දම්වැල් දමා දෙපා බැඳ, ළමුන්ට පහර දෙන ඉස්ලාමීය පාසැල්

JESS KELLY/BBC

ඡායාරූප මූලාශ්‍රය, JESS KELLY/BBC

    • Author, ෆටේහ් අල්-රහ්මන් අල්-හම්දානි
    • Role, බීබීසී අරාබි සේවය

මට අහමඩ් හමුවුණේ ඔහු කාමරයක තනිකොට පා විලංගු දමා සිටියදී ය. පහර කෑමට ලක්වීමෙන් ඇතිවූ කැළැල් ඔහුගේ සිරුර පුරා පැවතුණි.

තමන්ගේ වයස ඔහු නොදනී. නමුත් පෙනුමෙන් වයස අවුරුදු 10ක් පමණ වෙතැයි සිතිය හැකිය.

ඔහු මට හමුවුණේ සුඩානයේ ඉස්ලාමීය පාසලක් තුළ සිටියදී ය. මෙම පාසල් එරට ජනතාව හඳුන්වන්නේ 'ඛල්වා' නමිනි.

මම වෙස්වලාගෙන මෙම පාසලට ඇතුළු වුනෙමි. එහි සිදුවන දෑ වසර දෙකක් පුරා වීඩියෝගත කළෙමි. එම රාජකාරිය ඇරඹුණේ 2018 වසරේ මුල් භාගයේදී ය.

ළමුන් බොහෝ දෙනෙකු මගේ කැමරාවට හසු විය. ඇතැම් ළමුන් පස් හැවිරිදි විය. ඔවුහු ද තදින් පහර කෑමට ලක්වී සිටියහ. විලංගු ලා සිටියහ. කෑමට යමක් හෝ බීමට වතුර බිඳක් නොමැතිව සිර කර සිටියහ. මේ සියලු දඬුවම් ලබා දෙනු ලබන්නේ එම පාසලේ සිටින ප්‍රධාන ශාස්ත්‍රධරයා හෝ ඉස්ලාම් ආගමික ගුරුවරුන් විසිනි.

අපගේ කැමරාවට නොගත් ළමුන් කීප දෙනෙකුම අප හා පැවසුවේ ඔවුන් ලිංගික දූෂණයට හා ලිංගික අතවර වලට ලක්වූ බවය.

JESS KELLY/BBC

ඡායාරූප මූලාශ්‍රය, JESS KELLY/BBC

සුඩාන රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙවැනි ඛල්වා පාසල් 30,000ක් පමණ රට පුරා පවතී. මෙම පාසල් පවත්වාගෙන යනු ලබන්නේ සුඩාන රජයෙන් සහ ලොව පුරා දානපතියන්ගෙන් ලැබෙන මුදල්වලිනි.

මෙහි ඉගෙනුම ලබන ළමුන් කුරානය කටපාඩම් කළ යුතුය. දෙමාපියන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරෙන බැවින් ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනයට යොමු කිරීම සඳහා වත්කමක් නොමැති පිරිසට 'ඛල්වා' විකල්පයකි. ඈත පිටිසර ගම්මාන ආශ්‍රිතව රජයේ පාසල් නොමැත.

ඛල්වාස් හි සිසුන් ඉගෙනුම ලබන්නේ පාසැල තුළම නවාතැන් ගෙනය. නිවෙස් බලා යන්නේ නිවාඩු සමයට පමණි.

JESS KELLY/BBC

ඡායාරූප මූලාශ්‍රය, JESS KELLY/BBC

පරම්පරා කීපයක් තිස්සේ පවත්වාගෙන ආ මෙවැනි පාසල් දෙස සුඩානයේ බොහෝ දෙනා බලන්නේ එරට සංස්කෘතියේ ප්‍රධාන ප්‍රභවයක් ලෙසිනි; ජාතික අනන්‍යතාවයේ කොටසක් ලෙසිනි.

