ගංජා ළඟදීම නීතිගත වන බවට බ්‍රිතාන්‍යයෙන් අනාවැකියක්

ගංජා පානය

ඡායාරූප මූලාශ්‍රය, PA

ඉදිරි වසර 5ත් 10ත් ඇතුළත එක්සත් රාජධානිය තුළ ගංජා භාවිතය සම්පුර්ණයෙන් ම නීතිගත වනු ඇති බවට මන්ත්‍රීවරු පිරිසක් අනාවැකි පළ කරති.

මෙම අනාවැකිය පළ කර ඇත්තේ ගංජා නීතිගත කිරීම පිළිබඳව තොරතුරු ගවේෂණය කිරීම සඳහා කැනඩාවේ සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් පිරිසකි.

විනෝදය සඳහා ගංජා භාවිතා කිරීමට අවසර දුන්, G7 කණ්ඩායමට අයත් ප්‍රථම රට වන්නේ කැනඩාව ය. එය නීතිගත කෙරුණේ 2018 වසරේදී ය.

එක්සත් රාජධානියේ දැනට පවතින නීතියට අනුව ගංජා ළඟ තබාගෙන සිටිය දී හසු වුවහොත් වසර පහක් දක්වා වූ සිර දඬුවමකට යටත් කළ හැකිය.

එම නීතියට අනුව ගංජා වර්ග කර ඇත්තේ 'බී පන්තියට' අයත් (Class B) මත් ද්‍රව්‍යයක් ලෙසිනි.

LEWIS WHYLD/PA.

ඡායාරූප මූලාශ්‍රය, LEWIS WHYLD/PA

එය එසේ වී නමුදු, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගංජා භාවිතා කිරීමට මෑතක සිට අවසර ලැබී තිබේ. ඒ අනුව ඇතැම් රෝගීන් සඳහා කිසියම් ගංජා මාත්‍රාවක් නියම කිරීමට වෛද්‍යවරුන්ට බලය ඇත.

කලින් පැවති දැඩි නීතිය මෙසේ ලිහිල් වීමට හේතු වූයේ පිරිමි ළමුන් දෙදෙනෙකු අරඹයා මතු වූ ජනරාවයයි.

මීමැස්මොර රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටි එම ළමුන් දෙදෙනා සඳහා 'ගංජා තෛලය' ලබා දීමට නොහැකිව තිබුණේ එවකට තිබූ නීතිය හරස් වූ බැවිනි.

කැනඩාවේ සංචාරයේ යෙදුණු මන්ත්‍රීවරුන් පවසන්නේ, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගංජා භාවිතය නීතිගත කළ රටවල - බොහෝ විට දෙවැනි පියවර වශයෙන් - විනෝදය සඳහා ද එය භාවිතා කිරීමට අවසර ලැබෙන බවය.

(වමේ සිට) ශ්‍රීමත් නෝමන් ලැම්බ්, ජොනතන් ජනොග්ලි සහ ඩේවිඩ් ලැමි යන මන්ත්‍රීවරු
ඡායාරූප ශීර්ෂ වැකිය, (වමේ සිට) ශ්‍රීමත් නෝමන් ලැම්බ්, ජොනතන් ජනොග්ලි සහ ඩේවිඩ් ලැමි යන මන්ත්‍රීවරු

"ගංජා වෙළඳපොළ නීතිගත වෙලා, නියාමනය වෙලා අපරාධ කල්ලිවලින් ගිලිහී යනව දකින්න මම කැමතියි." ඩේවිඩ් ලැමි මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේ කැනඩාවේ සංචාරය නිම කර පැමිණීමෙන් අනතුරුවය.

මෙම සංචාරය සඳහා පිටත්ව යාමට පෙර ඔහු සිටියේ, ඊට හාත්පසින් ම වෙනස් ස්ථාවරයක ය. 'ගංජා නීතිගත කළ යුතුය' යන මතයට දැන් ඔහු සහයෝගය දක්වයි.

ඩේවිඩ් ලැමි මන්ත්‍රීවරයා නියෝජනය කරන බ්‍රිතාන්‍යයේ කම්කරු පක්‍ෂය (Labour Party) සිටින්නේ ඊට විරුද්ධ ස්ථාවරයේ ය. දැන් ඔහු තම පක්ෂයේ ස්ථාවරයට එරෙහිව පෙනී සිටී.

"හොඳ අධ්‍යාපනයක් ලද තරුණයන් අපරාධකරුවන් බවට පත් කළ යුතු නැහැ. මේ ද්‍රව්‍යය සැර බාල කරල, ලේබල් කරල මේ රට තුළ මනාව සංවිධානය වෙනවා දකින්න මම කැමතියි." ඩේවිඩ් ලැමි මන්ත්‍රීවරයා පැවසීය.

කැනඩාවේ අවසර ලත් ගංජා
ඡායාරූප ශීර්ෂ වැකිය, කැනඩාවේ අවසර ලත් ගංජා

බ්‍රිතාන්‍යයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Liberal Democrat Party) දැනටමත් සිටින්නේ එක්සත් රාජධානිය තුළ ගංජා නීතිගත විය යුතුය යන ස්ථාවරයේ ය.

