ගංජා නීතිගත කිරීමට යෝජනාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගර්න්සි දූපතේ සෞඛ්‍ය හා සමාජ සත්කාර කමිටුව ගංජා නීතිගත කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කර තිබේ. ඉංග්‍රීසි ඕඩයේ පිහිටි ගර්න්සි, බ්‍රිතාන්‍ය කිරීටය යටතේ ඇති ස්වයං-පාලිත දිවයිනකි.
මෙම යෝජනාව රජයේ කාර්යය සැලැස්මට (GWP) එක් කිරීම සඳහා ඉදිරිපත් කර ඇත.
ගංජා නීතිගත කිරීමේ සැලැස්ම ගර්න්සි ප්‍රාන්ත සඳහා විශේෂිත වන අතර ජුනි මාසයේ දී එය විවාදයට ගැනීමට නියමිත ය.
කමිටු සභාපති අල් බ්‍රෝවාඩ් මෙසේ පැවසීය: "මේ පිළිබඳව දේශපාලනික වශයෙන් බොහෝ වෙනස් මත තිබෙනවා. සමහරු එයට උනන්දුයි. සමහරු ඒ ගැන සලකා බලන්නවත් කැමති නැහැ."
ස්වදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපති රොබ් ප්‍රෝ පැවසුවේ තමා මෙම සැලසුම්වලට සහාය නොදක්වන බව යි.
'සීමිත සම්පත්' නාස්තියක්?
තම කමිටු සාමාජිකයින් වෙනුවෙන් යවන ලද ලිපියක ඔහු මෙසේ දැක්වීය: "එය රජයේ කාර්යය සැලැස්මට ඇතුළත් කිරීම එහි අරමුණුවලට පටහැනි වනු ඇතැ යි අපට දැඩිව හැඟේ."
උප ප්‍රධානී රොබ් ප්‍රෝ පැවසුවේ මෙම යෝජනාව හරහා "වෙනසක් ඇතිවනු ඇතැ යි බලාපොරොත්තු පමණක් ඇතිකරනු ඇති අතර එමඟින් [ඒ සඳහා තමා සතු] සීමිත සම්පත් වැයකිරීමේ අවදානමක් මතු වනු ඇත," යනුවෙනි.
මෙය ගංජාවල නීතිමය තත්ත්වය සමාලෝචනය කිරීම, මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ සිදුවීම් සඳහා විකල්ප ප්‍රවේශයන් හඳුන්වාදීම, වැරදිකරුවන් පුනරුත්ථාපනය කිරීම, යුක්තිය ප්‍රතිස්ථාපන කිරීම, සහ සාපරාධී දඬුවම් නීති සමාලෝචනය ද ඇතුළත් යුක්ති රාමුවක් සංවර්ධනය කිරීම සඳහා වූ වැඩසටහනක කොටසකි.
ආර්ථික සංවර්ධන කමිටුවේ සභාපති නියෝජ්‍ය නීල් ඉන්ඩර් මෙම යෝජනාවට සහාය පළ කළේ ය: "තහනම් කිරීමෙන් කවදාවත් වැඩක් වෙලා නැහැ. පොඩි විනෝදයක් ලැබුවා කියලා පුරවැසියන් අපරාධකරුවන් කරන්න ඕන කියලා මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ."