නමුත් මෙම සිසුන්ට පාසැල තුළ දී පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට මෑත කාලය ඇතුළත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සැරිසරන්නට විය. එමෙන්ම, මෙම පාසල් තුළ ගුරුවරුන් ලෙස කටයුතු කරන ඉස්ලාමීය පුජකවරුන් විසින් ළමුන් ලිංගිකව දුෂණය කරනු ලබන බවට චෝදනා කරමින් බොහෝ කතා පළ විය.

සමාජ මාධ්‍ය මත සැරිසරන මේ සියල්ල පිළිබඳව සුඩානයේ ආණ්ඩුව සොයා බැලුවේ නැත; මාධ්‍ය ඇහැ කන පියාගෙන සිටියෝය. මානව හිමිකම් වෙනුවෙන් පවතින සංවිධාන තැකීමක් නොකළෝය.

මෙම ඛල්වා තුළ ළමා අතවර, හිරිහැර කෙතරම් පුළුල්ව ව්‍යාප්තවී ඇත්දැයි හෙළිදරව් කිරීමට මට අවශ්‍ය විය; තමන්ගේ අනුවේදනීය කතාව ලොවට කියන්නට අවස්ථාවක් නොලද මේ ළමුන්ට හඬක් දෙන්නට මට අවැසි විය.

එමෙන්ම, ළමා කාලයේ දී ඛල්වා පාසලක ඉගෙනුම ලබද්දී මා ලැබූ අත්දැකීම් ද රාශියකි. ගුරුවරුන්ගෙන් එක් දිනක් හෝ පහරක් නොකා සිටීමට නම් දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු විය.

මෙම රාජකාරිය වෙනුවෙන් මට මිතුරන්ගෙන් වෙන්වීමට සිදුවන බව මම දැන සිටියෙමි. පවුලෙන් ඈත් වීමට සිදුවන බව දැන සිටියෙමි. නමුත් මෙය ලොවට කිව යුතු කතාවක් විය.

"රටේ ආගමික පාසල්වලට පහර ගැසීම සඳහා බටහිර කුමන්ත්‍රණයක හවුල්කරුවෙකු" ලෙසින් පසු කලෙක දී ඇතැමුන් විසින් මා හංවඩු ගසනු ලබන බව ඉඳුරාම දැන සිටි නමුදු මෙය ලොවට හඬගා කිව යුතුව ම තිබූ කතාවක් ලෙස මම දුටිමි.

ෆටේහ් අල්-රහ්මන් අල්-හම්දානි

ඡායාරූප මූලාශ්‍රය, IMAGE COPYRIGHTJESS KELLY/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆටේහ් අල්-රහ්මන් අල්-හම්දානි

බීබීසීය සමඟ සම්බන්ධ වන මොහොත වනවිටත්, මාස කීපයක් තිස්සේ බොහෝ දේ වීඩියෝගත කර හමාරව තිබුණි. බොහෝ අපයෝජන සිදුවන බව මා අසා තිබුණු Haj el-Daly නමැති ඛල්වා පාසල තුළට යාමට මට හැකිවිය. අනෙක් පිරිස සමඟ යාඥා කිරීම සඳහා පාසල තුළ පිහිටි දේවස්ථානය තුළට රිංගා ගැනීමට දිනක් හැන්දෑවේ මට ද හැකියාව ලැබුණි. මගේ ජංගම දුරකථනය අතට ගෙන රහසිගතව මම කැමරාව ක්‍රියාත්මක කළෙමි.

මා දණගසා සිටින අතරතුර වානේ ගැටෙන සියුම් හඬක් මට ඇසෙන්නට විය. මම හිස ඔසවා බැලුවෙමි. මා දුටු දෙයින් මගේ හදවත නතර වූවාක් මෙන් දැනුණි. වන සතුන්ට මෙන් දම්වැල් යොදා දෙපා විලංගු දමන ලද ළමුන් මා ඉදිරිපිට සිටිනු මම දුටිමි.

යාඥා මෙහෙය නිමා විය. ළමුන් දෙපා අද්දවමින් දේවස්ථානයෙන් පිට විය. නමුත් මා පිටව යන අතරතුර යමෙකුගේ ප්‍රචණ්ඩකාරී ගෝරනාඩුවක් සහ සියුම් හැඬුම් කෙඳිරියක් ඇසෙන්නට විය.