කැනඩාවේ සංචාරයට ශ්‍රීමත් නෝමන් ලෑම්බ් මන්ත්‍රීවරයා ද එක් විය. එම සංචාරය අතරතුර, කැනඩාවේ නීත්‍යනුකූලව ලේබල් කර අළෙවි කෙරෙන ගංජා තෙල් ස්වල්පයක් පාවිච්චි කිරීමට ඔහු තීරණය කළේය.

එය තමන් නින්දට යන මොහොතේ සුවදායක නින්දක් ලබා ගැනීම සඳහා පමණක් ලබා ගන්නා බව ඔහු පැවසීය.

නමුත් මෙය එක්සත් රාජධානිය තුළ තහනම් ද්‍රව්‍යයක් බව ඔහු හොඳින් දැන සිටියේය.

මන්ත්‍රී පදවියක් දරමින් සිටිය දී කැමරාවක් ඉදිරියේ ගංජා පාවිච්චි කළ එකම බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයා ශ්‍රීමත් නෝමන් ලෑම්බ් විය හැක.

"මම පාවිච්චි කරපු නීත්‍යනුකූල නිෂ්පාදනවලට වඩා අනවසර ඒවා හොඳයි"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මම පාවිච්චි කරපු නීත්‍යනුකූල නිෂ්පාදනවලට වඩා අනවසර ඒවා හොඳයි"

කැනඩාවේ දී ඔහු පාවිච්චි කළ 'ගංජා තෛලය' එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් නියම කරන ගංජා තෛලයට වඩා වෙනස් ය.

ඔහු ලබා ගත් තෙලෙහි THC නමැති රසායනය පවතී. ගංජා උරන්නන් මත් කෙරෙන්නේ එම රසායනය මගිනි.

තමන් මත් නොවූ බවත් ඉතා හොඳින් නින්දට වැටුණු බවත් ශ්‍රීමත් නෝමන් ලෑම්බ් මන්ත්‍රීවරයා පවසයි.

ඉහත කී සංචාරය සංවිධානය කරනු ලැබ තිබුණේ ගංජා නීතිගත කිරීම සඳහා සහයෝගය ලබා දෙන ක්‍රියාකාරී කණ්ඩායමක් විසිනි.

ශ්‍රීමත් නෝමන් ලෑම්බ් සහ ඩේවිඩ් ලැමි යන මන්ත්‍රීවරුන් දෙදෙනා තම ගමන් වියදම් සිය පෞද්ගලික ධනයෙන් දැරීමට තීරණය කළේය.

කෙසේ නමුත් කැනඩාවේ ද ගංජා සම්බන්ධයෙන් ප්‍රශ්න නැතුවා නොවේ. මන්ත්‍රීවරුන්ට ද එය පසක් විය.

ගංජා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

නීතිවිරෝධී ගංජා වෙළඳුන් තවමත් කැනඩාවේ ක්‍රියාත්මක බව එරට සතිපතා පුවත්පතක කර්තෘවරියක වන පයිපර් කර්ට්නි පවසන්නීය.

අවසර ලත් වෙළෙඳුන් සීමා මායිම් සහිතව ක්‍රියා කළ යුතු හෙයින් ගංජා ආශ්‍රිත වෙනත් නිෂ්පාදන සඳහා තවමත් අනවසර වෙළඳපොළක් පවතී.

කැනඩා වෙළඳපොළේ පවතින ගංජාවලින් අඩක් පමණ තවමත් රට තුළට පැමිණෙන්නේ අනවසර ප්‍රභවයන් ඔස්සේය.

"මම පාවිච්චි කරපු නීත්‍යනුකූල නිෂ්පාදනවලට වඩා අනවසර ඒවා හොඳයි. ඔවුන්ගේ ප්‍රමිතිය උසස් තත්වයෙන් තබා ගැනීමට ඔවුන් උනන්දු වෙනවා." පයිපර් කර්ට්නි පැවසුවාය.

කැනඩාවේ නිරීක්ෂණ චාරිකාවට එක් වූ කොන්සවේටිව් පක්ෂයේ ජොනතන් ජනොග්ලි මන්ත්‍රීවරයා පළ කළේ තරමක වෙනස් මතයකි.

නීතිගත කිරීමට පෙර ඒ පිළිබඳව ඉගෙන ගතයුතු දෑ බොහොමයක් පවතින බව හෙතෙම පැවසීය.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසන්නේ දැනට පවතින නීතිය වෙනස් කිරීම සඳහා කිසිදු චේතනාවක් නොපවතින බවය.

ගංජා නීතිගත කිරීම තුළින් නීතිවිරෝධී වෙළඳාම් නතර නොවන බවත් ඉන් සෞඛ්‍යයට සහ පවුල් සංස්ථාවට සිදුවන හානිය අවම නොවන බවත් බ්‍රිතාන්‍ය රජය පවසයි.