බංගලාදේශයේ ගින්න: රෝහින්ග්‍යා කඳවුරක ඇතිවූ ගින්නෙන් දහස් ගණනකට නවාතැන් අහිමිවෙයි
- Author, මරීටා මලෝනි
- Role, බීබීසී පුවත්
ගිනිකොණදිග බංගලාදේශයේ ජනාකීර්ණ රෝහින්ග්‍යා සරණාගත කඳවුරක හටගත් දැවැන්ත ගින්නක් හේතුවෙන් දහස් ගණනක් ජනයාට නවාතැන් අහිමිවී තිබේ.
ඉරිදා හටගත් ගින්නෙන්, 'කොක්ස් බසාර්' යනුවෙන් හැඳින්වෙන මෙම කඳවුරේ නවාතැන් 2 000ක් පමණ විනාශවී ඇත.
මේ වන විට, විනාශය අතරින් ඉතිරිව ඇති දෙයක් වේ නම් සොයාගනු පිණිස සිය ගණනක් ජනයා ආපසු එම ප්‍රදේශයට පැමිණ සිටියි.
අසල්වැසි මියන්මාරයේ ප්‍රචණ්ඩත්වයෙන් බේරී පැමිණි මේ ප්‍රජාවෙන් පුද්ගලයන් 12 000කට පමණ දැන් නවාතැන් අහිමිව ඇතිබවට ඇස්තමේන්තුකර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නැතත් ජීවිත හානි කිසිවක් ද වාර්තාවී නැත.
ගින්න ඇරඹී ඇත්තේ එරට වේලාවෙන් පැය 14:45ට (ලංකාවේ වේලාවෙන් ප.ව. 02:15ට) පමණ වන අතර, උණ බම්බු හා ඉටිරෙදිවලින් තනා තිබූ නවාතැන් හරහා වේගයෙන් පැතිරී ගියබව නිලධාරියෙක් පැවසුවේ ය.
"නවාතැන් 2 000ක් විතර ගිනි අරගෙන. මෙනිසා බලහත්කාරයෙන් අවතැන් කළ මියන්මාර ජාතිකයන් 12 000කට පමණ නවාතැන් අහිමිවෙලා," බංගලාදේශයේ සරණාගත කොමසාරිස් මිජනූර් රහමන් AFP පුවත් ඒජන්සියට පැවසීය.
ගින්න පැය තුනක් ඇතුළත පාලනය කළ නමුත්, අවම වශයෙන් සරණාගතයින් සඳහා වන ඉගෙනුම් මධ්‍යස්ථාන 21ක් සහ මස්ජිද 35ක් විනාශවී ඇතිබව ඔහු ප්‍රකාශ කළේ ය.
විනාශයේ තරම පෙන්වන ඡායාරූප මේ වන විට නිකුත්වෙමින් පවතියි.
ගින්නෙන් විනාශ වූ ප්‍රදේශයේ විසූ බොහෝ තැනැත්තන් පිළිස්සුණු ප්‍රදේශය පුරා යම් යම් දේ අහුලමින් සිටින අයුරු ඒවායේ දැක්වෙන අතර, ගින්නෙන් ඉතිරිව ඇතිබව පෙනෙන්නේ ලෝහ කාප්ප සහ දැවුණු වහලවල ටකරන් අවශේෂ පමණි.

ඡායාරූප මූලාශ්‍රය, STR/EPA-EFE/REX/Shutterstock
ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සංගම්හි රුෂිකේෂ් හරිචන්දන් බීබීසීය වෙත පැවසුවේ කඳවුරට "විශාල හානියක්" සිදුව ඇතිබව යි.
ජල මධ්‍යස්ථාන හා පරීක්ෂණ පහසුකම් වැනි මූලික සේවාවන්ට ද බලපෑම් එල්ලවී ඇතිබව ඔහු කියා සිටියේ ය.
"මගේ නවාතැන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. [මගේ කඩෙත්] ගිනි අරන්," 30-හැවිරිදි රෝහින්ග්‍යා ජාතිකයෙකු වන මාමුන් ජොහාර් AFP වෙත පැවසුවේ ය.
"ගින්න මගෙ හැමදේම ගත්තා, හැම දෙයක්ම."

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙම දේශසීමා දිස්ත්‍රික්කයේ කඳවුරුවලින් එකක් වන, මිලියනයකට අධික රෝහින්ග්‍යා සරණාගතයින් සංඛ්‍යාවක් වෙසෙන අංක 11 කඳවුරට ඉහළ අහසේ ඝන, කළු වලාකුළු නැඟී එන අයුරු දැකගත හැකිවිය.
ජනාකීර්ණ හා අපිරිසිදු මෙම කඳවුරු පහසුවෙන් ගින්නට ගොදුරුවෙයි.
2021 ජනවාරි - 2022 දෙසැම්බර් කාලය තුළ රෝහින්ග්‍යා කඳවුරු තුළ ගිනි තැබීම් 60ක් ද ඇතුළුව ගිනිගැනීමේ සිද්ධි 222ක් සිදුවී ඇතිබව, පසුගිය මාසයේ නිකුත් කරන ලද බංග්ලාදේශ ආරක්ෂක අමාත්‍යාංශ වාර්තාවක දැක්වෙයි.
2021 මාර්තු මාසයේ දී, ජනාවාසයේ කඳවුරක ඇතිවූ විශාල ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගිය අතර, 50 000ක් පමණ දෙනා අවතැන්විය.
ලොව විශාලතම සරණාගත කඳවුර ලෙස සැලකෙන මෙහි, මියන්මාරයේ රෝහින්ග්‍යා වාර්ගික සුළුතරයට එරෙහිව සිදුකළ හමුදාමය මර්දනයෙන් පසු එරටින් පළා ආ පුද්ගලයන්ට සෙවණ සැලසෙයි.
රෝහින්ග්‍යාවරුන් යනු ජනගහණයෙන් බහුතරය බෞද්ධ මියන්මාරයේ මුස්ලිම්වරුන් වන අතර, ඔවුන් පරම්පරා ගණනක් තිස්සේ හිංසා පීඩාවන්ට මුහුණ දී තිබේ.
ඉතාම මෑතක දී රෝහින්ග්‍යාවරුන් බංග්ලාදේශයට පළායාම ඇරඹුණේ 2017 අගෝස්තු මාසයේ දී ය. රෝහින්ග්‍යා කැරලිකාර කණ්ඩායමක් මියන්මාරයේ පොලිස් මුරපොළ කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව මියන්මාර හමුදාව ඊට දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පසු එය ඇරඹිණි.