JESS KELLY/BBC

ඡායාරූප මූලාශ්‍රය, JESS KELLY/BBC

මම ඒ කෙඳිරිය සොයා පිය මැන්නෙමි. මද ආලෝකයක් සහිත කාමරයක යදම් වැලෙන් දෙපා විලංගු ලා සිටි ළමයෙකු ඉකි ගසනු දුටිමි.

මා පියවි දෑසින් දකින දේ කාටත් හොරා වීඩියෝගත කළෙමි. ඒ අහමඩ් ය. "මට ගෙදර යන්න ඕන." ඔහු මට කීවේය. ඔහු සැනසීමට මට අවශ්‍ය වුණි. නමුත් පූජකවරුන් කතා බහ කරමින් ඒ දෙසට ඇදෙන බවක් මට ඇසෙන්නට වූයෙන් වීඩියෝ කිරීම නතර කොට වහා එතැනින් පිට වුනෙමි.

නමුත් මම පසුදා යළි එතනට පැමිණියෙමි. එබැවින් එහි සිදුවන තව බොහෝ දෑ හෙළිදරව් කර ගැනීමට මට හැකි විය.

එහි සිටි ළමුන් සමඟ කතාබහ කරන අතරතුර ජංගම දුරකතනය ගෙන වීඩියෝගත කරන්නට පටන් ගත්තෙමි. ඒ අසල සිටි, මදක් වයසින් වැඩි ළමයෙකු මා දෙස එක එල්ලේ බලා සිටිනු මගේ නෙත ගැටුණි. ඔහු එකවරම එතැනින් පිටව ගියේය. පාසලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ශාස්ත්‍රධරයා කැටුව ඔහු සැනෙකින් ආපසු පැමිණියේය.

වීඩියෝ කළේ මන්දැයි විමසමින් ප්‍රධාන ශාස්ත්‍රධරයා මට බැනවදින්නට පටන් ගත්තේය. යාන්තමින් එතැනින් පැනගත් මම වීදිය දක්වා ම දිව ගියෙමි.

බීබීසීය පසුව කළ විමසීමක දී Haj el-Daly නමැති ඛල්වා පාසලේ කළමනාකාරිත්වය පවසා තිබුණේ පාසලේ ප්‍රධානියා වශයෙන් වෙනත් ශාස්ත්‍රධරයෙකු පත්කොට ඇති අතර ඉන් පසුව ළමුන්ට පහරදීම සහ දම්වැල් දමා බැඳ තැබීම නතර කර ඇති බවය.

වීඩියෝ ශීර්ෂ වැකිය, "මරණාසන්න වනතුරු" දරුවන්ට පහර දෙන සුඩානයේ ආගමික පාසල්

මගේ ම අත්දැකීම්

ගෙදර පැමිණි මා තවමත් සලිතය. ප්‍රධාන ශාස්ත්‍රධරයාගෙන් ගැලවී පලා යාමට නොහැකි වූයේ නම් මා ආගිය අතක් පිළිබඳව කිසිවෙකුට සොයා ගත නොහැකිවනු ඇත. කෙසේ නමුත්, මා දුටු දෙයින් කම්පනයට පත්වී සිටියෙමි. මා භද්‍ර යෞවනයෙකු ලෙස ඛල්වා පාසලක ඉගෙනුම ලබද්දී ලද මගේ ම අත්දැකීම් යළි සිහියට නැගෙන්නට විය. පහර දීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබුන ද එහි කිසිවෙකු යදම් බැඳ සිරකොට නොතිබුණි.

මා කුඩා කල ඛල්වා පාසල වෙත ගිය පළමු දවස මට තවමත් මතකය. එවකට මා 14 හැවිරිදි කොලු ගැටයෙකි. ජාතික ඇඳුමෙන් සැරසී පාසල වෙත යාමට ඒ උදෑසන ලබන තුරු සිටියේ නොඉවසිල්ලෙනි.

