'ළමා භික්ෂූන්ට' පහර දීම: "මෙය හුදෙකලා සිදුවීමක් නොවේ"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ නිවසින් සහ පවුලෙන් බැහැරව දිවි ගෙවන 'ළමා භික්ෂූන් වහන්සේ' දෙනමකට දඬුවමක් වශයෙන් අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සිය කම්පනය සහ කණගාටුව ප්‍රකාශ කරයි.
සමස්තයක් ලෙස ශ්‍රී ලංකා සමාජය එකී ප්‍රචණ්ඩ ක්‍රියාව හෙළා දැකීම අගය කරන බව ද යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
"කණගාටුවට කරුණ නම් මෙය හුදෙකලා සිදුවීමක් නොවෙයි. දරිද්‍රතාවයෙන් පෙළෙන හෝ ආයතනික රැකවරණය යටතේ සිටින හෝ ආබාධිත දරුවන් ඇතුළු ශ්‍රී ලංකාව පුරා දරු දැරියන් බොහෝ ප්‍රමාණයක් දිනපතාම මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙති," යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
හොරොව්පතාන ප්‍රදේශයේදී සාමනේර භික්ෂූන් වහන්සේ දෙනමකට ගිහි පුද්ගලයෙක් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.
වෙළෙඳසලකින් "චොක්ලට් සොරකම් කළ බව" පවසමින් උන් වහන්සේ දෙනමට පහර දෙන ආකාරය එහි දැක්විණි.
ඉන් අනතුරුව, පහර දුන් බවට චෝදනා ලත් පුද්ගලයා අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මාසයක් තුළ සිසුන්ගෙන් 80% වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් එක් ආකාරයක හෝ ශාරීරික දඬුවමක් අත්විඳ ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් 2016 වසරේදී ශ්‍රී ලංකාවේ පාසල් තුළ ක්‍රියාත්මක කළ ළමා විනය ක්‍රම පිළිබඳ අධ්‍යනයකින් හෙළි වී ඇතැයි ද යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ ඉහත කී නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
එම තත්ත්වය දරුවන්ට අතිශය හානිකර තත්ත්වයක් පමණක් නොව දරුවන්ගේ වර්ධනය වෙමින් පවතින මොළයට බලපාන බවත් ඔවුන්ගේ ආත්ම අභිමානය අඩුවන බවත් සෞඛ්‍ය සම්පන්නව ඉගනීමට හා වර්ධනය වීමට ඇති හැකියාවට බාධා කරන බවත් විද්‍යාත්මකව ඔප්පු වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.
මේ අතර සියලු ආකාරයේ ශාරීරික දඬුවම් කිරීම තහනම් කරන නීති සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු කිරීම පිළිබඳ යුනිසෙෆ් සංවිධානය සිය සතුට පළ කරයි.
"එහි ප්‍රතිඵලයක් ලෙස නව නීති ඉතා ඉක්මනින් සම්මත වීම අපගේ බලාපොරොත්තුවයි."
"කිසිම දරුවෙකු එවැනි හිංසනයකට ලක් නොවිය යුතුය. සෑම දරුවකුටම තම නිවස, පාසල, රැකවරණය ලබන ස්ථානය සහ ප්‍රජාව තුළ ශාරීරික දඬුවම් සහ වෙනත් කුරිරු හා අවමන සහගත දඬුවම්වලින් ආරක්ෂා වීමට අයිතියක් ඇත," යනුවෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
තවත් කියවන්න:








