සුඩාන සටන්: සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න අවබෝධ කරගැනීම සඳහා සරල පැහැදිලි කිරීමක්

Military vehicles and people with guns

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, බෙවර්ලි ඔචින්ග්
    • Role, බීබීසී නිරීක්ෂණ, නයිරෝබි.

සුඩානයේ අගනුවර වන කාර්ටූම් සහ එරට වෙනත් නගරවල පැතිර පවතින සටන්, රටේ හමුදා නායකත්වය තුළ ඇති දරුණු බල අරගලයක සෘජු ප්‍රතිඵලයක් වෙයි.

නීත්‍යානුකූල නොවන හමුදා කණ්ඩායම්, රැපිඩ් සපෝර්ට් ෆෝසස් (RSF) සාමාජිකයින් සහ රාජ්‍ය හමුදාවේ සොල්දාදුවන් සටන් කරන බැවින් අගනුවර පුරා ප්‍රධාන උපායමාර්ගික ස්ථානවල ගැටුම් පවතී.

Women showing the victory sign

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2019 දී කුමන්ත්‍රණයකින් ඕමාර් අල්-බෂීර් බලයෙන් පහ කරන විට සිවිල් පාලනයක් ඉල්ලා විරෝධතාකරුවන් එම ස්ථානයේ රැඳී සිටියහ.

ගැටුමේ පසුබිම කුමක්ද?

2021 ඔක්තෝම්බර් මාසයේදී සිදු වූ කුමන්ත්‍රණයේ පටන් සුඩානය ජෙනරාල්වරුන්ගේ කවුන්සිලයක් විසින් පාලනය කර තිබෙන අතර වත්මන් ආරවුලේ කේන්ද්‍රස්ථානයේ හමුදා සාමාජිකයින් දෙදෙනෙකි.

ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වන ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් රටේ ජනාධිපති ද වෙයි.

ඔහුගේ නියෝජ්‍ය හමුදා ප්‍රධානියා සහ ආර්. එස්. එෆ් නායකයා වන්නේ ජෙනරල් මොහොමඩ් හම්දාන් දගලෝ ය, ඔහු වඩාත් ප්‍රසිද්ධ හමෙඩ්ටි ලෙස ය.

රට ගමන් කරන දිශාව සහ යෝජිත සිවිල් පාලනය සඳහා ගනු ලබන පියවර සම්බන්ධයෙන් ඔවුන් එකඟ වී නැත.

එක් ප්‍රධාන ගැටුම්කාරි කරුණක් වන්නේ 100,000 කින් සමන්විත ශක්තිමත් සහ වේගවත් ආධාරක බලකායක් හමුදාවට ඇතුළත් කිරීමේ සැලසුම් සහ පසුව නව හමුදාවට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්නයි.

Khartoum airport

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සියල්ල සෙනසුරාදා හදිසියේ ආරම්භ වූයේ ඇයි?

ආර්. එස් .එෆ් සාමාජිකයින් රට පුරා යෙදවීමත් සමග හමුදාව එය තර්ජනාත්මක පියවරක් ලෙස සැලකීමත් සමග දින කිහිපයකින් ප්‍රචණ්ඩත්වය හිස එසවීය.

සාකච්ඡා මගින් තත්ත්වය සමථයකට පත් කළ හැකි බවට බලාපොරොත්තු වූ නමුදු ඒවා කිසිදා සිදු නොවිය.

සෙනසුරාදා උදෑසන පළමු වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න පැහැදිලි නැත. ත්ත්වය දැනටමත් අස්ථාවර තත්වයක පවතින බැවින් තවත් නරක අතට හැරෙනු ඇතැයි බියක් පළ වෙයි.

වෙඩි තැබීම නතර කරන ලෙස රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙපාර්ශවයෙන්ම ඉල්ලීම් කොට තිබේ.

රැපිඩ් සපෝර්ට් ෆෝසස් (ආර්. එස්. එෆ්) යනු කවුද?