නමුත් පාසලට ගිය මොහොතේ පටන් මොකක්දෝ අමුත්තක් මගේ හිතට දැනෙන්නට පටන් ගත්තේය. අනෙකුත් ළමුන් පූජකවරයාට සහ අනෙකුත් ගුරුවරුන් කෙරෙහි දැඩි බියකින් පසුවන බව මට වැටහුණි.

පීඩාව සහ අපයෝජන ආරම්භ වූයේ සවස් වරුවේ දීය. අපට නිදිමතක් දැනුණු මොහොතේ ම පූජකවරයාගෙන් වේවැල් පහර කීපයක් ලැබෙනු ඇත. ඉන් නිදිමත පහව යයි. මෙසේ පහර කමින් මම මාසයක් පමණ ඛල්වා හි ගත කළෙමි.

නැවත එම පාසලට යා නොහැකි බව මා දෙමාපියන්ට පැවසුවේ නිවාඩුවකට ගෙදර පැමිණි මොහොතේ ය. මා විඳි වධ වේදනා සියල්ල ඇතිසැටියෙන් පැවසීමට තරම් මම ශක්තිමත් නොවීමි. මගේ ඉගෙනීම කඩාකප්පල්වීම පිළිබඳව දෙමාපියන් ගේ කැමැත්තක් නොතිබූ නමුත් නැවත මා එම පාසලට බලහත්කාරයෙන් පිටත් කර හැරීමට ඔවුන් පෙළඹුණේ නැත.

BBC

ඛල්වා පාසලක ළමුන්ගේ ජීවිතය වීඩියෝ ගත කරන්නට ගත් පළමු උත්සාහයේ දී ප්‍රධාන ශාස්ත්‍රධරයා අතට හසුවීමෙන් අනතුරුව, තවදුරටත් එම රාජකාරියේ නිරත වීමට තරම් ආත්ම ශක්තියක් නොතිබුණි.

ඒ වන විට මා සතුව තිබූ වීඩියෝ සාක්‍ෂි රැගෙන මම Arab Reporters in Investigative Journalism (ARIJ) වෙත ගියෙමි. ඔවුහු, බීබීසී අරාබි අංශය වෙත මා යොමු කළහ. එතැන් පටන් සියල්ල වෙනස් විය.

ලන්ඩන් නුවර සිටි සංස්කාරකවරයා මට කතා කොට ඔහුගේ නිෂ්පාදකවරයෙකු හඳුන්වා දුන්නේය. ඔහු නමින් මම්දුහ් අක්බික් විය. ඔහු සිරියානු ජාතිකයෙකි. මම සුඩාන ජතිකයෙක්මි. අප දෙදෙනාගේම මව් බස අරාබි වුවද රටවල් දෙකේ භාෂා භාවිතය එකිනෙකට වෙනස් ය. නමුත් අපි දෙදෙනා ඉතා හොඳින් එකට වැඩ කළෙමු.

දෙදෙනාම එක් වී ඛල්වා පාසල් තිබෙන ස්ථාන සිතියමක සටහන් කර ගත්තෙමු. අවශ්‍ය කළමනා එක්රැස් කළෙමු. අපගේ ආරක්ෂාව පිළිබඳව එකිනෙකා සාකච්ඡා කළෙමු.

ඇත්තට ම සියල්ල වෙනස් වූයේ රහසිගතව පටිගත කිරීමේ උපකරණයක් ලැබුණු දිනයේ දීය. මගේ රාජකාරියේ ඉතිරි කොටස කරගෙන යාමට අවශ්‍ය ආත්ම ශක්තිය සම්පුර්ණය විය.

කඳුකරයෙන්, රතු මුහුදෙන් සහ කාන්තාරයෙන් වටවූ සුඩානය සුවිශාල රටකි. මෙම ගවේෂණය සඳහා සැතපුම් 3,000කට අධික දුරක් ගමනේ යෙදිය යුතු විය. ඉන් වැඩි ප්‍රමාණයක් යන්නට සිදු වුයේ බසයෙනි.

