නියැන්ඩර්තාල්වරු වඳවී ගියේ සංහාරයකින් නොවනබව සොයාගැනේ

SKULL
ඡායාරූප ශීර්ෂ වැකිය, නියැන්ඩර්තාල්වරුන් යනු වසර සියදහස් ගණනක් යුරෝපයේ ජීවත්ව හිඳ, අදට වසර 40,000කට පෙර වඳව ගිය වෙනස් මානව විශේෂයකි.

නූතන මානවයන් අප්‍රිකාවෙන් පැමිණි ආසන්නයේ දීම නියැන්ඩර්තාල් මානවයන් මිහිපිටින් අතුගා දැමුවේයැ යි වන මතය මේ වන විට අභියෝගයට ලක්ව තිබේ. ඒ, අලුතින් හමුවූ ෆොසිලයන් නිසාවෙනි.

දකුණු ප්‍රංශයේ ගුහාවක තිබී හමුවූ දරුවෙකුගේ දතක් සහ ගල් මෙවලම්වලින් පෙනී යන්නේ, හෝමෝ සේපියන් මානවයින් මීට වසර 54,000කට පමණ පෙර ද බටහිර යුරෝපයේ විසූ බව යි.

මෙය, පෙර සිතා සිටියාට වඩා වසර දහස් ගණනකට පෙර අතීතය වන අතර, මෙම මානව විශේෂයන් දෙකම දිගු කලක් තිස්සේ එකට පැවතුණු බව පෙන්නුම් කරයි.

මෙම පර්යේෂණය Science Advances සඟරාවේ පළවූවකි.

ටූලූස් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ලුඩොවික් ස්ලිමාක් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් රෝන් නිම්නයේ පිහිටි 'ග්‍රොට් මැන්ඩ්‍රින්' ලෙස හඳුන්වන ගුහාවකිනි මෙම සොයාගැනීම් කරනු ලැබුවේ. නූතන මානවයාගේ මුල් යුගයේ ජනාවාසයක සාධක එහි ඇතිබව දැනගත් විට ඔහු පුදුමයට පත්විය.

"හෝමෝ සේපියන්ස්ලා [අප්‍රිකාවෙන්] ඇවිත් තියෙන්නේ අපි හිතුවාටත් වඩා වසර 12,000කට කලින් බව දැන් අපට ඔප්පු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙයාලා වෙනත් නියැන්ඩර්තාල් ජනගහණයකින් ප්‍රතිස්ථාපනය වුණා. මේකෙන් අපේ ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා."

Archaeologists

ඡායාරූප මූලාශ්‍රය, Rob Hope Films

ඡායාරූප ශීර්ෂ වැකිය, පුරාවිද්‍යාඥයින් ග්‍රෝට් මැන්ඩ්‍රින් ගුහාවෙන් වසර 54,000කට - එනම්, කලින් සිතුවාට වඩා වසර දහස් ගණනකට - පෙර කාලයට අයත් නූතන මානව අවශේෂ සොයා ගන්නා ලදී

නියැන්ඩර්තාල්වරු යුරෝපයෙන් මතුවූයේ මීට වසර 400,000කට පෙර ය. දැනට පවතින න්‍යාය අනුව මීට වසර 40,000කට පමණ පෙර, හෝමෝ සේපියන්වරුන් අප්‍රිකාවේ සිට යුරෝපයට පැමිණ වැඩි කල් යන්නට මත්තෙන්, නියැන්ඩර්තාල්වරුන් වඳවී ගිය බව යෝජනා කෙරින.

නමුත් නව සොයාගැනීමෙන් පෙනී යන්නේ අපගේ මානව විශේෂය ඊට බොහෝ කලකට පෙර යුරෝපයට පැමිණ ඇතිබවත්, නියැන්ඩර්තාල් මානවයින් වඳවී යාමට පෙර මෙම විශේෂයන් දෙක වසර 10,000කට වැඩි කාලයක් යුරෝපයේ සහජීවනයෙන් පවතින්නට ඇති බවත් ය.

ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය ක්‍රිස් ස්ට්‍රිංගර්ට අනුව, මෙය වර්තමාන මතයට - එනම්, අපගේ විශේෂය ඉක්මනින්ම නියැන්ඩර්තාල්වරුන් අභිබවා ගිය බව - අභියෝග කරයි.

"නූතන මිනිසුන් එක රැයකින් ලෝකය අත්පත්කර ගත්තේ නැහැ," ඔහු BBC ප්‍රවෘත්ති සේවයට පැවසීය. "එක වෙලාවක දී නියැන්ඩර්තාල්වරුන්ට වාසි තිබුණා, තව වෙලාවක දී නූතන මිනිසුන්ට වාසි තිබුණා, ඒ නිසා දෙගොල්ලෝ හොඳට සමතුලිතව පැවතුණා."

Graphic

පුරාවිද්‍යාඥයෝ එම ස්ථානයේ පාංශු ස්ථර කිහිපයකින් පොසිල සාක්ෂි සොයාගත්හ. ඔවුන් ගැඹුරට කණින තරමට, ඔවුන්ට තව තවත් ඈත අතීතය පෙනෙන්නට විය. පහළම ස්ථරවලින් පෙන්නුම් කළේ, වසර 20,000ක් පමණ කාලයක් එම ප්‍රදේශය අත්පත් කරගෙන සිටි නියැන්ඩර්තාල්වරුන්ගේ ශේෂයන් ය.

එනමුත් ඔවුන් පුදුමයට පත්කරමින්, වසර 54,000කට පමණ පෙර ස්ථරයක තිබී නියැන්ඩර්තාල් මානවයන්ට අයත් නොවන ගල් ආයුධ කිහිපයක් සමග නූතන මිනිස් දරුවෙකුගේ දතක් ඔවුනට හමුවිය.

සාක්ෂිවලින් පෙනී යන්නේ, මෙම මුල් මානව කණ්ඩායම සාපේක්ෂව කෙටි කාලයක් (ඇතැම්විට වසර 2,000ක් පමණ) එම ස්ථානයේ ජීවත්ව ඇති අතර, පසුව එම ස්ථානය අතහැර දැමුණු බව ය. ඉන්පසු එහි පැමිණි නියැන්ඩර්තාල්වරු තවත් වසර දහස් ගණනක් එම ස්ථානයේම ජීවත්වූ අතර, වසර 44,000කට පෙර නූතන මිනිසුන් නැවතත් එහි පැමිණෙන තෙක්ම එහි විසූහ.

Stone tools

ඡායාරූප මූලාශ්‍රය, Ludovic Slimak

ඡායාරූප ශීර්ෂ වැකිය, දරුවාගේ දත සමග සොයාගත් මෙවලම්. මේවායින් කුඩා තුඩු වැනි දෑ ඊ හිස් විය හැකි බවට අනුමාන කෙරේ

"අපට මෙතන 'රළ ගහනවා වගේ' නැවත නැවත සිදුවන ක්‍රියාවලියක් දකින්න පුළුවන්," මහාචාර්ය ස්ට්‍රිංගර් පවසයි. "නූතන මිනිසුන් කෙටි කාලයක් ජීවත් වුණා. ඊට පස්සේ එතන වසර ගණනක හිස්තැනක් තියෙනවා - සමහර විට දේශගුණ වෙනස්වීමකින් ඒ මිනිස්සු වඳවෙලා යන්න ඇති. පස්සේ නියැන්ඩර්තාල්වරු නැවත පැමිණුනා."

තවත් ප්‍රධාන සොයාගැනීමක් වූයේ, දරුවාගේ දත තිබූ ස්ථරයේම තිබී හමුවූ ගල් මෙවලම් නූතන මිනිසුන්ට අයත් ඒවා වීම යි. ඒ ආකාරයෙන්ම සාදන ලද මෙවලම් වෙනත් ස්ථාන කිහිපයකින් එනම්, රෝන් නිම්නයෙන්ම සහ ලෙබනනයෙන් ද සොයාගෙන ඇත. නමුත් මේ දක්වා ඒවා සෑදුවේ කුමන මානව වර්ගයාදැ යි විද්‍යාඥයන්ට අපැහැදිලි විය.

