දේශගුණික විපර්යාස: 2070 වන විට ලොව පුද්ගලයන් බිලියන තුනක් දැඩි උණුසුමක

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2070 වන විට බිලියන තුනකට අධික ජනතාවක් “ජීවත්විය නොහැකි තරමේ” උෂ්ණත්වයක් සහිත ස්ථානවල වාසය කිරීමට සිදුවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
හරිතාගාර වායු විමෝචනය අවම නොවන්නේ නම්, ඉදිරියේදී විශාල පිරිසකට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 29කට වඩා වැඩි දේශගුණයක් යටතේ දිවි ගෙවීමට සිදු වනු ඇත.
මෙය පසුගිය වසර 6,000 පුරා මිනිසුන්ට දිවි ගෙවීමට "සුදුසු වූ" දේශගුණික තත්ත්වයෙන් පිටත සිදුවන දෙයක් ලෙස සැලකේ.
“මෙම අධ්‍යයනයෙන් දේශගුණික විපර්යාස ගැන වඩාත් මානව අර්ථයෙන් ඉදිරිපත් කර තිබෙනවා," යැයි අධ්‍යයනයේ සම කර්තෘ ටිම් ලෙන්ටන් බීබීසී සේවයට පැවසීය.
එක්සත් ජාතීන්ගේ ජනගහන ප්‍රක්ෂේපණ සහ සෙල්සියස් අංශක තුනකින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම යන දත්ත මත පදනම්ව මෙම පරීක්ෂණය සිදු කර තිබේ.
පැරිස් දේශගුණික ගිවිසුමට අනුව ක්‍රියාකරන රටවල පවා උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකින් ඉහළ යන නැඹුරුවක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වේ.
මිනිස් ජනගහනය පටු දේශගුණික කලාපවලට සංකේන්ද්‍රණය වනු ඇති අතර, සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 11-15ත් පමණ වන ස්ථානවල වාසය කිරීමට පෙළඹෙනු ඇත. සෙල්සියස් අංශක 20-25ක සාමාන්‍ය උෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල සුළු පිරිසක් ජීවත් වනු ඇතැයි අධ්‍යයනය වාර්තාවේ සඳහන් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ලෝකයේ විශාලතම අයිස් කුට්ටිය බිදී යාමට ආසන්න ද?
2019 යනු යුරෝපයේ වාර්තා වූ උණුසුම් ම වසරයි.
මිනිසුන් අවුරුදු දහස් ගණනක් පුරා මෙවැනි දේශගුණික තත්ත්වයන් තුළ ජීවත් වී ඇත.
කෙසේවෙතත්, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකින් ඉහළ යාම නිසා විශාල පිරිසක් "සුදුසු දේශගුණික තත්ත්වයෙන්" පිටත උෂ්ණත්වවල ජීවත් වීමට නියමිතය.
එක්සෙටර් විශ්වවිද්‍යාලයේ දේශගුණික විශේෂඥ සහ ගෝලීය පද්ධති ආයතනයේ අධ්‍යක්ෂ ටිම් ලෙන්ටන් චීනය, එක්සත් ජනපදය සහ යුරෝපයේ විද්‍යාඥයන් සමග එක්ව මෙම අධ්‍යයනය සිදු කර තිබේ.
"භූමිය සාගරයට වඩා වේගයෙන් උණුසුම් වන බැවින් භූමිය අංශක තුනකට වඩා උණුසුම් වෙනවා. උප සහරා අප්‍රිකාව වැනි උණුසුම් ස්ථානවල දැනටමත් ජනගහන වර්ධනය ප්‍රක්ෂිප්ත කර තිබෙන අතර, ඒ හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයන් වඩාත් උණුසුම් උෂ්ණත්වයක ජීවත් වීමට සිදුවෙනවා," ඔහු බීබීසී සේවයට පැවසීය.
"මිනිසුන් උණුසුම් ස්ථානවලට ව්‍යාප්ත වීමත් සමග ඔවුන්ගේ උෂ්ණත්වය ද වැඩි වන බැවින් සෙල්සියස් අංශක තුනක් උණුසුම් පෘතුවියේ සාමාන්‍ය පුද්ගලයෙකුට ජීවත් වන්න සිදුවන්නේ සෙල්සියස් අංශක 7කින් වැඩිවූ උණුසුම් තත්ත්වයක බව අපට පෙනී යනවා."
උතුරු ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ මැද පෙරදිග සමහර ප්‍රදේශවලට මෙයින් බලපෑම් ඇති විය හැකිය.
අඩු ආදායම්ලාභී ප්‍රදේශවල දිවි ගෙවන පුද්ගලයන්ට දැඩි උණුසුමෙන් ආරක්ෂා වීමට නොහැකි වනු ඇතැයි මෙම අධ්‍යයනයෙන් අවධානය යොමු කර තිබේ.
"මට නම් මේ අධ්‍යයනය වායුසමීකරණය කරන ලද ගොඩනැගිල්ලක ඇතුළට වී ඕනෑ ම දෙයකින් බේරී සිටින්න පුළුවන් ධනවතුන් ගැන නොවෙයි. කාලගුණ සහ දේශගුණ තත්ත්වයන්ගෙන් හුදෙකලා වීමට ක්‍රමයක් නොමැති අය ගැනයි අප සැලකිලිමත් විය යුත්තේ,” ටිම් ලෙන්ටන් පැවසීය.
ටිම් ලෙන්ටන් පවසන පරිදි කණ්ඩායමේ සොයාගැනීම්වලින් ලැබෙන ප්‍රධාන පණිවුඩය වන්නේ “දේශගුණික විපර්යාස සීමා කිරීමෙන් විශාල ප්‍රතිලාභ ලැබෙන අතර, එමගින් සුදුසු දේශගුණික තත්ත්වයන්ගෙන් පිටතට අයත් වේ යැයි අපේක්‍ෂා කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩු කර ගත හැකි වෙනවා," යන්නය.
"සෙල්සියස් අංශක එකකකින් උෂ්ණත්වය ඉහළ යන විට දළ වශයෙන් බිලියනයක පමණ ජනතාවකට එය බලපාන බව පෙනෙනවා. එබැවින් සෙල්සියස් අංශක එකක් හෝ උණුසුම් වීම වළක්වා ගතහොත් අපිට මිනිසුන්ගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු කරන්න පුළුවන්."