ඉතා දරුණු ලෙස වධ හිංසාවන්ට ලක් වූ දරුවන් සිටින දෙමාපියන් බොහෝ දෙනෙකු මට හමු විය. ඇතැමුන්ගේ දරුවන් ඛල්වා පාසැල තුළදී ම මිය ගොස් තිබිණ. නමුත් මිය යාමට හේතුව කුමක්දැයි තවමත් හරිහැටි අනාවරණය වී නොමැත.

ෆාතිමා සිය දරුවා වෙනුවෙන් ඛල්වා පාසලට එරෙහිව නඩු මගට ගොස් සිටින්නීය

ඡායාරූප මූලාශ්‍රය, JESS KELLY/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆාතිමා සිය දරුවා වෙනුවෙන් ඛල්වා පාසලට එරෙහිව නඩු මගට ගොස් සිටින්නීය

ඛල්වා පාසලක ප්‍රධාන ශාස්ත්‍රධරයා අරාබි බසින් හඳුන්වන්නේ ෂෙයික් යන ගෞරව නාමයෙනි. ඔහු ප්‍රජාව තුළ බලසම්පන්න චරිතයකි. සියලු දෙනා මේ ශාස්ත්‍රධරයාගේ අණසකට යටත් වෙති. එබැවින්, සිදුවූයේ කුමක් වුවද ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට කිසිවෙකු පෙළඹෙන්නේ නම් ඒ කලාතුරකිනි.

යම් හෙයකින් ඔවුනට එරෙහිව නඩුවක් ගොනු වූයේ නම් එය අධිකරණය තුළ දීර්ඝ කාලයක් තිස්සේ විභාග කෙරෙමින් පවතින අතරතුර පැමිණිලිකරුවන් විඩාවට පත්වී එය අතහැර දමනු ඇත. එසේ නැතහොත් යම්කිසි වන්දි මුදලකට හිලව් වී එම නඩුව සමථයකට පත් කෙරෙනු ඇත.

අපගේ වාර්තා වැඩසටහනේ දැක්වෙන ඛල්වා පාසලක ප්‍රධාන ශාස්ත්‍රධරයෙකුට එරෙහිව පැවති අධිකරණ සටන එක් සුවිශේෂිත අවස්ථාවක් මිස සුඩානයේ සාමාන්‍ය තත්වයක් නොවේ. බොහෝ දෙමාපියන් සිතන්නේ මෙම පාසල්වල ප්‍රධානීන් සහ ගුරුවරුන්ගේ උත්සාහය තම දරුවන්ට යහපතම සැලසීම බවය. යම් "අත්වැරැද්දක්" සිදුවූයේ නම් එය "දෙවියන්ගේ කැමැත්ත" මත සිදුවූවක් ලෙස සලකා හිත හදා ගනිති.

මාගේ පවුලේ සාමාජිකයන් තුළ පවතින්නේ ද එම විශ්වාසයම ය. එබැවින්, මෙම විමර්ශනාත්මක ගවේෂණය පිළිබඳව කිසිවක් පවුලේ උදවියට නොපවසා එය රහසක් සේ රැක ගතිමි.

පවුලේ ඥාතින් සියලු දෙනා අතර පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා WhatsApp කණ්ඩායමක් තනා තිබුණි. මෙම වාර්තා වැඩසටහන ප්‍රචාරය වීමෙන් අනතුරුව එම කණ්ඩායමෙන් මා පලවා හැරුණි. අඩුතරමින් ඔවුන් මගෙන් ප්‍රශ්න කිරීමක් හෝ මා සමඟ වාද කිරීමක් හෝ සිදු කරනු ඇතැයි මම කලින් අපේක්ෂා කළෙමි. නමුත් ඔවුහු මා පිටස්තරයෙකු සේ සලකා ඉවත් කළහ.

කෙසේ නමුත් මගේ දෙමාපියන්ගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණි. ඔවුන් දෙදෙනා මා අතහැර නොයන බවට සපථ කළහ. නමුත් මගේ ආරක්ෂාව පිළිබඳව ඔවුන් තුළ ඇත්තේ විශාල බියකි. දෙමාපියන් මා පිළිබඳව හොඳින් තේරුම් ගැනීම මට මහත් සහනයක් විය.