Child's Tooth

ඡායාරූප මූලාශ්‍රය, Ludovic SlimaK

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම කිරිදත් කැබැල්ල නූතන මානවයාගේ මතුවීම පිළිබඳ කතාව බොහෝසෙයින් වෙනස් කරන්නට ඉඩ තිබේ

සමහර පර්යේෂකයන් අනුමාන කරන්නේ මෙම මෙවලම්වලින් කුඩාම ඒවා සමහරක් ඊ හිස් විය හැකි බව යි. එය තහවුරු වුවහොත්, එය දැවැන්ත සොයාගැනීමක් වනු ඇත. නවීන මානවයන් පිරිසක් දියුණු ආයුධ වූ දුනු හා ඊතල භාවිතා කළබව එයින් අදහස් වෙයි. ඔවුන්ට වසර 54,000කට පෙර නියැන්ඩර්තාල්වරුන් පරාජය කරන්නට ද හැකිවූයේ එනිසා විය හැකියි. නමුත් සිදුවූයේ එය නම්, එය තාවකාලික වාසියක් විය යුතු ය. මන්ද, නියැන්ඩර්තාල්වරුන් නැවත පැමිණ තිබේ.

ඉතින්, අපේ විශේෂය ආ විගස ඔවුන්ව අතුගා නොදැමුවේ නම්, අවසානයේ අපට වාසියක් ලබා දුන්නේ කුමක්ද?

විද්‍යාඥයින් ඒ පිළිබඳව අදහස් රැසක් ඉදිරිපත්කර ඇත. කලාත්මක නිර්මාණයන් සඳහා අපට තිබූ හැකියාව, භාෂාවක් භාවිතාව, සහ ඇතැම්විට වඩාත් හොඳ මොළයක් අපට තිබෙන්නට ඇතිබව ද මේ අදහස්වලින් කියැවේ. නමුත් මහාචාර්ය ස්ට්‍රිංගර් විශ්වාස කරන්නේ, එසේ සිදුවූයේ එය අප වඩාත් සංවිධානාත්මක වූ නිසා බව යි.

"අපි වඩා හොඳින් ජාලගත වෙමින් සිටියා. අපගේ සමාජ කණ්ඩායම් විශාල වුණා. අපි දැනුම වඩා හොඳින් ගබඩාකර ගත්තා. අපි එම දැනුම මතින් ගොඩනැගුණා," ඔහු පැවසීය.

මහාචාර්ය ස්ට්‍රිංගර්ට අනුව නම් නූතන මිනිසා නියැන්ඩර්තාල් මානවයන් සමග දිගුකාලීන අන්තර් සබඳතා තබාගත්බවට වන අදහස, නූතන මිනිසාට නියැන්ඩර්තාල් DNA කුඩා ප්‍රමාණයක් ඇතිබවට 2010 දී සිදුකරන ලද සොයාගැනීම සමග ගැලපේ. එයින් යෝජනා කෙරෙන්නේ නූතන මිනිසා හා නියැන්ඩර්තාල් මානවයන් අන්තර් අභිජනනය වූ බව යි.

"එතන දී, සාමකාමීව සහකරු සහකාරියන් හුවමාරු වුණා ද කියන්න අපි දන්නේ නැහැ. ඒක වෙනත් කණ්ඩායමක ගැහැණු ළමයෙකු පැහැරගැනීමක් වෙන්න පුළුවන්. නැතිනම්, අතහැර දැමූ හෝ අතරමං වූ අනාථ නියැන්ඩර්තාල් ළදරුවන් හදා වඩා ගැනීමක් පවා වෙන්න ඉඩ තියෙනවා," ඔහු පැවසීය.

"ඒ ඕනම දෙයක් සිදුවුණා වෙන්න ඉඩ තිනාවා. ඒ නිසා අපි සම්පූර්ණ කතාව තවම දන්නේ නැහැ. නමුත් තවත් DNA එක්ක, තවත් දත්ත එක්ක, තවත් සොයාගැනීම් එක්ක, නියැන්ඩර්තාල් යුගයේ අවසානයේ සිදුවුණේ මොකක්ද කියන සත්‍යයට අපි සමීප වේවි."