඔහු උපකල්පනය කළේ ය.

පියෙකු වසර ගණනාවක් තිස්සේ තම යොවුන් දියණිය සමග දිගින් දිගට ම ලිංගිකව හැසිරී තිබුණු නගෝයාහි තව ත් සිදුවීමක දී, ඔහු තම දියණිය "පූර්ණ වශයෙන් තම ආධිපත්‍යයට" යටත් කර ගත්තේ ද යන්න පිළිබඳව අධිකරණය සැක පහළ කළේ, ඉගෙනීමට පාසලක් තෝරා ගැනීමේ දී ඇය ඇගේ දෙමාපියන්ගේ කැමැත්තට එරෙහිව ගොස් තිබූ නිසාවෙනි. ඒ ද, ඇයට සාමාන්‍යයෙන් තම පියාට විරුද්ධවීමට මානසික නොහැකියාවක් තිබියේයැ යි මනෝවෛද්‍යවරයෙකු සාක්ෂි ලබා දී තිබුණු පසුබිමක ය.

මහජන විරෝධය හමුවේ මෙම නඩු බොහොමයක් නැවත විභාග කරන ලද අතර චූදිතයින් වැරදිකරුවෝ බවට පත්වූහ. ලිංගික හිංසනයේ වින්දිතයින් වෙත සිය සහයෝගය පළ කිරීම සඳහා සමාජ ක්‍රියාකාරීන් විසින් 'Flower Demo' ලෙස හැඳින්වෙන ජාතික ව්‍යාපාරයක් ද දියත් කරන ලදී.

වර්ධනය වෙමින් පවතින #MeToo ව්‍යාපාරය සහ මාධ්‍යවේදිනියක වන ෂියෝරි ඉටෝගේ සුවිශේෂී ජයග්‍රහණය ලිංගික හිංසනය පිළිබඳ ජාතික සංවාදය දිරි ගැන්වීමට සහ නීති ප්‍රතිසංස්කරණවල සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට ඉවහල් වූ බව ක්‍රියාකාරීහු පවසති.

Japanese journalist Shiori Ito sheds a tear as she speaks to reporters outside the Tokyo district court on December 18, 2019 after hearing the ruling on a damages lawsuit by her, accusing a former TV reporter of rape

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ෂියෝරි ඉටෝ 2019 වසරේදී ඇය විසින් පවරනු ලැබ තිබුණු සුවිශේෂී ස්ත්‍රී දූෂණ නඩුව ජය ගත්තා ය

ස්ත්‍රී දූෂණය යළි නිර්වචනය කිරීමේ අංගයක් ලෙස, නව නීතිය මඟින් වින්දිතයාට "අකමැත්ත පළ කිරීමට චේතනාවක් ඇතිකර ගැනීමට, එය ප්‍රකාශ කිරීමට හෝ එය සාක්ෂාත්කර ගැනීමට" අපහසු අවස්ථාවන් අටක් පැහැදිලිව දක්වා ඇත.

මේවා අතරට, වින්දිතයා මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර සිටින අවස්ථා; හෝ ප්‍රචණ්ඩත්වයට හෝ තර්ජනවලට මුහුණ පා සිටින අවස්ථා; නැතහොත් "බියට හෝ අදහාගත නොහැකි තත්ත්වයකට පත්ව සිටින අවස්ථා" ඇතුළත් ය. එමෙන් ම, අපරාධකරුගේ ඉල්ලීම් ඉටු නොකළහොත් තමන්ට අවාසිදායක තත්ත්වයක් උදාවනු ඇතැයි වින්දිතයා "කනස්සල්ලට" පත් කරන බලය අවභාවිතා කිරීමක් [අපරාධකරුට සමාජය තුළ ඇති බලය] පිළිබඳ විස්තර කිරීමක් ද මෙහි දක්නට ඇත.

ලිංගික කටයුතු සඳහා කැමැත්ත පළ කිරීමේ වයස අවුරුදු 16 දක්වා ඉහළ යනු ඇති අතර, වින්දිතයින්ට අපරාධකරුවන්ට එරෙහිව නීතියම පියවර ගැනීමට ලැබෙන කාලසීමාව ද දීර්ඝ වනු ඇත.

අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් කණ්ඩායම්, නව නීතිය නොපැහැදිලි ලෙස වදන් ගන්වා ඇතිබව පවසමින්, ඒවා තවදුරට ත් පැහැදිලි කරන ලෙස ඉල්ලා තිබේ. එය චෝදනා ඔප්පු කිරීමට නීතිඥවරුන්ට වැඩි අපහසුතාවක් ඇති කරනු ඇතැ යි ද ඔවුහු බියවෙති. තවත් සමහරුන් පවසා ඇත්තේ, නීතිමය පියවර ගැනීමට ලැබෙන කාලසීමාව දුරටත් දීර්ඝ කළ යුතු බව ත්, වින්දිත බාලවයස්කරුවන්ට වැඩි ආරක්ෂාවක් ලැබිය යුතු බව ත් ය.

එසේ වුව ද, මෙම ප්‍රතිසංස්කරණ සම්මත වුවහොත් වෙනසක් සඳහා දිගු කලක් තිස්සේ බලපෑම් කළ පිරිස් සඳහා එය මහත් ජයග්‍රහණයක් වනු ඇත.

"වැදගත් දේ තමයි, ඔවුන් මේ නීතියේ නම පවා වෙනස් කරමින් සිටින නිසා, ජපානය තුළ දී මිනිස්සු මේ සංවාදය, ඒ කියන්නේ, කැමැත්ත පළ කිරීම කියන්නේ මොකක් ද? අකමැත්ත පළ කිරීමෙන් අදහස් වෙන්නේ මොකක් ද? කියන සංවාදය ආරම්භ කරනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙනවා," ටෝකියෝහි හියුමන් රයිට්ස් නව්හි (Human Rights Now) උපසභාපති කසුකෝ ඉටෝ පවසයි.

නමුත් ඒ සඳහා ඇති කාලය අවසන්වෙමින් පවතියි. ජපාන පාර්ලිමේන්තුව ජූනි 21 වන දා වන විට මෙම නව නීතිය සම්මතකර ගත යුතු නමුත්, ඔවුහු දැනට සංක්‍රමණ පිළිබඳ විවාදයක පැටලී සිටිති.

එම කාලසීමාව මඟහැරී යාම, ලිංගික හිංසන සම්බන්ධ ප්‍රතිසංස්කරණයන් අවිනිශ්චිතතාවකට ඇද දමනු ඇත. සමාජ ක්‍රියාකාරීහු පසුගිය සතියේ මෙම ප්‍රමාදය "පිළිගත නොහැකියැ"යි හෙළා දුටු අතර ඒ සම්බන්ධයෙන් වහා ම පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

ලිංගිකත්වය පිළිබඳ අදහස් නැවත හැඩගැස්වීම

නමුත් ප්‍රතිසංස්කරණ හරහා මෙම ගැටලුවේ එක් කොටසක් පමණක් ආමන්ත්‍රණය කරන බව සමාජ ක්‍රියාකාරීහු පවසන අතර, වෙනසක් සඳහා වන ඉල්ලීම අධිකරණයෙන් ඔබ්බට විහිදෙන බව ද පවසති.

ලිංගික හිංසනය තව ම ත් ජපානයේ තහනම් විෂයක් වන අතර, ඒ පිළිබඳව මෑත වසරවලදී ජාතික අවධානයට ලක්ව ඇත්තේ ප්‍රමුඛ පෙළේ නඩු විභාගයන් වුණු ෂියෝරි ඉටෝගේ අධිකරණ සටන, ආත්මාරක්ෂක බලකායේ හිටපු සාමාජිකාවක සහ ලිංගික හිංසනවලින් ගැලවුණු රීනා ගොනෝයිගේ ප්‍රසිද්ධ ප්‍රකාශ සහ ජොනී කිටගාවා පිළිබඳ වූ හෙළිදරව් කිරීම්වලින් පමණි.

කසුකෝ ඉටෝ පවසන්නේ, මෙම ගැටලුවේ තව ත් කොටසක් නම්, ජපානයේ පරම්පරා ගණනාවක් "ලිංගිකත්වය සහ ලිංගික කටයුතු සඳහා කැමැත්ත පළ කිරීම පිළිබඳ විකෘති අදහසක්" සමග වැඩී තිබීම බව ය.

එක් අතකින්, ලිංගික අධ්‍යාපනය ලබා දීමේ දී සාමාන්‍යයෙන් එය සිදු කරන්නේ කරුණු සඟවමින්, විලිබිය රැකෙන ආකාරයෙන් වන අතර, එහිදී කැමැත්ත පළ කිරීම පිළිබඳව සඳහන් නොකරන තරම් ය. කෙසේ වෙතත්, ඉටෝ පවසන පරිදි, කාන්තාවකගේ කැමැත්තට පිටුපා ලිංගිකව එක්වීම ඉතා සාමාන්‍ය දෙයක් ලෙස පෙන්වනු ලබන අසැබි දර්ශන වෙත ජපන් දරුවන්ට පහසුවෙන් ප්‍රවේශවිය හැකි ය.