JESS KELLY/BBC

ඡායාරූප මූලාශ්‍රය, JESS KELLY/BBC

වාර්තා වැඩසටහනට ලැබුණු ප්‍රතිචාරය

මෙම වීඩියෝ වාර්තා වැඩසටහන මගින් සුඩානයට විශාල බලපෑමක් එල්ල විය. මෙම විමර්ශනාත්මක වැඩසටහනට කේන්ද්‍ර වී සිටි දෙමාපියන් වෙනුවෙන් උදව් උපකාර කිරීමට ඔවුන්ගේ ප්‍රජාව තුළින් මෙන්ම වෙනත් රටවලින් පවා බොහෝ පිරිසක් ඉදිරිපත් වූහ. ඇතැමෙක් මුදලින් ආධාර කිරීමටත් තවෙකෙක් නීති ආධාර දීමටත් ඉදිරිපත් වී සිටියහ. මානසික සහාය ලබා දීම සඳහා ද බොහෝ දෙනෙක් පෙළ ගැසී සිටියහ.

මෙම වාර්තා වැඩසටහන නිසා සමාජ මාධ්‍ය උණුසුම් විය. ඛල්වා පාසල් වසා දැමිය යුතු බවට බොහෝ දෙනෙකු ඉල්ලා සිටි අතර මෙය ඉස්ලාම් ආගමට එල්ල කරන ලද ප්‍රහාරයක් බවට තවත් පිරිසක් චෝදනා කළහ. ඉස්ලාම් විරෝධී ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කර ඇති බවට බීබීසීයට චෝදනා එල්ල විය.

එක්තරා බලසම්පන්න හඬකින් නැගෙන ප්‍රතිචාරය ප්‍රමාද වූ බව නම් මොනවට පැහැදිලිය. ඒ සුඩානයේ අන්තර්වාර ආණ්ඩුවයි. ඛල්වා පාසල් ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බවට පසුගිය වසර පුරා හඬ නැගුවෝ ඔවුහුම ය.

ඛල්වා පාසල් තුළ "පහරදීම්, වධ හිංසා පැමිණවීම්, මානව හිමිකම් හෝ ළමා අයිතීන් කඩ කිරීම් ආදී කිසිවක්" මේ වන විට සිදු නොවන බව සුඩානයේ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය නස්රිදීන් මුෆ්රෙහ් පවසන ආකාරය අපගේ වාර්තා වැඩසටහනේ පවතී. නමුත් සැබෑ වෙනසක් සිදුවූ බවක් නම් තවමත් දක්නට නැත.

මෙම වාර්තා වැඩසටහන විකාශනය වීමෙන් අනතුරුව සුඩාන රජය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ බීබීසීය වීඩියෝගත කර ඇති සියලුම පාසල්වලට එරෙහිව නඩු පවරන බවය. පාසල් තුළ ළමුන්ට පහර දීම තහනම් කරමින් නීතියක් ද පැනවීය. ඛල්වා පාසල් පිළිබඳව පුනරීක්‍ෂණයක් සිදුකර අවසන් වන තුරු එම පාසල් සියල්ල සඳහා ප්‍රතිපාදන ලබා දීම නතර කෙරුණි.

රජය ගෙන ඇති මේ සියලු තීරණවලින් පෙනී යන්නේ මෑත ඉතිහාසය තුළ සුඩානය අරක්ගත් භූතයන් පිළිබඳව සොයා බැලීමට බලධාරීන් සූදානම් බවය. නමුත් පා බැඳි යදම් සහිතව වධ වේදනා විඳින ළමුන් දහස් ගණනකගේ කෙඳිරිය තවමත් රට පුරා දෝංකාර දෙමින් පවතී. ආණ්ඩුව කුමන තීරණ ගනු ලැබුවත්, සුඩානයේ බලසම්පන්න ආගමික සංස්ථාපනයට අභියෝග කිරීම සඳහා බලධාරීන් තුළ පවතින සැබෑ අධිෂ්ඨානය පරීක්‍ෂාවට ලක් කෙරෙනු ඇත.

(ඇතැම් පුද්ගල නාම වෙනස් කොට ඇත.)