ආර්. එස්. එෆ් පිහිටුවනු ලැබුවේ 2013 වසරේදීයි. එහි මූලාරම්භය ඇත්තේ ඩාර්ෆූර් හි කැරලිකරුවන් හමුවේ කුරිරු ලෙස සටන් කළ කුප්‍රකට ජන්ජාවීඩ් හමුදා කණ්ඩායමෙනි.

එතැන් සිට, ජෙනරාල් ඩගාලෝ යේමනයේ සහ ලිබියාවේ ගැටුම්වලට මැදිහත් වූ සහ සුඩානයේ ඇතැම් රන් ආකර පාලනය කිරීම පවා කළහැකි ප්‍රබල බලකායක් ගොඩනඟා ඇත.

2019 ජුනි මාසයේදී විරෝධතාකරුවන් 120 කට වැඩි පිරිසක් සමූල ඝාතනය කිරීම ඇතුළුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඊට චෝදනා එල්ල වී ඇත.

හමුදාවෙන් පරිබාහිරව සිටින මෙවැනි ප්‍රබල බලකායක් රට තුළ අස්ථාවරත්වයක් ඇති කිරීමේ මූලාශ්‍රය බවට පත් වී තිබේ.

Deputy head of Sudan's sovereign council General Mohamed Hamdan Dagalo

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙනරාල් මොහොමඩ් හම්දාන් දගලෝ (ඡායාරූපයේ) සහ ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් අතර එදිරිවාදිකම් ගැටලුවේ මුලාරම්භයයි

හමුදාව පාලනය භාරව සිටින්නේ ඇයි?

මෙම සටන 2019 දී දිගු කලක් බලයේ සිටි ජනාධිපති ඕමාර් අල්-බෂීර් බලයෙන් පහකිරීමෙන් පසුව ඇති වූ ආතතියේ අලුත්ම කොටසයි.

ඔහුගේ දශක තුනකට ආසන්න පාලනය අවසන් කරන ලෙස ඉල්ලමින් දැවැන්ත විරෝධතා මාර්ග පුරා පැවති අතර ඔහුව නෙරපා හැරීමට හමුදාව කුමන්ත්‍රණයක් දියත් කරන ලදී.

එහෙත් ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසයි.

අනතුරුව ඒකාබද්ධ හමුදා සිවිල් රජයක් පිහිටුවනු ලැබූව ද තවත් කුමන්ත්‍රණයකින් එය 2021 ඔක්තෝම්බර් මාසයේදී පෙරළා දමන ලදී.

එකල සිට ජෙනරාල් බර්හාන් සහ ජෙනරාල් ඩගාලෝ අතර එදිරිවාදිකම් වර්ධනය විය.

සිවිල් ජනතාව අතට නැවත බලය පැවරීමේ රාමුගත ගිවිසුමකට ඔවුන් පසුගිය දෙසැම්බර් මාසයේදී එකඟ වූ නමුත් එය අවසන් කිරීම සඳහා වූ සාකච්ඡා අසාර්ථක විය.

දැන් විය හැක්කේ කුමක්ද?

සටන දිගටම පැවතුණහොත් රට තවදුරටත් බෙදීගොස් දේශපාලන කැලඹීම වඩාත් නරක තත්ත්වයට පත්විය හැකිය.

සිවිල් පාලනය යළි ඉල්ලා සිටීමට උත්සාහ කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති රාජ්‍ය තාන්ත්‍රිකයින්, ජෙනරාල්වරුන් දෙදෙනා සාකච්ඡා මාර්ගයකට ගෙන ඒමට මගක් සෙවීමේදි මංමුලා වනු ඇත.

කෙසේවෙතත් සාමාන්‍ය සුඩාන ජාතිකයින්ට සිදුවන්නේ තවත් අවිනිශ්චිත කාලපරිච්ඡේදයක් තුළ ජීවත් වීමට ය .