COP27: ඊජිප්තු දේශගුණික සමුළුව යනු කුමක් ද? එය වැදගත්වන්නේ ඇයි?

ලෝක නායකයෝ ඊජිප්තුවේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේ දී, දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් වෙති.
එය පැවැත්වෙන්නේ දේශගුණික ව්‍යසනයන් සහ වාර්තාගත ලෙස පරිසර උෂ්ණත්වය ඉහළයාම අබිමුව සිට ය.
එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව යනු කුමක්ද?
ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සීමා කිරීම සඳහා පියවර ගැනීමට ලොව රජයයන් එකඟකරවාගැනීම උදෙසා, සෑම වසරකම එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළු පවත්වනු ලැබේ.
මෙය COPs ලෙස හඳුන්වනු ලබන අතර, ඉන් අදහස් වන්නේ Conference of the Parties හෙවත් "පාර්ශ්වකරුවන්ගේ සම්මේලනය" යන්න යි. පාර්ශවකරුවන් යනු 1992 දී එක්සත් ජාතීන්ගේ මුල් දේශගුණික ගිවිසුමට අත්සන් කළ රටවල් වේ.
COP27 යනු දේශගුණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ 27 වැනි වාර්ෂික රැස්වීම යි. එය නොවැම්බර් 6 සිට 18 දක්වා ඊජිප්තුවේ ෂාම් එල්-ෂෙයික්හි දී පැවැත්වේ.
COP රැස්වීම් අවශ්‍යවන්නේ ඇයි?
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නිකුත්වන වායූන් - බොහෝකොටම තෙල්, ගෑස් සහ ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන දහනය කිරීමේ දී සිදුවන වායු විමෝචනය - නිසා ගෝලීය උණුසුම ඉහළ යමින් පවතියි.
එක්සත් ජාතීන්ගේ දේශගුණ විද්‍යාඥයන් ලෙස කටයුතු කරන අන්තර් රාජ්‍ය දේශගුණික විපර්යාස කමිටුව (IPCC) පවසන පරිදි ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1කින් ඉහළගොස් ඇති අතර, 1.5 දක්වා තවදුරටත් ඉහළයමින් තිබේ.
1850 වර්ෂවල තිබූ මට්ටමට වඩා උෂ්ණත්වය 1.7 සිට 1.8C දක්වා ඉහළ ගියහොත්, IPCC ඇස්තමේන්තු කරන්නේ ලොව ජනගහණයෙන් අඩක් ජීවිතයට තර්ජන ඇතිකරන මට්ටමේ තාපයට හා ආර්ද්‍රතාවට නිරාවරණය විය හැකි බව යි.
මෙය වළක්වාගැනීම සඳහා රටවල් 194 ක් 2015 දී පැරිස් ගිවිසුමට අත්සන් තැබූ අතර, ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමට කටයුතු කිරීමට ද පොරොන්දු විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
COP27 වෙත පැමිණෙන්නේ කවුද?
රජයයන් 200කට වැඩි ගණනක් මේ සඳහා ආරාධනා ලැබ තිබේ.
කෙසේ වෙතත්, රුසියානු නායක ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රධාන රටවල නායකයින් සහභාගී නොවනු ඇති නමුත් එම රටවල නියෝජිතයන් පැමිණෙතැ යි අපේක්ෂා කෙරේ.
චීනය ඇතුළු අනෙකුත් රටවල් ඔවුන්ගේ නායකයින් සහභාගීවන්නේ ද යන්න තහවුරුකර නැත.
සත්කාරක ඊජිප්තුව අනෙකුත් රටවල්වලින් ඉල්ලා සිටින්නේ තම මතභේද පසෙක තබා "නායකත්වය පෙන්වන" ලෙස යි.
පාරිසරික පුණ්‍යායතන, ප්‍රජා කණ්ඩායම්, බුද්ධි මණ්ඩල, ව්‍යාපාර, සහ ඇදහිලි හා විශ්වාස සම්බන්ධ කණ්ඩායම් ද සහභාගී වනු ඇත.
COP27 ඊජිප්තුවේ දී පැවැත්වෙන්නේ ඇයි?
මෙය අප්‍රිකානු මහාද්වීපය COP සත්කාරකත්වය දරන පස්වන අවස්ථාව වනු ඇත.
සමුළුව හරහා, එම මහද්වීපයට එල්ලවී ඇති දැඩි දේශගුණික විපර්යාසමය බලපෑම් කෙරෙහි ලෝක අවධානය යොමුවනු ඇතැ යි එම කලාපයේ රජයයන් බලාපොරොත්තු වේ. IPCC පවසන්නේ අප්‍රිකාව ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කලාපයක් බව යි.
වර්තමානයේ, නියඟය හේතුවෙන් නැගෙනහිර අප්‍රිකාවේ මිලියන 17ක ජනතාවක් ආහාර හිඟතාවන්ට මුහුණදෙනබවට ගණන් බලා ඇත.
කෙසේ වෙතත්, සමුළුව පැවැත්වෙන ස්ථානය ලෙස ඊජිප්තුව තෝරාගැනීම මතභේදයට තුඩුදී තිබේ.
ඇතැම් මානව හිමිකම් සහ දේශගුණික ක්‍රියාකාරීන් පවසන්නේ, ඊජිප්තු රජය මානව අයිතිවාසිකම් කෙරෙහි හැසිරෙන ආකාරය විවේචනය කිරීම නිසා තමන් සමුළුවට පැමිණීම එම රජය විසින් වළකා ඇති බව යි.
COP27හි දී සාකච්ඡා කෙරෙන්නේ මොනවාද?