Protesters, about 150, gather at the rally called 'Flower Demo' to criticize recent acquittals in court cases of alleged rape in Japan and call for revision of the anti-sex crime law, in front of Tokyo Station in Tokyo, Japan June 11, 2019.

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ත්‍රී දූෂණවලින් චූදිතයින් නිදහස් කිරීම දිගින් දිගටම සිදුවීමෙන් පසු 2019 වසරේ දී ජපානයේ පැවති විරෝධතාවක දර්ශන

ලිංගික හිංසනයේ වින්දිතයින් සඳහා ජපානය වඩාත් හොඳ මූල්‍ය සහ මානසික සෞඛ්‍යමය සහායක් ලබාදිය යුතු බව නීතිඥ සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සකුරා කමිතානි පවසයි.

නමුත් චූදිතයින්ට ද උපකාර ලැබිය යුතු බව ඇය තවදුරට ත් පවසයි. "ලිංගික අපරාධ නැවත නැවත සිදුවීමේ ඉහළ අනුපාතයක් තියෙනවා. අපි වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු යි. එහෙම වුණේ නැත්නම් හිතාගන්න බැරි විධියට වැඩි දෙනෙක් වින්දිතයින් බවට පත් වේවි."

නමුත් ක්‍රියාකාරීන් පවසන පරිදි දැනට වඩා ත් වැදගත් කාර්යය නම්, ප්‍රතිසංස්කරණ සම්මත කිරීම සහ ක්‍රියාත්මකවීම සහතික කිරීම හා වින්දිතයින් පැමිණිලි කිරීම සඳහා දිරිමත් කිරීම ය.

"මේක මතුපිටින් විතරක් පේන වෙනසක් බවට පත්වෙලා, ඇත්ත වශයෙන් ම වින්දිතයින්ව බේරාගන්නේ නැත්නම්, ඒක මිනිස්සුන්ට මහ කම්පනයක් වේවි," ඉටෝ පවසයි.

මෙගුමි පවසන්නේ නීතිය වෙනස් වුවහොත් තමාට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීම ගැන සලකා බලන බව ය. නමුත් එය වහා සිදු නොකරන බව ද මෙගුමි පවසයි.

"මට දැනට ම ත් මගේ හැඟීම් යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවන් වෙලා ඉන්නේ. මම හිතන්නේ 'පළවෙනි පෙන්ගුයින්' වෙන එක වගේ බරපතල තත්ත්වයකට මාව ඇදලා දාගන්න එක කරන්න අමාරු දෙයක්," මෙගුමි එලෙස පවසන්නේ, යම් අලුත් දෙයක් කිරීමේ පළමු පුද්ගලයා බවට පත් වීම සඳහා ඇති ජපන් එම යෙදුම භාවිත කරමිනි.

ඒ වෙනුවට, තම ස්ත්‍රීපුරුෂභාවය කාලයත් සමග වෙනස් වී ඇතැයි හඳුනා ගන්නා මෙගුමි, ලිංගික හිංසනයේ වින්දිතයින් සහ ලිංගික සුළුතර අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක නිරත වීම කෙරෙහි අවධානය යොමු කරන අතර, මෙම කණ්ඩායම්වලට උපකාර කිරීම සඳහා නීති ආයතනයක් ආරම්භ කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටියි.

"මට දැන් යම් බලාපොරොත්තුවක් තියෙන නිසා සහනයක් දැනෙනවා. අපි දැන් ඉන්න තත්ත්වය විකෘතියි කියලා සහ වැරදියි කියලා බොහෝ දෙනෙකුට වැටහෙන්නට පටන් අරගෙන තියෙන්නේ.

"හැමෝම එකතු වෙලා එකට වැඩ කරනවා නම්, අපි හිතනවාට වඩා දේවල් වේගයෙන් හා සැලකිය යුතු ලෙස වෙනස් වේවි කියලා මම විශ්වාස කරනවා. මම දෙන පණිවිඩය [සියල්ලන්ට ම] තමයි: 'ඔබ යමක් වැරදියි කියා සිතනවා නම්, අපි එක්ව එය වෙනස් කරමු'."