රැස්වීමට පෙර තම තමන්ගේ ජාතික දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස රටවලින් ඉල්ලා තිබේ. එහෙත් මෙතෙක් ලැබී ඇත්තේ සැලසුම් 25ක් පමණි.
COP27 ප්‍රධාන අංශ තුනක් කෙරෙහි අවධානය යොමුකරනු ඇත:
- වායු විමෝචනය අවම කිරීම
- දේශගුණික විපර්යාස සඳහා සූදානම්වීමට සහ මුහුණදීමට රටවලට උපකාර කිරීම
- මෙම කටයුතු සඳහා සංවර්ධනයවෙමින් පවතින රටවල් සඳහා තාක්ෂණික සහාය සහ අරමුදල් සුරක්ෂිත කිරීම
COP26හි දී සම්පූර්ණයෙන් විසඳා නැති හෝ ආවරණය නොකළ ඇතැම් විෂයයන් ද තෝරාගනු ලැබේ:
- අලාභ ගෙවීම හා හානි පූරණය - දේශගුණික විපර්යාස සඳහා සූදානම්වීමට පමණක් නොව, එම බලපෑමෙන් පුනර්ජීවනයවීම සඳහා උපකාරයක් ලෙස රටවලට මූල්‍ය සහාය ලබාදීම
- ගෝලීය කාබන් වෙළඳපොළක් පිහිටුවීම - ගෝලීය වශයෙන් සිදුකෙරෙන නිෂ්පාදන සහ සේවාවන්හි වායු විමෝචන බලපෑම් සඳහා මිලක් නියම කිරීම
- ගල් අඟුරු භාවිතය අවම කිරීමට ඇති කැපවීම් ශක්තිමත් කිරීම
ස්ත්‍රීපුරුෂභාවය, කෘෂිකර්මාන්තය සහ ජෛව විවිධත්වය ඇතුළු ගැටළු පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වීම සඳහා විශේෂ දින ද නම්කර තිබේ.
නොවිසඳුණු ප්‍රශ්න මොනවා ද?
දේශගුණික සාකච්ඡා සම්බන්ධයෙන් වන මූල්‍ය ගැටලු බොහෝකලෙක සිට පැවතුණකි.
වායු විමෝචනය අඩු කිරීමට සහ දේශගුණික විපර්යාස සඳහා සූදානම්වීමට උපකාරයක් ලෙස, 2020 වන විට සංවර්ධනය වෙමින් පවතින රටවලට වසරකට ඩොලර් බිලියන 100ක් ලබාදීමට 2009 දී සංවර්ධිත රටවල් කැපවිය.
මෙම ඉලක්කය 2023 දක්වා කල්දමනු ලැබුණි.

නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් තමා දැනට මුහුණදී ඇති බලපෑම් සඳහා "අලාභ සහ හානිපූරණ" ඉල්ලා සිටියි.
දශක ගණනාවක් තිස්සේ සිදුවූ හානි සඳහා වන්දි ගෙවීමට බලකෙරෙනු ඇතැ යි බියෙන් සිටි ධනවත් ජාතීන්ගේ බලපෑම හේතුවෙන්, මෙසේ වන්දි ගෙවීම් විකල්පය බොන් (Bonn) දේශගුණ සාකච්ඡාවලින් ඉවත් කරන ලදී.
එනිසා එම සාකච්ඡා COP27හි දී පැවැත්වීමට යුරෝපා සංගමය එකඟවිය.
මෙහිදී බහුලව අසන්නට ලැබෙනු ඇති තාක්ෂණික යෙදුම්:
- පැරිස් සම්මුතිය: ගෝලීය උණුසුම පාලනය කිරීමට සහ හරිතාගාර වායු විමෝචනය නවතාලීමට ලෝකයේ සියලුම ජාතීන් ලොව ප්‍රථමවරට එකඟකරවා ගැනීමට මෙම සම්මුතිය සමත්විය
- IPCC: දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය, දේශගුණික විපර්යාස පිළිබඳ නවතම පර්යේෂණ විමර්ශනය කරයි
- 1.5C: පූර්ව-කාර්මික යුගයට සාපේක්ෂව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක 1.5ට අඩුවෙන් තබාගැනීමෙන් දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් වළක්වාගත හැකිබව විද්‍යාඥයෝ පවසති
එය සාර්ථකවී ඇත්දැ යි අප දැනගන්නේ කෙසේද?
මෙය ඔබ කතාබහ කරන්නේ කා සමග ද යන්න මත පදනම්වේ.
පාඩු හා හානිපූරණ ලබාගැනීමේ හැකියාව න්‍යායපත්‍රයට ඇතුළුකිරීම සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතාවක් වනු ඇත. තමාට ගෙවීම් ලැබීම ඇරඹෙන දිනක් නියමකරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටිනු ඇත.
ෆොසිල ඉන්ධන අතර ද අපිරිසිදුම ඉන්ධන ප්‍රභවය වන ගල් අඟුරු භාවිතාවෙන් ඉවත්වීමට චීනය, ඉන්දියාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ දකුණු අප්‍රිකාව වැනි සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල් වැඩි කැපවීමක් දැක්වීම සංවර්ධිත රටවල් විසින් බලාපොරොත්තු වනු ඇත.
වනාන්තර, ගල් අඟුරු සහ මීතේන් පිළිබඳව පසුගිය වසරේ දී දියත්කෙරුණු වැඩසටහන් සඳහා තවත් රටවල් අත්සන්කර එක්වනු ඇත.
කෙසේ වෙතත්, සමහර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ලෝක නායකයින් දැනටමත් ප්‍රමාදබවත්, COP27හි දී කුමක් සඳහා එකඟවූවත් 1.5C සාක්ෂාත් කරගැනීමට නොහැකි වනු ඇතිබවත් ය.










